2019 ජුනි 29 වන සෙනසුරාදා

සඳ වැසුනට ඉර ගිලුණට කමක් නෑ මල් වැටුණට තරු නිවුණට කමක් නෑ

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 163

නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා....
පවුරු බැඳගෙන සිතක වැජඹුණ රසවතී නෑ කොයි ගියා....
ආදරෙයි මම ආදරෙයි.... දම්මි තවමත් ආදරෙයි....

දම්මි හා සුගත්ගේ සොඳුරු ආදර කතාවට ගීතය හරහා තවත් අර්ථකථනයක් ලබාදුන් සිසිර සේනාරත්න හා ඉන්ද්‍රාණි විජේබණ්ඩාර යුවළ විසින් සිංහල සංගීතයට ලබාදුන් දායකත්වය සුවිශේෂී එකකි.
දශක 6කට ආසන්න කාලයක් සිසිර හා ඉන්ද්‍රාණි යුවළ ලබාදුන් ඒ අපූරු හඬ දායකත්වය අද වියැකී ගොසිනි.

මීට වසර 4කට පෙර දිවියෙන් සමුගත් සිසිර, ඇගේ සංගීත දිවියේදී වගේම ජීවන ගමනේද සහකාරිය වූ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර වසර 50කට අධික කාලයක් සාර්ථක විවාහ දිවියකට උරුමකම් කීහ.
සිසිර 2015 දී දිවියෙන් සමුගත්තේ ඔහුගේ රසික ප්‍රජාවටය කඳුළු හිමිකර දෙමිනි. පසුගියදා දිවියෙන් සමුගත් ඉන්ද්‍රාණි විජේබණ්ඩාර, නොහොත් අපේ ආදරණීය ඉන්ද්‍රාණි අක්කා, ගායන දිවිය ඇරඹුවේ සුනිල් ශාන්තයන්ගේ සෙවනැල්ලේය.
ලෝ පුරා රුව් නගා ගීතය ගායනා කරමින් හා හා පුරා ඉන්ද්‍රාණි සංගීත ලෝකයට පා තැබුවේ ගුවන් විදුලියේ ළමා පිටිය හරහාය.

සිසිර හා ඉන්ද්‍රාණිගේ ආදර කතාව ආරම්භ වූයේ අහස් තලයේ සිසාරා ගිය ගුවන් යානයක් තුළය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටයේ ගීත පටිගත කිරීම සඳහා සිසිර, ඉන්ද්‍රාණි ඇතුළු කණ්ඩායම ගුවන් මගින් පිටත් වූයේ ඉන්දියාව බලාය. සිසිර හා ඉන්ද්‍රාණිගේ දෙනෙත් මුල්වරට මුණගැසී, එය පසුව ආදරයක් බවට පරිවර්තනය විය.

සිසිර හා ඉන්ද්‍රාණි රේඛාවට අපූරු ගීත පෙළක් දායාද කළහ. ඕලු නෙලුම්, වෙසක් කැකුළු වැනි ගීත අදටත් ශ්‍රාවකයින් අතර ජනප්‍රිය බව කවුරුත් දනිති. ඉන්ද්‍රාණි කලකට පෙර පවසා තිබූ පරිදි ඔවුන්ගේ හමුවීම සංසාර බැඳීමක ප්‍රතිඵලයකි.
ඇගේ කලා දිවියට වසර 50ක් පිරීම සනිටුහන් කිරීම සඳහා ඉන්ද්‍රාණි ඇගේ ජීවන අත්දැකීම් පොතකට ගොනු කළාය. රන් පියවර නම් වූ ඒ ග්‍රන්ථය උණු කැවුම් මෙන් අලෙවි විය.
සිසිර හා ඉන්ද්‍රාණි පෙම්වතුන්ව සිටි කාලයේ, සිසිර ඉන්ද්‍රාණිට ගීතයක් ලිව්වේය.

සඳ වැසුනට ඉර ගිලුණට කමක් නෑ
 මල් වැටුණට තරු නිවුණට කමක් නෑ
ඔබ ආයෙ දකිනතුරු මට ඉවසුමක් නෑ
සුදූ නොමැති ලොවක තනියෙන් හිඳ පලක් නෑ....

මියුසියස් විදුහලේ ආදි සිසුවියක වූ ඉන්ද්‍රාණි, සිසිරත් සමඟ ගැයූ මුල්ම ගීතය ගයා ගීතයන් ගමේ වෙල් එළියේය.

ගයා ගීතයන් ගමේ වෙල් එළියේ
දුව පැන ඇවිදලා සෙල්ලම් කළේ....
ඔබ සමගින් එදා ඒ මා තමා....
පුදුමයි යළි මේ හමුවීම අපේ....

