2019 ජුනි 22 වන සෙනසුරාදා

දෙවියන්ගේ නගරයේ ලීල් ළඟ මම නැවතුණා

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 109

Art එකේ කැරට්ටුව..
හඬ: සෞම්‍ය සඳරුවන් ලියනගේ

 

කොහොමද මචං.....
ඒ තමයි ඔහුගේ ආමන්ත්‍රණය.....

හරිම හැඩට කොළඹ පේන වෙලාවක.... අපි දන්න කියන එකෙක් එක්ක බේරේ වැව අයිනට වෙලා චැට් එකක් දාන් ඉන්න එක වෙනමම ආතල් එකක්....
ආ... කියන්න බැරි වුණානේ... අද මගේ ළඟින්ම ඉන්න අමුත්තා කවුද කියලා...

ඔහු ගැන මම මෙහෙම කියන්නම්. ඔහු තරුණ කවියෙක්... වෙනස්ම ආරක කවියෙක්..  2013 වසරේ විශිෂ්ඨතම කාව්‍ය සාහිත්‍ය රාජ්‍ය සම්මාන ලාභියාත් ඔහු තමා... ඒ සම්මානය ලැබුණේ හැටේ වත්තේ මද්දලේනා කෘතියට... එයාගෙ තව වෙනස් ආරක ලස්සන කවිපොතක් තමයි නුඹ නොවේ නම් කියන්න කෘතිය... තව පොත් කීපයක්ම ඔහුගේ අතින් ලියවෙලා තියෙනවා.. මේ වෙන කවුරුත් නෙමේ.. සෞම්‍ය සඳරුවන් ලියනගේ.. 
බිම් කළුවර කොළඹ අහස ගිලගන්න සැරසෙනකොට... අපේ කතාවේ ඇරඹුම ගන්න හිතුවා...

සෞම්‍ය කොහොමද ඉතින් වාසේ දේසේ එහෙම...?
ඔහු හිනාවක් දාගෙනම... කතාවට මුලපිරුවා.. 
හොඳින් ඉන්නවා... පහුගිය දවස්වල මගේ අලුත් නවකතාව ලියලා ඉවරවුණා.. ඉදිරි දිනවලදී ඒක පාඨකයා වෙත බාරකරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..  ඕවා තමයි ඉතින්.. 
සෞම්‍ය සඳරුවන්ගේ නිර්මාණ විඳීමේ පරාසය ගොඩක් පුළුල්... ඒක අපි දන්නවා... ඇහෙන් දැකලා, හදවතින් ස්පර්ශ කරපු.... ජීවිතේම පැයක දෙකක රූප රාමු කිහිපයකට  කැටි කරපු  නිර්මාණයක් ගැන... කතාකරමුද...?  ඒක තව කෙනෙකුට විඳින්න

තරම් වටින එකක් නම් මරු.
හරි අපි කතාකරමු.. 

සෞම්‍ය ගෙන් ලැබුණු කෙළින් උත්තරේ මට හයියක්.. 
මම කැමතිම නිර්මාණ නම් ගොඩක් තියෙනවා... අපි ෆිල්ම් එකක් ගැන කතා කරමු. මොකද මම ෆිල්ම් බලන්න ගොඩක් ආසකරන කෙනෙක්.. මම දවසට චිත්‍රපටය තුනක් හතරක් බලන තරමට ඒකට ඇබ්බැහි වෙලා හිටියා... ඒ බලපු චිත්‍රපට අතරින් මගේ මතකයේ තියෙන ලස්සන චිත්‍රපටයක් තමයි 2002 අවුරුද්දේ ප්‍රදර්ශනය කරපු සිටි ඔෆ් ගෝඩ් කියන චිත්‍රපටය.. 

