අද අපි තාක්ෂණේ අතින් ඉහළම තැනක ඉන්නවා තමයි. ඒත් ඒ එක්කම අපේ සමහර සහජ දක්ෂතා වගේම ගුණාංග රැසක් යටපත් වෙලා තියෙනවා. විශේෂයෙන් නිර්මාණශීලී පුද්ගලයින්ට මේකෙන් ලොකු බලපෑමක් ඇතිවෙලා තියෙනවා.
දැන් අපි සින්දු කියන ගායක ගායිකාවෝ දිහා බලමුකො. ඒ කාලෙ සිංදුවක් නිර්මාණය කරන්න, පටිගත කරන කොයිතරම් නම් කාලයක් ශ්‍රමයක් වැය කරනවද? දැන් එහෙම නෑ. යුග ගීතයක් පටිගත කරනව නම් ගායිකාව, ගායකයා දකින්නෙවත් නැහැ. සංගීත ශිල්පීන් දකින්නෙ නැහැ. ඒ අය කැමැති කැමැති වෙලාවට ස්ටූඩියෝ එකට ඇවිත් ඒ ගොල්ලන්ගෙ කොටස් රෙකෝඩ් කරලා යනවා.
ඔන්න ඔය වගේ ගායන ශිල්පියෙක් කොළඹ ප්‍රසිද්ධ පාසැලක් අසල කෙනෙකුට මුණ ගැසුණලු. ශිල්පියා ඇවිත් ඉන්නෙ එයාගෙ පොඩි පුතාව ඉස්කෝලෙට බස්සන්න. ළමයව බස්සලා අර යාළුවත් එක්ක ශිල්පියා කතාවට සෙට් වුණාලු.
අද මට මාර බිසි දවසක්. මේ දවස්වල මම කරන අලුත්ම සින්දුවෙ පේලි දෙකක් දැන් ගිහින් රෙකෝඩ් කරන්න ඕනෙ. ඊට පස්සෙ නෝනට මාකටිං ටිකක් කරලා, ආපහු ස්ටූඩියෝ එකට ගිහින් ඉතිරි පේලි ටිකත් කරල දාන්න ඕනෙ. හෙට මික්ස් කරනවලු.
වර්තමානයේ විවාහ සංස්ථාවට ලැබී තිබෙන වැදගත්කම ගැන හිතනකොට ඇතිවන්නේ විශාල දුකක්. අතීතයේ මෙන් නොව අද විවාහ වෙලා කෙටි කාලයකින් වෙන් වෙන ජෝඩු කොයිතරම් ඉන්නවද? කලා ලෝකයෙත් ඒක පොදු ලක්ෂණයක් වෙලා.
ඔන්න පහුගිය මාස කීපයකට පෙර විවාහ දිවියට ඇතුළත් වූ ශිල්පියෙක්, එදා මංගල උත්සවය ආවරණය කළ ඡායාරූප ශිල්පියාට කෝල් එකක් දුන්නලු.
මචං අපේ වෙඩිං ඇල්බම් එක ඉක්මණින් ඕනෙ. කවදද ගේන්නෙ?
මේ දවස්වල මට බුකිං ටිකක් වැඩියි. ලබන මාසෙ මැද හරියෙ විතර ෂුවර් එකටම ගේන්නම්. ජෝඩුව ලස්සනටම ඉන්නවා එළකිරි වගේ.ඡායාරූප ශිල්පියා කිව්වලු.
ඒ කිරිවලින් වැඩක් නැහැ හරිද? ඔයා හැකි ඉක්මණින් ඇල්බම් එක ගේන්න. දැන් එන්න එන්න අපි දෙන්න අතර පොඩි පොඩි අවුල් තියෙනවා. හදිසියේ අපි දරුණු තීරණයක් ගත්තොත් ඊට පස්සෙ උඹේ ඇල්බම් එකෙන් අපට පලක් නැතිවෙයි.
අපේ සින්දු ලියන යාළුවෙකුට එයාගෙ හොඳම යාළුවෙක් කොන්ත්‍රාත්තුවක් බාර දුන්නලු එයාගෙ වෙඩිං එකේ තේමා ගීතය ලියන්න.
අපේ සින්දු ලියන යාළුවා ඉතින් ඇඟට එන හැම ඇණයක්ම බදාගෙන බාරගන්නවා. ඒත් පස්සෙ බිසි වෙලා වැඩේ අමතක වෙනවා.
කොහොම හරි යාළුවා අර සින්දුව ලියලා ඉවර කරලා තියෙන්නෙ මාස කීපයක් ගියාට පස්සේ. ලියපු සින්දුව දැන් යාළුවට දෙන්න කෝල් එකක් දුන්නලු.
මොනවද බං, අපි දැන් බැඳලා මාස දෙකක් වෙනවා හෙටට. උඹට සිංදුව ලියන්න අමතක වුණා. මට උඹට වෙඩින් එකට ආරාධනා කරන්නත් අමතක වුණා... යාලුවා කියාගෙන ගියාලු.
දැන් ඉතිං මොනව කරන්නද? උඹට මම සින්දුව වට්ස්අප් කරන්නම්. නම විතරක් වෙනස් කරලා උඹේ දෙවෙනි වැඩේට පාවිච්චි කරපං සින්දු ලියන යාළුවා කිව්වලු.
► Text - Mithra