2019 ජුනි 29 වන සෙනසුරාදා

අද තමයි මගේ සුන්දරම දවස

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 82

සූර්යා... මේ දවස්වල මොනවද කරන්නෙ..?
මේ දවස්වල සිංහ ආයතනය නිෂ්පාදනය කරන සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කරන තෝඩු කියන ටෙලිනාට්‍යයේ රඟපානවා. ඒ ටෙලිනාට්‍ය මේ දිනවල විකාශය වෙනවා. ඒ වගේම තිලංක බණ්ඩාර අධ්‍යක්ෂණය කරන ක්ලික් කියන ටෙලිනාට්‍යයත් දැන් විකාශය වෙනවා. තවත් ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබිලයි තියෙන්නෙ. ඒකට සූදානම් වෙන්නත් ඕනෙ. ඊට අමතරව දර්ශන රුවන් දිසානායක සර්ගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය වන ගොවි තාත්තා චිත්‍රපටයටත් රංගනයෙන් දායක වුණා.

මගේමයි ගීතයට පසුව සූර්යාගෙන් අලුත් ගීතයක් අහන්න ලැබුණෙ නැහැ..?
ඔව්.. මගේමයි කියන ගීතය කරලා අවුරුදු දෙකක් පමණ ගත වුණා. බොහෝ අය තවත් ගීතයක් කරන්නෙ නැද්ද කියලත් මගෙන් අහපු වෙලාවල් තිබුණා. ඒ නිසා මම අලුත් ගීත දෙකක් කළා. ඒ ගීත දෙකේ මියුසික් වීඩියෝවලට මේ දවස්වල සූදානම් වෙනවා. ඒ මියුසික් වීඩියෝවල පිටපත් මේ දවස්වල සකසමින් පවතිනවා. ඒ ගීත දෙකෙන් එක ගීතයක් මම නම්කළේ අනුරාගිනී නමින්. ඒ ගීතය සංගීතවත් කළේ තුසිත්. පදරචනා කළේ කසුන්. ඉඟිකාරී කියන ගීතයේ පදරචනය සහ සංගීත අධ්‍යක්ෂණය කළේ ජගත් රත්නායක. වෙනස්ම විදිහේ මියුසික් වීඩියෝ දෙකකුත් එක්ක ළඟදීම ඒ ගීත දෙක අහන්න දකින්න පුළුවන් වේවි.

සූර්යාගේ අධ්‍යාපන කටයුතු, කලා කටයුතු නිසා අතරමඟ නතර කරලා වගෙයි..?
ඔව්.. පසුගිය කාලෙදී ඒ දේවල් ටිකක් අතපසු වුණා. රංගන ක්ෂේත්‍රයේ නියැලුණු නිසා මට ඉගෙනගෙන ආපු දේවල් ටිකක් මඟහැරුණා. පුංචි කාලේ ඉඳන්ම මම සංගීතය තමයි කළේ. මේ වනවිට මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඔපෙරා අංශයේ ප්‍රාසාංගික කලාවෙන් විශේෂ උපාධියක් ඇතුළු උපාධි දෙකක් සම්පූර්ණයෙන් අවසන් කළා. ඉතින්.. රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වීමත් සමඟ ඒ අධ්‍යාපන කටයුතු ටිකක් පහුවුණා. ඉතා ළඟදීම අයෙමත් මගේ අධ්‍යාපනයට මුල් තැනක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ සංගීතයට නැඹුරු වුණේ ළමා කාලෙදිමද..?
ඔව්.. මම පුංචි කාලේ ඉඳන්ම ආසාවෙන් හිටියෙ ගායකයෙක් වෙන්නයි. මගේ ජීවිතේ අවුරුදු විසි දෙකක්ම මම කළේ මියුසික්. මගේ තාත්තටත් හොඳට සින්දු කියන්න පුළුවන්. වාද්‍ය භාණ්ඩ වාදනය කරන්න පුළුවන්. මගේ අක්කලාත් එහෙමයි. පස්සෙ මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඔය අතරේ නොහිතපු මොහොතක ජයන්ත චන්ද්‍රසිරි සර් නිසා මට රංගනයට පය තබන්න වාසනවා ලැබුණා. ඒ වාසනාවට පයින් ගහන්නෙ නැතිව රංගනයට තියෙන ආසාව ගෞරවය නිසා බොහෝ නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා. අද වනවිට මම චිත්‍රපට දහයකට විතර සම්බන්ධවෙලා තියෙනවා. ඉදිරියේදී ඒ නිර්මාණ දකින්න පුළුවන් වේවි. මට ටෙලිනාට්‍ය බොහොමයකටත් දායක වෙන්න පුළුවන් වුණා. නිවේදකයෙක් විදිහට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. මේ අතර රූපවාහිනී නාලිකාවකින් පැවැත්වූ නර්තන තරගයකට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණා. ඒ හැමදෙයක් හරහාම මගේ දක්ෂතාවයන් මොනවාද කියලා හොයාගන්න පුළුවන් වුණා. නිර්මාණවලට ආරාධනා ලැබෙද්දී ඒවා බාරගෙන පුළුවන් උපරිම කැපවීමෙන් ඒවාට දායකත්වය ලබාදෙන්න මට හැකි වුණා. ඒ හරහා මගේ දක්ෂතා මමම හඳුනාගත්තා. මම රඟපානකම්, නර්තනයට සම්බන්ධ වෙනකම්, නිවේදනය කරනකම් ඒ දක්ෂතාවන් පිළිබඳව දැනගෙන හිටියෙ නැහැ. ඉතින්.. ඒ දේවල් හරහා මට බොහෝ අවස්ථා ලැබුණා. 

