2019 ජුනි 22 වන සෙනසුරාදා

කාමරේ පැටලිලා අරාබ් ගෑනියෙක්ගෙන් මාරෙට බැණුම් ඇහුවා

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:31 246

 

මිහිර කියන්නෙ මොනවගේ යාළුවෙක්ද..?
මිහිර කියන්නෙ ඇත්තටම හොඳ හිතක් තියෙන, යාළුවන් ගැන යාළුවන්ගෙ පැත්තෙන් හිතන හරි වෙනස් චරිතයක්. හැබැයි.. මට හිතෙන විදිහට මිහිරව කාටවත් එහෙම එකපාර දිරවන්නෙ නැහැ. නමුත් මිහිර කියන්නෙ කවුද කියලා හඳුනාගත්ත කෙනාට මිහිරව අතහරින්න හිතෙන්නෙත් නැහැ.

එයාට කේන්ති යනවද..?
ඔව්.. කේන්ති යනවා. හැබැයි ඌ ඒ කේන්තිය කවදාවත් පෙන්නන්නෙ නැහැ. අපිත් එක්ක ළඟින් වැඩ කරන අය එක්ක කේන්ති ගිය වෙලාවක මිහිර මුකුත්ම නොකියා මඟහැරලා යනවා. පස්සෙ මාව මුණගැහුණාම මචං.. මට ඒ වෙලාවේ කේන්ති ගියා මචං.. කියනවා. එතකොට මම ඇයි උඹ ඒ වෙලාවේ මුකුත් කිව්වෙ නැත්තෙ..කියලා  ඇහුවාම මිහිර කියන්නෙම  නැහැ.. මම ඒ වෙලාවේ මුකුත් කියන්න ගියේ නැහැ. එහෙම මොනවාහරි කිව්වානම් එතන ලොකු ප්‍රශ්නයක් ඇතිවෙයිනෙ.. කියලයි. මිහිරට යන කේන්තිය කවදාවත් මිහිර පෙන්නන්නෙ නැහැ. ඒ හැමදේම තනියම විඳදරා ගන්නවා.

මිහිර කියන රංගන ශිල්පියාව චින්තක දකින්නෙ කොහොමද..?
මිහිර සිරිතිලකව මුළු ලංකාවම වැඩිපුරම දන්නෙ ඔහු හාස්‍ය උත්පාදන නළුවෙක් විදිහටයි. නමුත් ඔහුගේ ඇතුළේ තියෙන රංගනය අති විශිෂ්ටයි. මම හිතන විදිහට ඒක අධ්‍යාපනයත් එක්ක එන දෙයක්. ඔහු නිකම් චිත්‍රපට බලලා රංගනය ඉගෙන ගත්ත කෙනෙක් ‍නෙමේ. විශ්වවිද්‍යාල මට්ටමෙන් ඉගෙනගෙන, මහරගම තරුණසේවා සභාවෙන් රංගනය පිළිබඳව අධ්‍යයනය කරලා, පසුකාලීනව ඒ ආයතනවල පාඨමාලා ඉගැන්වීම් කටයුතුවල නිතරවෙලා, ඒ පිළිබඳව විශාල දැනුමක් එක්ක වැඩ කරන මනුස්සයෙක්. ඒ දේ බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. බොහෝ දෙනෙක් හිතන්නෙ මිහිර කියන්නෙ විකට වදන් කියන සාමාන්‍ය චරිතයක් විතරයි කියලයි. හැබැයි ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේමයි ඔහුගේ පිටපත් රචනය. අද ලංකාවේ කොමඩි තරු වෙලා සිටින බොහෝ දෙනා ඒ වගේ තරු වුණේ මිහිරගේ පිටපත් රචනාවලිනුයි. ඔහු දක්ෂ පිටපත් රචකයෙක්. ඒ වගේම හොඳ කවි ලියන්නෙක්. නවකතා ලියන්නෙක්. හොඳ සිතුවිලි පහළවෙන්නෙක්. 

රූගත කිරීම් අතරතුරදී.. යම් වැඩකදී ලැබෙන විවේක කාලවලදී දෙන්නා මොනවගේ දේවල්ද කරන්නෙ..?
මමයි මිහිරයි බොහෝ වෙලාවට ලංකාවේ පිට පළාත්වල මෙන්ම පෞද්ගලික ආයතනවල event වලට සහභාගි වෙනවා. ඒ යන අතරතුරදී, රූගත කිරීම් කරන අතරතුර ලැබෙන විවේක කාලයේදී කතා කරන හැම මොහොතකම අපි අනුන්ගෙ ඕපදූප, අනුන්ගේ කුණු ගැන කතා කරන්නෙ නැහැ. එක්කො අපි මොකක්හරි හොඳ චිත්‍රපටයක් ගැන කතා කරනවා. නැත්නම් අලුත් නිර්මාණයක් ගැන කතා කරනවා. එ0හෙමත් නැත්නම් මිහිර එයා ලියපු කවියක්, ගීතයක් ගැන කතා කරනවා. අපි ඒවායේ අඩුපාඩු ගැන කතා කරනවා මිසක් කාගෙවත් ඕපදූපයක් ගැන කතා කරන්නෙ නැහැ. එහෙම කතා කරලා වැඩකුත් නැහැ.

