කොහොමද ඉතින්... ආයුබෝවන්...
ආයුබෝ වේවා... ආයුබෝ වේවා...
ළෙන්ගතුකම ඉහටත් උඩින්...
මෙච්චරම ළෙන්ගතු ඔහු සුජීව...
සුජීව ප්‍රියාල් යද්දෙහිගේ... එහෙම තමයි කොයි කවුරුත් ඔහුව දන්නෙ...
සුජීව කියන්නෙ මොනවගේ චරිතයක්ද?
ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්... තිරපිටපත් රචකයෙක්, තරුණ අධ්‍යක්ෂකවරයෙක්... ඒ හැමට වඩා ඔහු සංවේදී මනුස්සයෙක්.. එයා ගැන අමුතුවෙන් නිර්වචන දෙන්න දෙයක් නෑ මුළු රටක්ම එයාව හඳුනනවා.. ලෝරන්ස්ගේ මනමාලී සුජීව නිර්මාණය කරපු ලස්සන වැඩක්... මේ දවස්වල ඒ වේදිකානාට්‍යය සෑහෙන්න ජනප්‍රියයි. පුළුල් වින්දන පරාසයක් තියෙන, නිදහසේ සැහැල්ලුවෙන් ජීවිතය විඳින්න කැමති දක්ෂයෙක්...
ආ... තව දෙයක්... සුජීව... දුලීකා මාරපනගේ ආදරණීය සැමියා...
ඒ තමයි අපිට සුජීවව දැනෙන විදිය...
සුජීවගේ මේ දවස්වල නිර්මාණ කටයුතු ගැන අහලාම අපේ වැඩේට යමු නේද?
ඇත්තම කියනව නම් ඉදිරියේදී කරන්න තිබුණු කලාකටයුතු දින නියමයක් නැතිව කල් ගියා... ලෝරන්ස්ගේ මනමාලි තමයි පහුගිය කාලේ පුරාම නිරන්තරයෙන් දර්ශන වාරයන් පැවැත්වූවේ... මැයි මාසේ තිබුණු සියලු දර්ශන වාර අගෝස්තු, සැප්තැම්බර්වලට කල් ගියා... මගේ අලුත්ම ෆිල්ම් එක රිලීස් වෙන්න තිබුණේ ලෝක පරිසර දිනය වන ජූනි 05 වැනිදාට නමුත් රටේ තියෙන වාතාවරණයත් එක්ක චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම අවකාශයක් නැති නිසා ඒකත් කල්දාන්න වුණා... මම බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී හොඳ වාතාවරණය ඇතිවෙයි කියලා.
මුලිනුත් කිව්වනේ සුජීවගේ වැඩ කිඩ ටික... අපි ඒවා දන්නවනේ... ඒවා ගැන නැතුව... ඔබගේ හදවතට තදින් දැණුනු නිර්මාණයක් ගැන පොඩ්ඩක් කතාකරමුද?
මෙහෙමයි.. මට හදවතට තදින් දැණුනු.. මාව සංවේදී කරපු නිර්මාණ කීපයක්ම මගේ මතකයේ තියෙනවා... ඒ කීපය අතරින් මම ඉතාමත් කැමතියි.. ඩංගල් චිත්‍රපටයට... මම හරියට රසවින්දා ඒක... වේදිකා නාට්‍ය පැත්තෙන් ගත්තොත් මම ඉතාම කැමතියි සුභ සහ යස කියන වේදිකා නාට්‍යයට.. නවකතා පැත්තෙන් ගත්තොත් ගුරු ගීතයට මම හරිම ආදරෙයි. හේතුව තමයි මගේ ජීවිතේ කියවීම පැත්තෙන් බලපෑම් කරපු කෘතියක් ඒක. මෑත කාලේ මගේ හිතට බලපෑමක් කරපු චිත්‍රපටයක් තමයි අමීර් ඛාන් නිෂ්පාදනය කරපු, ඇඩ්වයිට් චන්දන් අධ්‍යක්ෂණය කරපු සීක්ක්‍රට් සුපර්ස්ටා කියන්නෙ... සීක්ක්‍රට් සුපර්ස්ටා චිත්‍රපටයට මම කැමති වෙන්න විශේෂ හේතුවක් තියෙනවා ඒ තමයි පුරුෂාධිපත්‍ය එක්ක කතාකරන්නා වූ කතාන්දර නිසා. මම පුරුෂයෙක් විදියට දකින්නෙ... කිසියම් වූ ආගමික හෝ සංස්කෘතික රාමුවකට කොටුවෙලා ඉන්න ඕනම කෙනෙකුගේ මතයකට පහර දිය යුතුයි. එයා පුරුෂයෙක්ද ගැහැනියක්ද කියන එක එතනට අදාළ වෙන්නෙ නෑ.. අපි පුළුල් ලෙස ලෝකෙ දිහා බලන්න ඕනෙ... විවෘතව ලෝකය දිහා දකින්න ඕනෙ...