ජීවිතේ සුන්දරම කාලය මොකක්ද..?
මට හිතෙන්නෙ අද තමයි ජීවිතේ සුන්දරම කාලය කියලා. මට ගෙදර අයත් එක්ක ඉන්න තියෙන කාලය තමයි මම ගොඩක් කැමතිම කාලය වුණේ. මගේ ගම පොළොන්නරුව. මම දැන් කොළඹයි ඉන්නෙ. හැබැයි තාමත් මම ඒ ගමේ ගතකරපු සුන්දර කාලය විඳිනවා. අම්මා තාත්තා හැමදාමත් කතා කරනවා. එනවා. යනවා. මට ආයෙත් ආපස්සට යන්න බැහැ. ඒ නිසා මම හැමවෙලේම අද තමයි සුන්දරම දවස කියලා තමයි හිතෙන්නෙ.

පොළොන්නරුවෙන් කොළඹට ආපු ඔබ අද බොහෝ ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. මේ ගමන එන්න ලොකු දුකක් විඳින්න ඇති...?
ජීවිතේ දුක් වින්ඳා. මේක දුක්ෂරතා විඳගෙන ආපු ගමනක්. පොළොන්නරැවේ දුෂ්කර ගමක තමයි මම ඉපදුණේ. ඒ කාලේ ගොඩක් අමාරැවෙන් තමයි ගමේ මිනිස්සු ජීවත් වුණේ. හැබැයි මට හොඳ වටපිටාවක් තිබුණා. මගේ අක්කලාත් විශ්වවිද්‍යාලයට තේරුණා. මගේ තාත්තා අම්මා අදටත් පොත් කියවනවා. එහෙම වටපිටාවක තමයි මම ජීවත් වුණේ. මගේ පවුලේ අයියයි අක්කලා හතර දෙනෙකුයි ඉන්නවා. මම පවුලේ බාලයා. ඒ හැමෝගෙම ආදරය එක්කයි මම ජීවත් වෙන්නෙ. මම තාම මගේ ගමන යන්න පය තිබ්බා විතරයි. මට තව ගොඩක් දුර යන්න තියෙනවා. සමහරවිට ඉදිරියටත් දුෂ්කරතා ඒවි. මේ ආපු දුර ගමනේදී ඒවා දුෂ්කරතාම නෙමේ. ජීවිතේ ආපු දුෂ්කරතා නිසා ජීවිතයට අලුත් අත්දැකීම් එකතු වුණා.

මේ වනවිට සූර්යා ආදරවන්තයෙක්ද..?
මේ වනවිට ආදරවන්තයෙක් නෙමේ. විශ්වවිද්‍යාලය ඇතුළත මම ආදරවන්තයෙක් වෙලා හිටියා. ළං වුණා. ඈත් වුණා. දැන් ඒ නොලැබුණු දේවල් ගැන හිතන්නෙ නැහැ. ජීවිතේ හැමදාටම ළඟින් ඉන්න කෙනා මුණගැහෙන දවසක් ඒවි. 

 

► Text - Dishani  /   Pic -  Sumudu 
 

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00