2019 ජුනි 29 වන සෙනසුරාදා

බබීතා and Traget

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

පාරම්පරික වෙදකම කරන වෛද්‍යවරයෙක් ඉන්නවා. ඔහු ඇත්තටම ලිංගික රෝගවලට තමයි ප‍්‍රතිකාර කරන්නේ. මෙන්න මේ කියන උඩු රැවුල වැවූ පාරම්පරික වෙදකම් කරන වෛද්‍යවරයා තමන් ප‍්‍රතිකාර කරන කාමරයේ මේසයක් අසල පුටුවක වාඩිවෙලා ඉන්නවා. ඔහුගේ මේසය ඉස්සරහ තියෙන පුටුවල තරුණයෙක් යුවතියක් සහ මැදිවියේ කාන්තාවක් වාඩිවෙලා ඒ වෛද්‍යවරයාත් එක්ක කතාබහ කරමින් ඉන්නවා. 

වෛද්‍යවරයා - මාමා ඒ වගේ රෝගවලට කොච්චර ප‍්‍රතිකාර කරලා සනීප කළාද කියලා මේ මාමාවත් දන්නේ නැහැ. මම එම පාරම්පරික ප‍්‍රතිකාර කරන එක කරගෙන එනවා. ඒත් ඔයාට මාස 06ක් මේ ක්ලිනික් එක කරගෙන යන්න වෙනවා.
බබිතා - මම?
එහෙම අහන්නේ තරුණ කෙල්ලෙක්. එයාගේ නම බබිතා වුණාට පවුලේ අය බේබි සහ බෙඩී කියලත් කතා කරනවා.
මෙයා ?

එහෙම අහන්නේ බබිතගේ අයියා. ඔහු මෙන්න මෙහෙමත් කියනවා.
බබිතාගේ අයියා - අයිඩියා එක මගේ. ක්ලිනික් එක මෙයාද කරන්නේ?
වෛද්‍යවරයා - ක්ලිනික් එක කරන්නේ ඔයාගේ අයිඩියා එකට අනුව තමයි. පොඩි එකීව විවාහ කරලා දුන්නා. ලොකු එකීට විවාහ වෙන්න හොයනවා. කිසි කෙනෙක්ට ගාණක්වත් නෑ ගෙදර විවාහවෙන වයසේ චරිතවත් කොල්ලෙක් ඉන්නවා කියන එක.

අම්මා - නවත්තගන්නවා. 
එහෙම කියලා පුටුවක වාඩිවෙලා ඉන්න මැදිවියේ කාන්තාව ඒ තරුණයාට සෙරෙප්පුවකුත් විසි කරලා ගහනවා. 
බබිතා - ක්ලිනික්වල විකිණුවොතින් කෝටියක් හම්බවෙයි. 
අයියා - කෝටියක්?
බබිතා - මම මාමාගේ ක්ලිනික් එකට යනවා. 
අයියා - පිස්සු හැදිලද ඔයාට? ඒ ක්ලිනික් එක කෙල්ලන්ගේ ජාතියේ එකක් නෙවෙයි. 
ඇය ඒ ක්ලිනික්වලට ගියත් ඇයව චන්ඩිගර්වල තියෙන විවිධාකාරයේ වෛද්‍ය ප‍්‍රතිකාර කරන මධ්‍යස්ථානවලින් ප‍්‍රතික්ෂේප කරනවා. ඇය මාමාට අයත් පිරිමින්ගේ ලිංගික රෝගවලට ප‍්‍රතිකාර කරන ක්ලිනික් එකේ සේවය කරනවා. 
බබිතා - මට මාමාගෙ ප‍්‍රතිකාර කරන බෙහෙත් ඖෂධ ගෙයක් ගෙයක් ගාණේ ප‍්‍රචලිත කරන්න ඕන. ඒත් ප‍්‍රශ්නය වුණේ මිනිස්සු සෙක්ස් කියන වචනෙ ඇහෙන තැනකවත් ඉන්නේ නැති එකයි. ඒත් ඊට අදාළ රෝගවලට අත්බේතුයි ගුප්ත ක‍්‍රමයි මිනිස්සු කරනවා. අපි මිනිස්සු සෙක්ස් ගැන කතා කරන විදියේ මොනවා හරි දෙයක් කරන්න ඕන. 

පන්ජාබ්වල ජනප‍්‍රිය ගායකයෙක් ඒකට යොදාගන්න බබිතා උත්සාහ කරනවා. ඒ ගායකයා තමන්ගේ එක ප‍්‍රසංගයක් අවසන් කරලා නවීන මෝටර් රථයට යනකොට බබිතා ඔහු ගාවට එනවා. ඔහු මෝටර් රථයේ දොර ඇරගෙන බබිතා එක්ක කතා කරමින් ඉන්නවා. 