එදාට වඩා ෆිල්ම් ඉන්ඩර්ස්ට්‍රියල් එක දැන් ගොඩක් දියුණුයි.. ඇයි මේ සිටි ඔෆ් ගෝඩ් චිත්‍රපටයට මෙච්චරම ඇළුම් කරන්නේ...?
ඒකට හේතු කීපයක්ම තියෙනවා.. මගේ අධ්‍යනය කටයුතු සිදුකළේ චිත්‍රපට ක්ෂේත්‍රයත් එකක්... නිතර දකින චිත්‍රපටවලට අමතරව වෙන වෙන භාෂාවල චිත්‍රපටත් මට බලන්න සිද්ධවුණා... එහෙම බලපු චිත්‍රපටයක් තමයි මේ සිටි ඔෆ් ගෝඩ් කියන්නෙ... මේ චිත්‍රපටය බ්‍රසීල් චිත්‍රපටයක්... පෘතුගීසි බසින් තමයි මුලින් මේ චිත්‍රපටය තිරගත වුණේ. පස්සෙ තමයි ඉංග්‍රීසි සබ්ටයිටල් සමඟ ලෝකෙ පුරා ජනප්‍රිය වුණේ... බ්‍රසීල සමාජය කේන්ද්‍ර කරගෙන නිමැවුණ නිර්මාණයක් වුණාට ලංකාවේ අපිට ගොඩක් සමීප කතාන්දරයක් තමයි මේ චිත්‍රපටයෙන් දිගහැරෙන්න... ධනවාදී ආර්ථිකයේ ගොදුරක් බවට පත්වෙලා තමන්ගෙ මවුරට ඇතුළේම තමන් ප්‍රතික්ෂේප වුණොත්, කොන් වුණොත්... ඒ මිනිස්සුන්ට මොනවද වෙන්න බැරිද කියලා... මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රශ්න කරනවා... ඒ මිනිස්සුන්ට වෙන ඛේදවාචකය තමයි ඉතා සියුම් විදියට කැමරා කාචයට හසුකරගෙන තියෙන්නෙ... මේ චිත්‍රපටය සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණයක් කරපු එකක්... මේ කාරණා සියල්ලම නිසා වෙන්න ඇති මට ගොඩක් මේ චිත්‍රපටය දැනෙන්නේ.

මම කලිනුත් කිව්වා වගේ මේ කතාවට පසුබිම් වෙන්නෙ 1960 දශකයේ බ්‍රසීලයේ රියෝ අගනුවර ආශ්‍රිත සිද්ධියක්... එවකට බ්‍රසීල රජය වුවමනා වෙනවා රියෝ නගරය ලස්සන කරලා විචිත්‍රවත් විදියට පවත්වාගෙන යන්න. නමුත් රියෝ නගරයේ ජීවත් වුණ අඩු ආදායම්ලාභී පවුල් එහෙමත් නැත්නම් මුඩුක්කු ජනයා නිසා ඒකට ලොකු බාධාවක් වෙනවා... පසුව රජය තීරණය කරනවා ඔවුන්ව ඒ නගරයෙන් ඉවත් කරන්න... ඔවුන් හිටපු ස්ථානයේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් පටන් ගන්න... අර මුඩුක්කු වැසියන් සියලු දෙනාවම වෙනමම නගරයක් නිර්මාණය කරලා ඒ සඳහා ගාල් කරන්න... ඒ නගරයේ නම තමයි සිටි ඔෆ් ගෝඩ් කියන්නෙ... නම දෙවියන්ගේ නගරය වුණාට ඒක අපායක් වගේ. කිසිම පහසුකමක් නැති නගරයක්. මේ පාලකයන් මේ නගරයට උදාන වාක්‍යයක් පවා දෙනවා... ඒ වාක්‍ය තමයි අනාථයෝ නම් සිටි ඔෆ් ගෝඩ් තමයි කියලා.. එච්චරටම ඒ වැසියන්ව පාලකයන් විසින් කොන් කරනවා. සිටි ඔෆ් ගෝඩ් නගරය ඇතුළේ ඉන්නවා රොකට් කියලා ප්‍රධාන චරිතයක්. ඔහුගේ අර්ථකථනයක් විදියට තමයි මේ චිත්‍රපටය දිගහැරෙන්නෙ. සිටි ඔෆ් ගෝඩ්වල මිනිසුන් පදිංචි කරපු මුල් යුගයේ තමන්ට අහිමිවෙච්ච අයිතිවාසිකම් බලහත්කාරයෙන් ගන්න මේ වැසියන් පෙළඹෙනවා.. මංකොල්ලකෑම්, පැහැරගැනීම් පහරදීම්වලින් තමයි ඔවුන් ඒ දේවල් ලබාගන්න හදන්නෙ.