මේ චිත්‍රපටයේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ ගුජරාටයේ ජීවත්වන මුස්ලිම් ජාතික පවුලක් වටා... මේ පවුලේ ඉන්නවා අම්මායි, තාත්තායි යොවුන් වියේ පසුවන ඉන්ෂියා මලික් කියන දියණිය සහ පිරිමි දරුවෙක්... තව ආච්චි කෙනෙකුත් මේ පවුලේ ඉන්නවා.. මේ පවුලේ ඉන්න අම්මා නිරන්තරයෙන් පියාගේ තාඩන පීඩවලට මුහුණ දෙනවා සමහර වෙලාවට පහරකෑමට පවා ලක්වෙන්න මේ අම්මට සිදුවෙනවා... නිදහසේ තීරණයක් ගැනීම පවා මේ පියාගෙන් ඉඩ සැලසෙන්නෙ නෑ... හිරකාරියක් වගේ තමයි ඇය මේ ගෙදර ඉන්නෙ...යොවුන් වියේ ඉන්න ඉන්ෂියා මේ සියල්ල දකිනවා... ඇය ටිකක් ආවේගශීලි චරිතයක්... ඇය මේ සිදුවීම් ගැන අම්මගෙන් ප්‍රශ්න කරනවා.. දුව අහනවා ඇයි අම්මා මේ දේවල්වලට විරුද්ධ නොවන්නෙ කියලා... මම ඒක දකින්නෙ අලුත් පරපුර පැරැණි පරපුරෙන් ප්‍රශ්න කරන ස්වරූපයක්... මේ සම්ප්‍රදායික පීඩනයට අපි තවදුරටත් ඉඩ දිය යුතුද යන්නයි ඇය ප්‍රශ්න කරන්නෙ... කියලයි මට හිතුණේ... ඉන්ෂියා මලික්ට විශේෂ හැකියාවන් තියෙන කෙනෙක්... ඇයට ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන්. ඇය ගීත කියන එකට තාත්තා අකමැතියි... තාත්තාගෙන් දෝෂාරෝපණ එල්ල වුණත් ඇය ගීත ගායනා කරන එක නවත්තන්න සූදානම් වෙන්නෙ නෑ... ඒ තරම්ම ඇය සංගීතයට ඇලුම් කරනවා... කොහොම හරි ඇයි බුර්කාවක් පැළඳගෙන ගීතයක් ගායනාකරලා ෆේස් බුක් එකට දානවා... ආගමික සංස්කෘතික පරිසරය නිසා ඇයට එළිපිට ඇවිත් ගීතයක් ගායනා කරන්න අවකාශයක් නෑ... ඒ නිසා තමයි ඇය බුර්කාවට හැංගිලා තමන්ගෙ දක්ෂතාව ඉදිරිපත් කරන්න තීරණය කරන්නෙ... පසුව ඇගේ ගීතය අතිශය ජනප්‍රිය වෙනවා. කොහොමහරි ඇයට හැකියාව ලැබෙනවා ඉන්දියාවේ ඉන්න ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන ෂක්ටි කුමාර් එක්ක සම්බන්ධයක් ඇතිකර ගන්න... ඒ ගායකයාගේ චරිතයට රඟපාන්නෙ අමීර්ඛාන්... ඇය මේ ප්‍රකට සංගීත අධ්‍යක්ෂකවරයාව හොයාගෙන යනවා... ඇයට උවමනා