බාද්ශාහ - පන්ජාබ්වල ජනප‍්‍රිය දේවල් දෙකක් තියෙනවා. එකක් පටියාලා පෙග්. අනිත් එක ගබෘ ගටක්. මම යනවා.
බබිතා - පොඩ්ඩක් කතා කරලා යන්නකෝ. 

මේ ගීත පටිගත කරන මැදිරියක සිදුවීමක්. මෙතන අමුතුම විලාසිතාවකින් සැරසී ඉන්න බාද්ශාහ සහ බබිතා කතා කරමින් ඉන්නවා.
බබිතා - ඔයා කිව්වොතින් හැමෝම අහවි. 

බාද්ශාහ - මේකයි. මගෙයි පවුලේ ක්ලිනික් එකෙයි සම්බන්ධතාව ගැන මිනිස්සු දැනගත්තම ඔයාගේ එකෙන් වාසියක් ලැබුණත් නැතත් මට අනිවාර්යයෙන්ම පාඩුවක් නම් වේවි. 
ඇය තමන්ගේ අරමුණට යන එක අතහරින්නේ නැහැ. බබිතා තමන්ගේ අරමුණට යන්න හදන හැටි ඔබටම බලාගන්න තව ටික දවසක් බලාගෙන ඉන්න වෙනවා. හරියටම 2019 ජූලි 26 වැනිදා තමයි මේ පවුලේ ක්ලිනික් එක, එහෙමත් නැත්නම් ඛාන්දානී ශෆාඛානා කියන හින්දී සිනමාපටය තිරගත වෙන්නේ. ශිල්පී දාස් ගුප්තා අධ්‍යක්ෂණය කරලා තියෙන, අපූරු විකට සිදුවීම්වලින් පිරී තියෙන මේ හින්දී සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ භූෂන් කුමාර්, මහාවීර් ජෙයින්, මි‍්‍රග්දීප් සිං ලම්බා, දිව්‍යා ඛෝස්ලා කුමාර්, සහ ක‍්‍රිෂන් කුමාර්. ගෞතම් මෙහ‍්‍රා විසින් තමයි මේ සිනමාපටයේ කතාව ලියලා තියෙන්නේ. මේ හින්දී සිනමාපටයේ පසුබිම් සංගීතය කරලා තියෙන්නෙ අභිෂේක් නේල්වල්. මෙහි තියෙන මන බඳින ගීත සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ බාද්ශාහ, තනිෂ්ක් බාග්චී, පායල් දේව්, රෝචක් කොහ්ලි සහ විපුල් මෙහ්තා විසින්. 

දැන් ඔබට කියන්න හදන්නෙ මේ සිනමාපටයේ චරිතවලට පණ පොවන ඔවුන් ගැනයි. මුලින්ම බබිතා, එහෙම නැත්නම් බේබි, එහෙමත් නැත්නම් බෙඩීගේ චරිතයට පණ පොවන ඇය ගැනයි කියන්න හදන්නේ. ඇය ගැන කියන්න කලින් මෙන්න මේ සිනමාපටවලිනුත් ඔබ ඇයව දැකලා තියෙන බව මුලින්ම ඔබට කියලා ඉන්න හිතුවා. බලන්න මේ ඔබ දන්න කෙනෙක්ද කියලා.

Dabangg (2010), Rowdy Rathore (2012), Son of Sardaar (2012), Dabangg 2 (2012), Holiday: A Soldier Is Never Off Duty (2014), Lootera (2013), Bullett Raja, R... Rajkumar, Action Jackson, Force 2 (2018), Welcome to New York, Happy Phirr Bhag Jayegi, Kalank

1987 ජූනි 02 වැනිදා ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ පට්නාවලදී ඉපදුණු ඇය මේ වෙද්දීනම් ජීවත් වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායි නගරයේ. 2010 වසරේ පටන් ඇය හින්දී සිනමා ක්ෂේත‍්‍රයේ නිළියක් වගේම ගායිකාවක් විදියටත් කටයුතු කරනවා. නිළියක් විදියට කලඑළි බහින්න කලියෙන් ඇය කොස්ටියුම් ඩිසයිනර් කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවා. ඇයගේ පියා ඉන්දියාවේ දේශපාලනඥයෙක් විදියටත් කටයුතු කරනවා. ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු විවිධ සිනමා සම්මාන උළෙලවලින් සම්මාන කිහිපයක් පවා තමන්ගේ නමට වෙන්කර ගන්න සමත්කම් දැක්වූ මේ කියන කෙල්ල ටිකක් මහත දේහධාරී සිරැරකට හිමිකම් කියන කෙනෙක්. ඇය වෙනින් කවුරැවත් නෙවෙයි, ජනප‍්‍රිය නළුවෙක් වන ශත්ශෘගන් සිංහා සහ පූනම් සිංහාගේ දියණිය සෝනක්ෂි සිංහා. සෝනක්ෂි තමයි මේ සිනමාපටයේ බබිතාගේ චරිතයට පණ පොවන්නේ. 