මෙහෙම දුරබැහැර ගමන් යද්දී අමතක නොවන සිදුවීම් එහෙම වෙලා නැද්ද..?
අම්මෝ.. වෙලා තියෙනවා. එකපාරක් මායි මිහිරයි ඉංගිරිය පැත්තෙ හෝටලයක event එකක් කළා. ඊට පස්සෙ මිහිරට වේදිකා නාට්‍යයකටත් කෑගල්ලටත් යන්න තිබුණා. අපි උදේ ඉංගිරියට ගිහින් කෑගල්ලට යන්න තමයි හිතාගෙන හිටියෙ. හැබැයි event එක අපි පටන් ගන්න වෙලාවට වඩා ටිකක් පරක්කු වුණා. ඉවරවෙද්දී දවල් දොළහ විතර වුණා. අපිට දැන් දෙක හමාරට කලින් කෑගල්ලට යන්නත් ඕනෙ. Map එකෙන් බැලුවාමත් පැය දෙකයි විනාඩි හතළිස් පහක් යන්න තියෙනවා කියලත් පෙන්නනවා. ඔන්න දැන් මිහිර කාර් එක පදින්න පටන් ගත්තා. මම map එකේ විදිහට පාර කියනවා. ඉස්සරහින් හරවන්න... දකුණට දකුණට.. කිව්වාම මිහිර වේගයෙන් දකුණට දානවා. ආයේ මම වමට දාන්න.. වමට දාන්න කිව්වාම මිහිර වමට දානවා. මෙහෙම ගිහින් ගිහින් මම එකපාරටම මිහිරට නවත්තන්න.. නවත්තන්න කිව්වා විතරයි මිහිර එකපාරටම වාහනය නවත්වනවාත් එක්කම මම දොර ඇරලා වමනය දැම්මා. යන වේගයයි map එකයි බලාගෙන ගිහින් මට එකපාරටම ඔළුව කැක්කුමක් හැදිලා වමනය ගියා. ආයේ දෙන්නා වාහනයට නැඟලා අර සුපුරුදු වේගෙන්ම කෑගල්ලට ගියා. අපි එතනට යද්දී වෙලාව දෙක හමාරයි. ගිය ගමන් ලෑස්තිවෙලා දෙකයි හතළිස් පහට ෂෝ එක පෙන්නුවා. 

පසුගිය කාලෙදී කුමාර තිරිමාදුර, මිහිර සිරිතිලක සහ චින්තක පීරිස් විදෙස් ප්‍රසංගයකටත් සහභාගි වුණා නේද..?
ඔව්.. අපි තුන්දෙනාගේ විකට රංගනය සහ ගීත සියල්ලම එකතු කරපු ප්‍රසංගයක් කරන්න විදෙස්ගත වුණා. ඇත්තටම මේ ගමනෙදී රටවල කිහිපයකටම යන්න අපි ප්ලෑන් කළා. මුලින්ම එංගලන්තයට ගිහින් ඉතාලිය, ජර්මනිය හරහා නැවතත් එංගලන්තයට ඇවිත් ආයෙමත් ප්‍රංශයට යන්න තමයි අපි හිතාගෙන හිටියෙ. නමුත් අයි.එස්.අයි.එස්. ප්‍රහාරය නිසා ඒ ප්ලෑන් සියල්ලම වෙනස් වුණා. අපි එංගලන්තයට ගිහින් පැරිස්වලට ඇවිත් ආයෙ ලංකාවට ආවා.

