2019 ජුනි 01 වන සෙනසුරාදා

දැහැන

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 78

හැම පියවරකම
නව ඇරඹුමක් ඇත....
කියවපු පොතක එක පිටුවක එහෙම තිබුණා මතකයි මට. ඒ පොතේම අන්තිම පිටුවේ මෙහෙම ලියලා තිබුණා.

හැම අවසානයකම
ඉතිරි වූ වේදනාවක් ඇත
ජීවිතයේ මෙතුවක් මුණගැසුණු සොඳුරුම මිතුරා මගේ ළඟ.
තණ පලස මුදු යහන
රිදුම් හැක අතුරන්න
දුක ලෙහා කුටි දොර
ඔබ එන්න....
මේ අහස යට වැතිරෙන්න
සොඳුර
මේ සන්ධ්‍යාව
ජීවිතේ ඉසියුම සොයන
තනා ගමු නිමේෂය
අපට අප හමුවන
මම ආදරයෙන් කියවපු කවියක්. එහෙම කවි දාහක් ඇති. එහෙම පොත් දහස් ගණනක් ඇති. ඒ තමයි මගේ ආදරණීයම මිතුරන්. 

පොත් නැති විට දෙවියෝ නිහඬ වෙති
යුක්තිය නිද්‍රෝපගත වෙයි
ස්වභාවික විද්‍යා දැනුම ඇණහිටියි
දර්ශනය විකල් වෙයි
සාහිත්‍ය ගොළු වෙයි
මෙකී සියලු දේ හා
සම්බන්ධ හැම දෙයක්ම
ගොදුර විසින් ගිල ගැනෙයි
තෝමස් බර්නෙලින් තමයි එහෙම කීවේ.
මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුණේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මං ඔබ ළඟ නතර වුණේ....

එහෙම අහන අය ඔයාටත් ඔයාගේ ජීවිතයේ මුණගැහිලා ඇති. මටත් මගේ ජීවිතයේ මුණගැහිලා තියෙනවා. නතර වෙන තැන් අත්හැරලා හදවතේ ගැඹුරු අක්මුල් පිරිමදින තැන්වල නවතින්න... හදවතේ ආත්ම ගීතිකාව ප්‍රේමයෙන් ඉවසිලිවන්තව කියවන කෙනෙක් ළඟ නවතින්න අපි හීන දකිනවා.... හීන පියාපත් අරගෙන වරෙක අපි ළඟට ඉගිලී එනවා... ඒත් එක දෙයක් මතක තියාගන්න... නොපෑහෙන පයුරු පාසානම්වලට වැඩිය හුදෙකලාව හරිම සොඳුරුයි... ආදරණීයයි... 
ඒත් ඒ ජීවිත සත්තාව තේරුම් ගන්න අපි ජීවිතය කියන මහා පාරේ සෑහෙන දුරක් ඇවිදින්න වෙනවා... බොහෝවිට අපිට හරි දේ කියාදෙන්නෙත් වැරදීම් විසින්.

දෙපස පෙරළෙන තෙරක
කෝ කොහිද තිර බවක් කිසි දේක
එවන් අඩ්ඩඩ්ඩාල 
අටලු උඩ කුමකටද අභිෂේක

සෝ නිමිති ගිනි මතට
පිනි ඉසී ගිහි සෙනේ කරුණාව
නෙක්ඛම්ම මාවතක
යම් ද කොයි ලෙස ඉතින් එකලාව

සිත් රුජා අහස යට
තෙමී වැස්සේ අයස් මද මාන
තනා හැකි හැකි පමණ
තමා ඉවසුම් අපිස් රජ දාන
දැන හැඳින ලෝ සොබා
සිනාසී සුබ සිතින් ධරමාණ
සකි සඳුනි දෙන්න මගෙ
පැන්සලට ඔබෙ කඳුළු සඳපාන 

සතුට ඇත්තේ ගමනේ කෙළවර නොව යන මඟ දෙපසය

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00