බබිතා ගැන දන්න නිසා දැන් ඔබට කියන්න හදන්නේ බබිතාගේ සොහොයුරාගේ චරිතයට පණ පොවන කෙනා ගැනයි. මේ කියන හාදයා ඉපදිලා තියෙන්නේ 1990 පෙබරවාරි 04 වැනිදා ඉන්දියාවේ පන්ජාබ්වල ජලන්දර්වලදී. 2013 ඉඳන් මෙන්න මේ කියන හාදයා හින්දී සිනමාවේ නළුවෙක් විදියට තමන්ගේ වෘත්තීයේ නියැලෙනවා. එයාගේ නම වරැන් ශර්මා. නම කිව්වට මතක නැත්නම් මෙන්න මේ සිනමාපටවලින් ඔහු විවිධ චරිතවලට පණ දුන්නා කියන එක ඔබට මතක් කරන්න ඕන නිසා බලන්න මේ සිනමාපට ටික.

Fukrey (2013), Dilwale (2015), Fukrey Returns (2017), Rabba Main Kya Karoon, Yaaran Da Katchup (2014), Angrej (2015), Dolly Ki Doli,Kis Kisko Pyaar Karoon, Raabt (2017), FryDay (2018)
1956 පෙබරවාරි 20 වැනිදා ඉන්දියාවේ භෝපාල් ප‍්‍රාන්තයේ භෝපාල්වලදී ඉපදුණු ඒ පළාතෙම ජීවත්වෙන 1979 පටන් හින්දී සිනමාවේ නළුවෙක්, ගුවන්විදුලි නිවේදකයෙක් සහ ප‍්‍රවෘත්ති නිවේදකයෙක් විදියට කටයුතු කරන ඔහු තමයි මේ සිනමාපටයේ බබිතාගේ පවුලේ ප‍්‍රධානියා විදියට රංගනයෙන් දායක වෙන්නේ. විවිධ සිනමා සම්මානවලින් පිදුම් ලැබූ ඔහු මෙන්න මේ සිනමාපටවලින් ඔබගේ මතකයේ රැඳෙන චරිත කිහිපයකට පණ දීලා තියෙන නිසා ඔහුගේ සිනමාපටවලින් කිහිපයක් පමණක් මෙසේ සඳහන් කරනවා.

Mr. India (1987 film), Vicky Donor (2012), Jolly LLB 2 (2017)
අරුනිතා මුඛර්ජී එක්ක විවාහවෙලා ඇයගෙන් දික්කසාද වෙලා පසුව අනූපමා කපූර් එක්ක විවාහ වුණු මේ වනවිට දරැවන් හතර දෙනෙක්ගේ පියෙක් වන අන්නූ කපූර් ගැන තමයි ඔබට කිව්වේ. ඔහුත් මේ සිනමාපටයේ විශාල භූමිකාවක් කරන කෙනෙක්. ඔබ තව කෙනෙක් ගැන දැනගන්නම  ඕන. ඒ තමයි මේ සිනමාපටයේ ඉන්න ගායකයා. ඔහු සත්‍ය ජීවිතයේදීත් රැප් ගායකයෙක්. 1985 නොවැම්බර් 19 වැනිදා ඉපදිලා තියෙන ඔහු 2004 වසරේ පටන් හින්දී සිනමාවට දායකත්වය දෙන කෙනෙක්. ඔහු නමින් බාද්ශාහ. ඔහුත් මේ සිනමාපටයේ ඔහුගේ නමින්ම චරිතයකට පණ පොවනවා. මේ සිනමාපටයේ තියෙන මන බඳින ගීතයන්හි ගී පද රචනා කරලා තියෙන්නේ බාද්ශාහ, තනිෂ්ක් බාග්චී, කුමාර් සහ මෙලෝව් ඩී විසින් බව මතක් කරමින් අදට ඔබගෙන් සමුගන්නම්.

 

► Translation — Chandana Waravitage