දෙන්නත් එක්ක ගිය ගමන කොහොමද..?
මාරම මාරයි. අපේ ප්‍රේක්ෂකයො ටී.වී. එකේ දකින විහිලුවලට හිනාවෙනවනෙ. හැබැයි ඊට වඩා විශාල වශයෙන් හාත්පසින්ම වෙනස් විහිලු තමයි අපි එකතු වුණාම කරන්නෙ. මිහිර, කුමාර අයියා හම්බවුණාම අපි කතා කරන විහිලු මාරයි. අපි කාටවත් මුකුත් කියලා පිරිමහන්න බැහැයි කියලා අපි දන්නවා. මිහිරට මට විහිලුවක් කරලා පිරිමහන්න බැහැ. ඒකට වඩා දෙගුණයක් ආයෙ ලැබෙනවා කියලා දන්නවා. මමත් එහෙමයි. ඉතින්.. ඔය ගමන් බිමන් යද්දී වෙලාව, පාළුව තනිකම කවදාවත් දැනිලා නැහැ

ඒ රටවල කෑම බීම ගනිද්දී අමතක නොවන සිදුවීම් වෙලා නැද්ද..?
මිහිර කියන්නෙ හොඳ වෙජිටේරියන් චරිතයක් මස් මාළුවලට කැමති චරිතයක් නෙමෙයි. කෑම පස්සෙ එළවගෙන යන චරිතයක් නෙමෙයි. ඒ නිසා කොහේ කොතනක ගියත් මිහිර මස් මාළු නැති කෑම තමයි හොයන්නෙ. පළතුරු බීමවලට හරි ආසයි. මිහිර පරිසරයට ගොඩක් ආදරේ කෙනෙක්. එළියට බැස්සත් ගහකොළ ගැන මිහිර හරියට කතා කරනවා. මිහිර අලුතින් ගෙයක් හැදුවා. ඒ ගෙදරට එහා පැත්තෙ හැමෝටම සෙල්ලම් කරන්න පොඩි පිට්ටනියක් තියෙනවා. මිහිර මාත් එක්ක යනකොට දකින්න තියෙන මල්පැළ, ගස්, සල්ලි දීලා ගන්නවා. ඒ හැමදෙයක්ම එයා හිටවන්නෙ අර පිට්ටනි කෑල්ලෙ. මචං.. මේ ගහෙන් කවදාහරි මිනිසුන්ට ගස්වල අගය තේරේවිනෙ.. කියලා තමයි මිහිර කියන්නෙ. මිහිර ගහකොළවලට සතා සිව්පාවුන්ට හරි ආදරෙයි. මිහිර කියන්නෙ දුෂ්කර ගම්මානයක දුෂ්කර ජීවිතයක් ගතකරපු කෙනෙක්. මිහිර ඒ අතීතයේ බොහෝ දේ ජීවිතය සාර්ථක කර ගන්න ජීවිතයට ළංකර ගත්තා.

මිහිර වගේ යාළුවෙක් ජීවිතයට ළංවුණු එක ගැන මොකද හිතන්නෙ..?
මිනිහෙකුගේ ජීවිතේට තමන්ගේ කියලා දැනෙන, එන ඕනෑම ප්‍රශ්නයක් කතා කරලා විසඳාගන්න පුළුවන් හොඳම යාළුවෙක් ඉන්නම ඕනෙ. සමහරු අපිට අවාසි වෙන විදිහට තමයි හැමවෙලේම කටයුතු කරන්නෙ. මිහිර කියන්නෙ එහෙම කෙනෙක් නෙමේ. මම මිහිරට මගේ ප්‍රශ්නයක් කිව්වොත් මිහිර ඒ ගැන මට වඩා හිතනවා. දුක් වෙනවා. අපි එංගලන්තයට යද්දී වීසාවලට දුන්න මගේ ෆෝම්වල පොඩි ප්‍රශ්නයක් ආවා. ඒ නිසා එංගලන්තයට යන්න වීසා වදින එකක් නැහැ කියලා මට පොඩි සැකයක් ආවා. ඒ ගැන මට වඩා දුක් වුණේ මිහිරයි. අපි වීසා ගන්නත් ගියේ එකටයි. අපි දෙන්නගේ පාස්පෝට් එක අතට දුන්න වෙලාවේ මිහිර පාස්පෝට් එක දිගනොහැර උඹ බලපංකො.. උඹේ වීසා වැදිලනම් විතරයි මම බලන්නෙ.. කියලා මට කිව්වා. එහෙම යාළුවෝ නැහැ. මම බලද්දී මට වීසා වැදිලා. ඊට පස්සෙ තමයි ඌ පාස්පෝට් එක දිගහැරියෙ. මිහිර කියන්නෙ මගේ ජීවිතේ ඕනෑම ප්‍රශ්නයක් පැහැදිලිව කෙළින් කතා කරලා හොඳ උත්තරයක් ගන්න පුළුවන් හොඳ යාළුවෙක්.

ඔන්න ඔහොමයි මිහිර ගැන චින්තක කිව්වෙ. දැන් අපි අහමුද චින්තක ගැන මිහිර මොනවද කිව්වෙ කියලා..

