ජීවිතය ඇතුළෙ හුළඟක් වගේ පාවෙන මිනිස්සු ඉන්නවා. ජීවිතය ඇතුළෙ බර අඩි තියලා ඇවිදින මිනිස්සු ඉන්නවා. ජීවිතය ඇතුළෙ ඇවිදින්න පාරක් නැතුව අතරමං වෙච්ච මිනිස්සු ඉන්නවා. ජීවිතය ඇතුළෙ ඇවිදින්න පාරවල් හොයන මිනිස්සු ඉන්නවා. හුස්මක් වැටෙන නිසා ජීවත්වෙන මිනිස්සු වගේම ජීවිතයට ජීවිතයක් හොයන මිනිස්සුත් ඉන්නවා.
බුදුහාමුදුරුවෝ මහාවග්ග පාලියේ මහාක්ඛන්ධක සූත්‍රයේ මිනිසුන්ගේ පෞරුෂත්වය ගැන මෙහෙම කියනවා. ඒ සුත්‍රයේදී බුදුන් වහන්සේ සමස්ත ලෝකයම විලකට උපමා කරනවා. එහෙම උපමා කරලා මිනිසුන්ගේ පෞරුෂත්වය ගැන මෙහෙම විවරණයක් කරනවා.
1. පොකුණෙහි හටගෙන එහි දිය තුළම ගිලී පවත්නා පියුම්, එනම් අවම වර්ධනයෙන් යුත් පෞරුෂ ඇති මිනිසුන්.
2. පොකුණෙහි හටගෙන එහි දිය හා සමව හෙවත් ජල මට්ටම හා සමානව පවත්නා පියුම්, එනම් මධ්‍ය වර්ධනයක් සහිත පෞරුෂ ඇති මිනිසුන්.
3. පොකුණෙහි හටගෙන එහි මඩන් හා දියෙන් වෙන්ව උඩට නැගීම හෙවත් ජල මට්ටම ඉක්මවා පවත්නා පියුම්, එනම් උපරිම වර්ධනයක් සහිත පෞරුෂ ඇති මිනිසුන්.
බුදු දහම ස්වභාධර්මය ඇසුරින් මොනතරම් දේවල් විවරණය කරනවද කියලා බෞද්ධ දර්ශනය හදාරද්දී තේරුම් ගන්න පුළුවන්.
අංගුත්තර නිකාය 2 රුක්ඛ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ගස් වර්ග හතරක් උපමාවට අරගෙන ශ්‍රාවකයන්ගේ පැවැත්මේ හොඳ නරක ගැන විමර්ශනය කරනවා.
1. නිසරු ගස් පිරිවරා ගත් නිසරු ගස්
2. සරු ගස් පිරිවරාගත් නිසරු ගස්
3. නිසරු ගස් පිරිවරාගත් සරු ගස්
4. සරු ගස් පිරිවරාගත් සරු ගස්
පුද්ගල ස්වභාවය සහ අපි ජීවිතයට එකතු කරගන්න පුද්ගලයන් ගැන බුදුන් වහන්සේ තුරු ඇසුරෙන් අර්ථනිරූපණ ගෙනහැර දැක්වූයේ ඒ විදිහට.
ඒ විදිහටම බුදු හාමුදුරුවෝ අංගුත්තර නිකාය 2, ඡාවාලාත සූත්‍රයේ සමාජයේ සිටින ශ්‍රාවක කොටස් හතරක් ගැන කියනවා.
1. තමාගේත් අනුන්ගේත් හිතසුව පිණිස කටයුතු නොකරන තැනැත්තා.
2. තමාගේ හිතසුව පිණිස කටයුතු කරන අනුන්ගේ හිතසුව පිණිස කටයුතු නොකරන තැනැත්තා.
3. අනුන්ගේ හිතසුව පිණිස කටයුතු කරන නමුත් තමාගේ හිතසුව පිණිස කටයුතු නොකරන තැනැත්තා.
4. තමාගේත් අනුන්ගේත් හිතසුව පිණිස කටයුතු කරන තැනැත්තා
තමන් කවුරු වෙනවද කියන එක තමන්ගේ තීරණයක්... ඒත් ලෝකයේ හිතසුව පිණිස තමන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීම තුළ මනුෂ්‍යත්වය කියන සංකල්පයට අර්ථපූර්ණ වටිනාකමක් දෙන්න අපිට පුළුවන්.