ජනශ්‍රැතිය ඔහුගේ ජීවිතය හා බැඳුණු ප්‍රියතම වදනකැයි සිතෙන තරම්. ඔහු ආදරේ කළේ උරුමයට, සංස්කෘතියට, අතීතයට මාවත් එළි පෙහෙළි කර ගනිමින් ඔහු සොයා ගියේ අපට අයත් අප නොදන්න සම්ප්‍රදායික දැනුම.... ඒ දුෂ්කර එහෙත් වෙහෙසකර නොවූ සොඳුරු වෑයම තුළ ඔහු පරම්පරා ගණනක අනාගත දූ පුතුන් වෙනුවෙන් එක්රැස්කළ දෑ බොහෝමයි.
මහින්ද.... මහා මහින්ද වෙන්නේ අන්න ඒ වටිනාකමත් එක්ක. ඒ තමා මට හිතෙන විදිහ.
මහින්ද කුමාර දළුපොත...
කියමුද එහෙනම් ඔබේ ජීවිතය ගැන...
ජීවිතය පැත්තෙන් ගත්තොත් ජීවිතේ සුපුරුදු පරිදි දුක සතුට මැද ගලාගෙන යනවා.... මේ දවස්වල මම වැව් එල්ලංගා පිළිබඳ
පර්යේෂණ ග්‍රන්ථයක් ලියාගෙන යනවා... මොකද වැව් එල්ලංගා පිළිබඳ ජනශ්‍රැති විද්‍යාත්මකව සහ සංස්කෘතික සාධක වගේම සම්ප්‍රදායික දැනුම කොච්චර වටිනවද කියන එක ගැන විධිමත් විදියේ පර්යේෂණයක් වෙලා නෑ. මගේ ශක්ති පමණින් ඒ කාර්යය කරන්න මම කැපවෙලා ඉන්නවා..
ඔහු ජීවිතයම සාරංශගත කරලා.. කෙටියෙන් දුන්නා... උත්තරයක්.
මහින්ද කුමාර දළුපොතගේ කලා නිර්මාණ ගැන අපි දන්නවා... ඒවා ගැන නෙමේ.. මගේ නොවන මගේම නිර්මාණයක් කියලා හිරකරලා පරිස්සමින් තියාගන්න තරම් හිතුණ, ඔබේ ජීවිතයට බලපෑමක් කරපු නිර්මාණයක් ගැන කතාකරමුද... මගේ වචනයෙන් කියනව නම් බොක්කට වැදුණ නිර්මාණයක්!
මතක මුහුදේ ගිලුණු ඔහුගේ ඇස්... මොහොතට හැරුණා මගෙ පැත්තට..
එවැනි නිර්මාණ නම් කීපයක්ම තියෙනවා... තදබල විදියට මගේ හිත පැහැරගත්ත නිර්මාණ අතර ඉහළින්ම තිබෙන කෘතියක් තමයි ජර්මන් ජාතික පඬිවරයෙක් වන හර්මන් හෙසර් රචනා කරපු සිද්ධාර්ථ නවකතාව... පසුකාලීනව මේ නවකතාව භාෂා කිහිපයකටම පරිවර්තනය වුණා. සිද්ධාර්ථ කියන නමින්ම දයාරත්න ගරැසිංහ තමයි මුලින්ම මේ කෘතිය සිංහලට පවරිවර්තනය කරන්නෙ. මෑත අවධියේදී නැවතත් මේ කෘතිය සිංහලට පරිවර්තනය කරනවා ඩබ්ලිව්.ඒ. අබේසිංහ මහත්තයා... සිද්ධාර්ථ කෘතිය ලෝක සාහිත්‍යයේ විශේෂ ඇගයීමකට ලක්වෙච්ච කෘතියක්. මේ කෘතිය පසුබිම් කරගෙන විවිධ සිනමා කෘති සහ ටෙලිනාට්‍ය මාලා කිහිපයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතා වැදගත්ම දේ තමයි.. සිද්ධාර්ථ අපිට ගොඩක් සමීප චරිතයක්... හෙසගේ ස්වාධීන නවකතාවක් වුණාට මේ කෘතියට තේමාව කරගන්නෙ, සිද්ධර්ථ ගෞතම චරිතය. ඒ සිද්ධාර්ථ චරිතය බෞද්ධ දර්ශනය ඔස්සේ වෙනත් මානයක දවටමින් තමයි පාඨකයාට ඉදිරිපත් කරන්නෙ... අන්න ඒකයි මෙතන තිබෙන අපූර්වත්වය... අපි හඳුනන සිද්ධාර්ථ ගෞතමයාණෝ බෞද්ධ දර්ශනයේ කොටසක් වුණාට බුද්ධත්වය ලැබුවාට පසු ඉදිරිපත් කරන දාර්ශනික පසුතලය අපි මේ දකින සිද්ධාර්ථ කුමාරෝත්පත්තියේ ඉඳලා ගිහිගෙයි නික්ම යන දවසක දක්වාම අපිට මුණගැහෙන්නෙ නෑ... අපිට මුණගැහෙන්නෙ සාමාන්‍ය රජකුමරෙක් ගතකරන ජීවිත සම්ප්‍රදාය පමණයි. හර්මන් හෙසර්ගේ තිබෙන විශේෂත්වය තමයි සිද්ධාර්ථ කියන හැඩිදැඩි, ආකර්ෂණීය තරුණ මානවකයාව මූලික වශයෙන් පදනම් කරගෙන බෞද්ධ දාර්ශනික චින්තනයත් එකක් තිබෙන විසංවාදයක් ගොඩනගනවා... ඒක තමයි ප්‍රධාන වශයෙන්ම මේ කෘතියේ තිබෙන අපූර්වත්වය.