වෙනවා... ඇගේ හැකියාව පුළුල් කරගෙන ලෝකයට විවෘත වෙන්නෙ... මේ සංගීත අධ්‍යක්ෂකවරයා එක්ක ඇතිවන සබඳතාව නිසා එක මොහොතක ඇය පෙළඹෙනවා තමන් පීඩා විඳින පෞද්ගලික ප්‍රශ්න පවා ඔහුට කියන්න... ඇගේ මව විඳින පීඩාවන් ඇය ඔහුට කියනවා... පසුව ඒ ප්‍රශ්නයෙන් ගැලවෙන්න අවශ්‍යවන නීතිමය උපදෙස් ෂක්ටි කුමාර් මේ දැරියට වටහලා දෙනවා. මේ සංගීතඥයාගේ උදව්වෙන් තම පියාගෙන් අම්මාව බේරගන්න අවශ්‍යවන දික්කසාද ලියවිලි ටික ඉන්ෂියා අතට ලැබෙනවා. මේ ලියවිලි අම්මට දුන්නත් ඇය මේ ලියවිලි ටික බාරගන්න කැමති වෙන්නෙ නෑ... මොකද ඇය සම්ප්‍රදායික කාන්තාවක්. ආගමික සංස්කෘතික රාමුවක ඇය හිරවෙලා ඉන්නෙ... අවසානයේ මේ අම්මාට පීඩාවන් දරාගන්න බැරිම තැන ඇය මේ ලියවිලි අත්සන් කරනවා. මේකෙන් කියන්නෙ පවුල් ජීවත කඩාකප්පල් කර ගන්න ඕනෙ, නැත්නම් පවුල කඩාගෙන යන්න ඕනෙ කියන එක නෙමේ... දේව විශ්වාස හරි ආගමික රාමු, නැත්නම් සම්ප්‍රදායික සංස්කෘතික කරුණු නිසා මානවයා පීඩනයට පත් නොකළ යුතුයි කියන එක තමයි නිර්මාණය තුළින් ඉස්මතු කරන්න උත්සාහ කරන්නෙ... මම හිතන්නේ පිරිමින්ට වඩා මේ චිත්‍රපටය බැලිය යුත්තේ කාන්තාවන්... විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවන්.
සීක්ක්‍රට් සුපර්ස්ටා චිත්‍රපටයේ සුජීව ආසම කැරුක්ටර් එක කවුද?
අතිශයින්ම මම කැමතිම චරිතය තමයි ඉන්ෂියාගේ චරිතය... හේතුව තමයි මම හිතන්නේ ලංකාවේ ඉන්න අලුත් පරපුරේ මුස්ලිම් දැරියන් ඉන්ෂියාගේ චරිත ආදර්ශයට ගත යුතුයි කියලා. මම කියන්නෙ නෑ සමස්ත සංස්කෘතියම, සමස්ථ ආගමම ප්‍රතික්ෂේප කරන්න ඕනෙ කියලා. නමුත් මේ සම්ප්‍රදායට, ආගමකට කොටුවෙලා මිනිසුන් පීඩාවටත් පත් කරන දේවල් අපි ප්‍රතික්ෂේප කළ යුතුමයි... ගෝත්‍රික අදහස්වලින් මිදිච්ච සමාජයක් අපි හදන්නම ඕනෙ... ඒකට ඉන්ෂියා වගේ අලුත් විදියට හිතන්න පුළුවන් චරිත බිහිවෙන්නම ඕනෙ...
ඉන්ෂියා වගේ හෝ ඊට සමාන චරිතයක් ඔබේ සැබෑ ජීවිතයේදී මුණගැහිලා තියෙනවාද?