දුප්පත්කමේ පතුලටම වැටිලා ඉන්න සිටි ඔෆ් ගෝඩ් මිනිස්සුන්ට පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් ටිකක් තිබුණා... ඒවා තමයි මත්ද්‍රව්‍ය සහ ආයුධ... ඒ දේවල් ඕනතරම් එහෙ තිබුණා. චිත්‍රපටය පටන් ගන්නේ සැගී, කිපර්, රූත් කියන අවුරුදු 16, 17 කොල්ලො තුන්දෙනෙක් එකතුවෙලා පොඩි පොඩි මංකොල්ලකෑම් කරන දර්ශන කිහිපයකින්...  මීට වඩා වයසින් අඩු තව ළමයි දෙන්නෙක් ඉන්නවා ලීල් සහ බෙනී ෆිට්න්.. මේ කීප දෙනා එකතුවෙලා එක්වෙලා තීරණය කරනවා සමාජ ශාලාවක් මංකොල්ල කන්න... මේ යෝජනාව මුලින්ම ගේන්නේ අවුරුදු දහයක්වත් නැති ලීල් කියන පොඩි දරුවා... මේ සියලුදෙනා ඒකමතිකව එකඟ වෙනවා කිසිම මිනිහෙක්ව නොමරා මේ මංකොල්ල කෑම කරන්න ඕනෙ කියලා... නමුත් මේ මංකොල්ල කෑම කෙළවර වෙන්නෙ ලේ විලක් වෙලා.. මිනිසුන් ගණනාවක්ම මරණවා.. පොලිසියේ සැගී, කිපර්, රූත් කියන තුන්දෙනාව හොයනවා.. ඔවුන්ට මේ සිද්ධියෙන් පස්සේ ජීවත්වෙන්න ලැබෙන්නෙ නෑ... කතාව යනකොට පස්සෙ තමයි දැනගන්නෙ මේ සියලු මිනීමැරුම් කරලා තියෙන්නෙ ලීල් කියන අවුරුදු දහයක විතර පොඩි එකා කියලා.. එතන ඉඳලා ලීල්ගේ ගමන තමයි මුළු චිත්‍රපටය පුරාම යන්නෙ... එයාට ඕන වෙන්නෙ පාතාල ලෝකයේ රජවෙන්න.. ඉතාම කෙටි කාලයක් තුල මීනී දහස් ගණනක් මතින් ඔහු ඒ තැනට යනවා.. ඔය අතර ලීල්ට සමාන ලීල්ට විරුද්ධ කැරට් කියලා මැර චරිතයක් එනවා මේ කතාව ඇතුළට.. මේ කල්ලි දෙක අතර මුදල්, ආයුධ, මද්‍රව්‍ය නිසා ගැටුමක් වර්ධනය වෙනවා.. අවසානයේ ලීල්ට මැරුම් කන්න සිද්ධවෙනවා.. භයානකම දේ තමයි ලීල් මැරුම් කන්නෙ අවුරැදු 10, 12, වගේ පොඩි පොඩි ළමයි කීප දෙනෙක් අතින්... මේ පාතාල ක්‍රියාකාරීත්වයන් වෘත්තයක් ආකාරයට කැරකෙනවා කියන පණිවිඩයත් එක්ක තමයි මේ චිත්‍රපටය නිමවෙන්නෙ... 

මේ චිත්‍රපටයේ නරඹද්දී ඔබට සමීපම වෙච්ච චරිතයක් එහෙම ඇති නේද?
ලීල් කියන ප්‍රධාන චරිතයට මම කැමතියි... ඊටත් වඩා ඔහුගේ යාළුවා ෆිට්න්ගේ චරිතයටත් මම ගොඩක් ඇලුම් කරනවා.. මොකද ෆිට්න් කියන්නෙත් මීනීමරුවෙක් වුණත් කිසියම් ධනාත්මක දේවල් ටිකක් ඔහුගේ පුද්ගල චරිතය ඇතුලේ තියෙනවා. 

