හැඬුම් සිරකර සිනාසෙන්නට
එකම මොහොතක් ළඟ ඉඳන්
සාර වැස්සක් වෙලා වැහැපන්
ඉල්ලන්නේ මං දිය බිඳක්
ඉරිතලා ගිය සඳ කුමට දැන්
ලියනු කෙළෙසද කවිය මං
මේ තරම් සීතලද මරණය
රෑ රැහැයියන් අහයි දැන්
ඔටුණු පළදමි සෙනෙහසින් හිඳ
සිහින සොඳුයි රිදුණු දා
පිරිමදිමි මං පියාපත් අග
දිලෙන නෙත් අග සතපවා
නේක ගං දිය ඇවිත් වැටුණේ
ඇයිද සිඳු දිය කළඹවා
සංසාර දුර නවාතැන් මට
කියනවද ළඟ නැවතිලා
ඉන්න ඇති අස එදත් ප්‍රේමෙන්
හදේ අක් මුල් විහිදලා
හොයනවා මං අදත් හීනෙන්
මුදුන්මුල කොහිදැයි කියා