ඉන්ද්‍රාණි විජේබණ්ඩාර රේඛාව වෙනුවෙන් ගායනා කළ වෙසක් කැකුළු ගීතය 1957 දී හොඳම චිත්‍රපට ගීතය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. ඉන්ද්‍රාණිට රේඛාවට සම්බන්ධ වෙන්න මුල් වුණේ එවකට ප්‍රවීණ සංගීතවේදියෙකු වූ බී.එස්. පෙරේරාය. ඔහු සුනිල් සාන්තයන්ට ඉන්ද්‍රාණිගේ අපූරු හැකියාවන් පිළිබඳ පවසා තිබිණ.

මගේ මුල්ම ගීතය ගායනා කරලා තිබුණෙත් සුනිල් සාන්තයන් සමඟ. ඒ නිසා රේඛාවට මාව සම්බන්ධ කරගන්න ඔහු පැකිලුණේ නැහැ. ඊට කලිනුත් මට චිත්‍රපට ගීතවලට ආරාධනා ලැබී තිබුණා. අපි දෙන්නා එකතුව චිත්‍රපට 100කට අධික සංඛ්‍යාවක ගීත ගායනා කරලා තියෙනවා. සිසිර චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් කැපී පෙනෙන දායකාත්වයක් ලබාදුන්නා... ඉන්ද්‍රාණි වසර කීපයකට පෙර මාධ්‍යයට පවසා තිබුණාය. ඉන්ද්‍රාණි අවසන් වරට චිත්‍රපටයක් සඳහා ගීතයක් ගායනා කළේ සිසිර සංගීත අධ්‍යක්ෂණය කළ පුනරුත්පත්තිය චිත්‍රපටය වෙනුවෙනි.

1955 නොවැම්බර් මස 25දා තිරගත වූ සිරිසේන විමලවීරගේ පොඩි පුතා චිත්‍රපටය තුළින් ගායන ලොවට සිසිර ප්‍රවිෂ්ට වූවාය. සංගීතය කෙරෙහි දැඩි ඇල්මකින් පසුවූ සිසිර, රජයේ සංගීත පාසැලට ඇතුළු වී වසර දෙකක කාලයක් සංගීතය හැදෑරුවේය. ඔහුට දස්කොන් වේදිකා නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය සඳහා ඇරයුමක් ලැබිණ. එම නාට්‍ය සඳහා සිසිර මුලින්ම නිර්මාණය කළ ගීතය ගායනා කළේ ඔහු හා ධර්මදාස වල්පොලය. ඒ කාලය තුළම සිසිර, ලතා හා ධර්මදාසට තවත් ගීතයක් නිර්මාණය කළේ ගුවන් විදුලි වැඩසටහනකටය. සිසිර පොඩි පුතා චිත්‍රපටය සඳහා ගායනා කළේ මේ ලෝකෙ නවාතැන ගීතයයි.

1965 දී හඳපාන චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සඳහා සිසිර සම්මානයෙන් පිදුම් ලැබීම ඔහුගේ සංගීත දිවියේ සුවිශේෂී කඩඉමකි. සිසිර ‍ම‍ෙන්ම ඉන්ද්‍රාණි කිසි දිනෙක සංගීත ලොවේ කිසිදු කල්ලියකට අයත් වූයේද, ගැති වූයේද නැත. එම ස්ථාවරය ඔවුන් හට ඇතැම් විට අවාසියක් වන්නට ඇත. ඒත් ඔවුන්ගේ ගෞරවපූර්ව භාවයට එම සාධකය දැඩි ලෙස බලපෑවේය. සිසිර වෘත්තියෙන් රේගු නිලධාරියෙකු විය. ඉන්ද්‍රාණි තම ළමුන් තිදෙනා සුභානි, සංජය හා සමීර ගේ අනාගතය වෙනුවෙන් තම ජීවිතය හා කාලය කැප කළාය.

සිසිර හා ඉන්ද්‍රාණි යුවළ කලා මාධ්‍යවේදීන් සමග ඉතාම කුළුපගව හා ළෙන්ගතුව ගනුදෙනු කළ සුවිශේෂී කලා ශිල්පීන් දෙදෙනෙකි. ඔවුන්ගේ ගීත මෙන්ම මතකයන්ද අප අතර සදාකාලීනව රැඳී තිබෙනු ඇත.
එදා සිසිර තම ආදරවන්තිය ඉන්ද්‍රාණිට අපූරු ගීතයක් ලියා තනුවද නිර්මාණය කළේය.

ඔබ නැති මේ බිම පාළුයි අඳුරුයි
මගෙ හද ඇයි ගෙන ගියෙ හංගා
අසරණ මේ මගෙ ආලය ඔබටයි
ගලන තුරා මහවැලි ගංගා....
මගෙ හද අඹරේ හඳපානයි ඔබ
අඳුරු මගේ දිවි එළිය කෙරූ
කඳුළු ගඟේ මම පාවී එන්නම්
යළි ඔබ මට මුණගැසෙන තුරු

 

► Text – Ramesh Uvais / Pic –Dayan witharana & Pic – Internet