මිහිර.. ඔයාට මතකද චින්තකව මුණගැහුණු මුල්ම කාලය..?
ඔව්.. මම රජකඩුව ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙද්දී චින්තකත් ඒ නාට්‍යයේ චරිතයක් රඟපෑවා. මම ඒකට සම්බන්ධ වුණේ නාට්‍ය පටන් අරගෙන ටික කාලයක් ගියාට පස්සෙයි. ඒකෙදී මම කුමාර තිරිමාදුර, රොඩ්නි වගේ විශාල පිරිසක් හඳුනාගත්තා. ඔය අතරේ මගේ සම වයසේ කතන්දරයක් එක්ක චින්තකත් මට ගොඩක් කිට්ටු වුණා. පසුකාලීනව චින්තක මගේ හොඳම යාළුවෙක් වුණා.

චින්තක කියන්නෙ මොනවගේ චරිතයක්ද..?
චින්තක බොහොම දක්ෂ මනුස්සයෙක්. ඒ වගේම වේල්ස් විදුහලේ ආභාෂයත් එක්කමද මන්දා කොයි තරාතිරමේ වුණත්, ඒ ඉන්න හැමෝම එක්කම හිතවත්ව ඉන්න පුළුවන් මනුස්සයෙක්. එහෙම හැමෝම එක්ක හිතවත් වෙලා ඉන්න මටත් බැහැ. හැබැයි චින්තකට ඕනෑම කෙනෙක් එක්ක හිතවත් වෙලා ඉන්න පුළුවන්. එයාට රචනා කිරීම අතින් හොඳ දක්ෂතාවයක් තියෙනවා. බොහොම සූක්ෂමව ලිවීමේ හැකියාවක් තියෙනවා. චින්තක මටත් කලින් ඉඳන්ම නාට්‍යවල රඟපාපු කෙනෙක්. රංගනයටත් වඩා එයා වැඩි අවස්ථාවක් ගන්නෙ එයාගෙ රචනා අංශයටයි.

එයාට කේන්ති යනවද..?
ඔව්.. චින්තකට කේන්ති යනවා. හැබැයි එයා ඒක ඉවසන්න දන්නවා.

දෙන්නත් එක්ක ඉන්නකොට වුණු අමතක නොවන සිදුවීමක් මතක් කරමුද..?
එකපාරක් මමයි චින්තකයි ඕමාන් ගියා. ලංකාවට එන දවසේ උදේ චින්තකයි මායි අපි හිටපු හෝටලෙන් පොඩ්ඩක් එළියට ගිහින් ආයෙත් හෝටලයට ආවා. අපි හිටියෙ පස්වැනි තට්ටුවෙ. ඔන්න ඉතින් ලිෆ්ට් එකෙන් අපි අපේ කාමරයට ගියා. මුලින් චින්තක එයාගේ කාමරයට ගිහින් දොර අරින්න හැදුවාම එක ලේඩි කෙනෙක් කාමරේ ඉඳන් ඇවිත් චින්තකට නොතේරෙන අරාබි භාෂාවෙන් ගොඩක් දේවල් කියලා ගියා. මාත් මගේ කාමරයට ගියා. ඒකෙ පිරිමි කෙනෙක් එළියට ඇවිත් අරාබි භාෂාවෙන්ම මොන මොනවදෝ කියනවා. ඒ මුහුණෙනුයි ඒ සද්දෙනුයි මට තේරුණා මේ මට බණිනවා තමයි කියලා. චින්තකත් මගේ ළඟට ආවා. මුන් අපි ලංකාවට යන්නත් කලින් හෝටල් කාමර වෙන උන්ට දීලනෙ.. කියලා චින්තක කියවනවා. මෙහෙම අපි දෙන්නා ලිෆ්ට් එක ළඟ කතා කර කර ඉඳිද්දී එකපාරටම ලිෆ්ට් එකේ බෙල් එක ඇහුණා. බලද්දී අපි ගිහින් තියෙන්නෙ හෝටලේ දෙවැනි තට්ටුවේ කාමර දෙකකටයි.

චින්තක වගේ යාළුවෙක් ජීවිතේට මුණගැහුණු එක ගැන මිහිර මොකද හිතන්නෙ..?
මට කලා ක්ෂේත්‍රයේ හදවතින්ම ආශ්‍රය කරන යාළුවො ගොඩක් නැහැ. අපේ දුකක් කියන්න, එයාගේ දුකක් අහන්න පුළුවන් යාළුවෝ ඉන්නෙ කිහිප දෙනයි. ඒ අතරින් ළඟින්ම ඉන්න කෙනෙක් තමයි චින්තක කියන්නෙ. මට එයාව මුණගැහීම ජීවිතේට ලොකු ශක්තියක්.

 

► Text - Dishani 

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00