ඔව් එහෙම චරිත ගොඩක් මට හම්බවෙලා තියෙනවා.. හොඳම උදාහරණය තමයි මගේ බිරිඳ දුලීකා... ඇය කිසිම රාමුවක ඉන්න කාන්තාවක් නෙමේ... ඒ නිසාම ඇය නිදහසේ පහසුවෙන් ඉන්නවා... අපේ රටේ කාන්තාවක්, බිරිඳක් විදියට රැකගත යුතු සාරධර්ම රැකගනිමින් ඇය චින්තනමය වශයෙන් ලෝකයට විවෘත වෙනවා... ගමේ ඉඳලා ඇවිත් නගරය තරණය කරලා ලෝක දිනන්න උත්සාහ කරන චරිතයක්... ඇය මේ සියල්ලම කරන්නෙ ගැහැනියක් විදියට රැකගතයුතු ගෞරවපූර්වභාවයන් රැකගෙන... අන්න ඒකයි වැදගත්ම වෙන්නෙ...
මේ නිර්මාණයේ කිමිදෙද්දී ඔබව අතිශය සංවේදී වෙච්ච තැනක් මතක් කරමුකො?
ඇත්තටම ඒ තැන මතක්වෙද්දිත් ඇඬෙනවා... අත්සන් කරපු ඩිවෝස් පේපස් ටිකක් අරගෙන අම්මත් එක්ක සුපස්ටාර් තරගයට යනවා... ඇයගේ ගීතය එම තරගය සඳහා නිර්දේශවෙලා තියෙනවා... ඒ මොහොතේදී ඇය ඇගේ මුහුණ ආවරණය කරලා තියෙන බුර්කාව ගලවනවා.. අතිශය සංවේදීව ඒ දර්ශනය කැමරා කාචයට හසුකරගෙන තිබුණ විදිය... ඇය බුර්කාව ගැලවීම එක පැත්තකින් දේශපාලනිකයි... අනිත් පැත්තෙන් ඇය බුර්කාව ගලවලා ලෝකයට විවෘත වෙනවා... මම විශ්වාස කරනවා බුර්කාවට වසංවෙලා ඉන්න සියලුම කාන්තාවන් ඉන්ෂියා අත්විඳපු ඒ නිදහස අත්විඳය යුතුයිමයි කියලා.
මේ චිත්‍රපටය සුජීවට මුණගැහෙන්නෙ අහම්බෙන් වෙන්න බෑ..?
කොහොමත් මම අමීර් ඛාන්ගෙ චිත්‍රපට බලනවා... මම සහ මගේ බිරිඳ දුලීකා අමීර් ඛාන්ගේ ලොකු ෆෑන්ස්ලා.. මුලින්ම මම මේක බැලුවේ චිත්‍රපටය ශාලාවේ.. ඊට පස්සෙ කීපවතාවක්ම ඩීවීඩී එකෙන් මේ චිත්‍රපටය බැලුවා...
සීක්කර්ට් සුපර්ස්ටා චිත්‍රපටය බලලා අවසානයේ මොනවගේ හැඟීමක්ද ඔබේ හිතට දැණුනේ..
ඇත්තටම මට ඒ ළමයව බදාගන්න හිතුණා... ඒ හැඟීම වචනවලට පෙරළන්න මට තේරෙන්නෙ නෑ... කොහොමත් අමීර් ඛාන්ගෙ චිත්‍රපටවල අවසානය හරි පොසිටිව්... නිර්මාණයකින් අපි බලාපොරොත්තු වෙන්න ඕනෙ ආනන්දයෙන් ප්‍රඥාවට ගමන් කිරීම.. ලෝකය ඥානනය කිරීම... ඒ දේ හරියටම මේ නිර්මාණය තුළින් උණා කියලයි මගේ හැඟීම... ලද බොලඳ නිර්මාණවලින් ඒ දේවල් සිද්ධවෙන්නෙ නෑ... නිර්මාණවේදින්ගේ ප්‍රධාන අරමුණ විය යුත්තේ මිනිස්සුන්ට හිතන්න යමක් ඉතිරි කිරීම...
එහෙම තමයි එයා කතාවට තිත තිබ්බේ...
► Text - Danushka Wijesiri / Pic - Internet