2017 මාර්තු 04 වන සෙනසුරාදා

වකාර් වූ ඔස්කාර් වැෙඩ්

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

හොලිවුඩයේ පමණක් නොව ලෝක සිනමාවේත් මහා මංගල්‍යය ලෙස සැලකිය හැකි ඔස්කාර් සම්මාන රාත්‍රිය පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහිදි පැවැත්වුණේ හොලිවුඩ් බොලිවුඩ් තාරකා රැසකගේ සහභාගීත්වයෙනුයි. සිනමා අහසේ දිදුළන තාරකා රැසක්ම ඔස්කාර් සම්මාන රාත්‍රියට එක්ව සිටියේ විචිත්‍රවත් සිනමා රාත්‍රියක අත්දැකීම ලොව පුරා සිනමා ලෝලීන්ට සමීපකරවමිනුයි.

89 වැනි වරට මෙවර පැවැත්වුණු ඔස්කාර් සම්මාන උළෙලේදී 2016 වසරේ තිරගත වූ හොඳම චිත්‍රපටි සම්මානවලින් පිදුම් ලැබුවා. ඇකඩමි සම්මාන ලෙසත් ප්‍රකටව පවතින ඔස්කාර් සම්මාන උළෙලේදී 2016 තිරගත වූ චිත්‍රපට අතුරින් හොඳම චිත්‍රපටය ලෙස අභිෂේක ලැබුවේ මූන් ලයිට් (Moon Light) සිනමා පටයයි. 

සමලිංගික පුරුෂයෙකු ජීවිතය තුළ මුහුණ දෙන දුෂ්කරතාවයන් පිළිබඳ සංවේදී කතා තේමාවක් රුගත් මූන්ලයිට් චිත්‍රපටයට හොඳම සිනමා නිර්මාණයට හිමි සම්මානයට අමතරව හොඳම තිර රචනය හා හොඳම සහාය නළුවාට හිමි සම්මානයත් හිමිවුණා. 

කොහොම වුණත් ඔස්කාර් සම්මාන උළෙලේදී කවුරුත් පුල පුලා බලා සිටි මොහොත වූ හොඳම සිනමා නිර්මාණය නම් කිරීමේ අවස්ථාවේදී නිවේදක ජිමී කිමෙල් අතින් සිදුවූ අත්වැරැද්දක් නිසා මුලින්ම හොඳම චිත්‍රපටය ලෙස නිවේදනය වුණේ ලා ලා ලෑණ්ඩ් සිනමා පටයයි. නමුත් ඉන් අනතුරුව මූන්ලයිට් චිත්‍රපටයට එම සම්මානය හිමිවන බව නිවේදනය කෙරුණා. 

ඒත් සමගම වේදිකාවට පැමිණි ලාලා ලෑන්ඩ් චිත්‍රපටයේ නිෂ්පාදකවරයා විසින් ම ජයග්‍රාහී මූන්ලයිට් චිත්‍රපටයේ නම ප්‍රකාශයට පත්කිරීමත් සමඟ සිදුවීම පාලනය කරගන්න සංවිධායක කමිටුවට හැකිවුණා. 

කොහොම නමුත් මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී වැඩිම සම්මාන සංඛ්‍යාවකට හිමිකම් කී චිත්‍රපටය වුණේ ලා ලා ලෑන්ඩ් සිනමා පටයයි. සම්මාන 14ක් සඳහා නිර්දේශ වූ එම චිත්‍රපටයට හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ඇතුළු ඉන් 6ක්ම තමන් සතු කරගැනීමට අවස්ථාව හිමිවුණා. 

හොඳම නළුවාට හිමි සම්මානය හිමිකරගත්තේ මැන්චෙස්ටර් බයි ද සී සිනමා පටයේ සිදුකළ රංගනය වෙනුවෙන් කැසේ ඇල්ෆෙක්. හොඳම නිළිය වුණේ ලා ලා ලෑණ්ඩ් චිත්‍රපටයේ මියා ඩොලාන්ගේ චරිතය නිරූපණය කළ එමා වොට්සන්. 

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන ජාතිකයන් ඇතුළු විදේශ රටවල් කිහිපයක පුද්ගලයින්ට අමෙරිකාවට ඇතුළු වීම තහනම් කිරීම පිළිබඳ සිය විරෝධය පළ කරමින් ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදෙස් චිත්‍රපටයට හිමි සම්මානය හිමිකරගත් ද සේල්ස්මන් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඇස්ගාර් ෆර්හාඩි සම්මාන උළෙලට එක්වීම ප්‍රතික්ෂේප කර තිබීමත් කැපී පෙනෙන සිදුවීමක් වුණා.

Text — Rjitha