සෞම්‍යව කම්පනය කරපු අවස්ථා මේ චිත්‍රපටය පුරා ගොඩක් ඇති නේද.. එකක් දෙකක් මතක් කරමුද?
මුළු චිත්‍රපටය පුරාම එහෙම දර්ශන තමයි ගොඩක් තියෙන්නෙ... විශේෂ එක තැනක් තියෙනවා... ඒ තැන හරිම සංවේදීයි... ඒ තැන තමයි ලීල්ව පොඩි ළමයි කීප දෙනෙක් එකතුවෙලා අමානුෂික විදියට ඝාතනය කරන තැන... ලීල්ව ඝාතනය කරන එක නෙමේ වැදගත්ම කාරණවා... ලීල්ගේ ඝාතනයෙන් පස්සේ මේ අවුරුදු අටේ දහයේ කොල්ලො ටික කතාවෙනවා අපිට තවත් මිනිස්සු ටිකක් ඉන්නවා මරන්න... ඒ අයගේ ලිස්ට් එකක්  හදාගත්තොත් ලේසියි කියලා... එක කොල්ලෙක් කියනවා ලිස්ට් එකක් ලියන්න දන්න එකෙක් ඉන්නවා නම් ඉස්සරහට එන්න කියලා... නමුත් මෙතන ඉන්න එක ළමයකුටවත් අකුරු ලියන්න දන්නෙ නෑ... එතන තමයි මට වැඩියෙන්ම දැනුණේ.. ඇත්තම ප්‍රශ්න තියෙන්නෙත් එතනම තමයි... 

කොහොමද මේ නිර්මාණය මුලින්ම ඔබේ ඇස ගැටුණේ...?
මම කලිනුත් කිව්වා වගේ මම මගේ අධ්‍යනයක් විදියට චිත්‍රපට තමයි තෝරගත්තෙ.. නිතර දෙවේලේ දකින හොලිවුඩ්, බොලියුඩ්, ටැමිල් ෆිල්ම්වලට විතර කොටු වෙන්න මම කැමති නෑ... එහෙම හොයද්දී හම්බවෙච්ච චිත්‍රපටයක් තමයි සිටි ඔෆ් ගෝඩ් කියන්නෙ.. මම මේ චිත්‍රපටය කොච්චර ආකර්ෂණය වුණාද කියනව නම් දැනට හත් අට පාරක්ම මම මේ චිත්‍රපටය බැලුවා...

මේ චිත්‍රපට තුළින් ඔබ ඔබේ ජීවිතයට මොනවගේ දෙයක්ද එකතු කරගන් පුළුවන් වුණාද...?
අපි සමාජයක් විදියට අත්දකින දේවල්ම තමයි මේ... අපි ඉපදුනේම යුද්ධයක් ඇතුළේ, අපි අත්වින්දෙ දකුණේ කලබල, අපි දැක්කේ පාතාල මිනී මැරැම්... මේ සියල්ලමත් මම මේ චිත්‍රපයට ඇතුළෙත් දැක්කා... සමාජයක් විදියට අපේ ජීවිතවලට එකතුවෙලා තිබ්බ දේවල් තමයි කැමරා කාචයක් හරහා මම අත්දැක්කේ.. 

අවසාන ජවනිකාවෙදි සෞම්‍ය ගේ මනසට ආවේ මොන වගේ දෙයක්ද?
සෑහෙන කම්පනයක් හිතට දැණුනා... ඒක හරි කාලකන්නි හැඟීමක්..  අපි හැමෝම ගැන... අපි ජීවත්වන ක්‍රමය ගැන ලෝකු වේදනාවක් දැනුණා, මිනිහෙක් පෙරළගෙන තව මිනිහෙක් උඩ නගින්න තියෙන වුවමනාව ගැන අපිටම ලජ්ජයි.

 

► Text - Danushka Wijesiri   /   Pic - Internet