මහින්ද කුමාර දළුපොත කියන්නෙ පොතපත බහුල වශයෙන් පරිශීලනය කරන කෙනෙක්... සිද්ධාර්ථ කෘතියට මෙච්චරම ඇලුම් කරන්නෙ ඔබගේ ජීවිතයට කෙහෙන් හරි මේ කෘතිය සමීප නිසා කියලා මට හිතෙනවා....
ඇත්තටම ඔව්.... පෞද්ගලිකව මට පමණක් නොවේ.. සිද්ධාර්ථ කෘතිය තැන්පත් මනසකින් කියවන ලාංකික ඕනෑම තරාතිරමක පාඨකයෙක්ට මේ කෘතියේ ගැඹුර වටහා ගන්න පුළුවන් සාහිත්‍යමය වටිනාකම හදවතට සමීපකර ගන්න පුළුවන් හේතුව තමයි මේ බෙදාගන්නෙ අපේ ජීවිතය. අපි සොයාගෙන යන පර්මාදර්ශ අතර එහෙමත් නැත්නම් අරමුණ.. ඒ අරමුණවල උත්කෘෂ්ඨ ඵලයන් තියෙනවා.. ඒ ඵලයන් තුළ ගැබ්වෙලා තියෙන්නෙ නිවිච්ච සංසිඳුනු ජීවන පිළිවෙතයි... මගේ වැඩකටයුතුත් එකක් සැරිසරනකොට මට කීයක් නම් ප්‍රශ්නවලට මුහුණදෙන්න සිදුවෙනවාද..? මොකද මම නිරන්තයෙන් සමාජයත් එකක් ඍජුවම සම්බන්ධ වෙන කෙනෙක්... ඒ ගැටලු යම් යම් විදියට උග්‍ර වුණාම අපි සෑහෙන පීඩනයකට හසුවෙනවා... ඒ පීඩනය නිසා මානසිකව අපි ඇද වැටෙනවා... අන්න ඒ වෙලාවට මානසික අසමතුලිත තාවයෙන් මිදෙන්න මට ලැබුණු ඔසුවක් තමයි මේ සිද්ධාර්ථ කියන විශිෂ්ඨ කෘතිය ඔස්සේ මුණගැහෙන සිද්ධාර්ථ කියන මේ අපූරු චරිතය.
මේ සිද්ධාර්ථ කියන චරිතය නිරන්තරයෙන් ජීවිතයත් එකක් ගැටෙනවා... ජීවිතයෙන් පලාගිහින් බොහෝම නිස්කලංක තැනකට වෙලා බණ භාවනා කරන චරිතයක් නෙමේ... නිරන්තරයෙන් ගැටෙන ජීවිතය ඔස්සේ සමාජ සංස්ථාවන් සතු විවිධාකාර වූ පරස්පරතාවයන් සංවාදයේ යෙදෙනවා... ඔහු ඒක කරන්නෙ ඔහුගේම මනසත් එක්ක. මගේ ජීවිතේට යම්කිසි කම්පනයක් ඇතිවෙච්ච ඕනම වෙලාවක සිද්ධාර්ථ පොත අරන් පෙරළුණු තැනක ඉඳලා මම ඉස්සරහට කියවනවා... මගේ භාව ලෝකයයි... සිද්ධාර්ථගේ භාව ලෝකයත් එක්ක ගනුදෙනුවක් ඇතිකර ගන්නවා... එතකොට මට ඇතිවෙච්ච මානසික පීඩනය ඉබේ නැතිවෙලා යනවා...
සිද්ධාර්ථ කෘතිය පරිශීලනය කරද්දි මහින්දට සමීපවෙච්චම චරිතය සිද්ධර්ථ වෙන්නෙ ඇති නේද?
ඇත්ත වශයෙන්ම ඔව්... සිද්ධාර්ථ තමයි... මේ කෘතිය කියවපු ඕනම කෙනෙක්ගෙන් මේ ප්‍රශ්නය ඇහුවොත් මේ සෑම කෙනෙකුගේම උත්තරය සිද්ධාර්ථම වේවි.
මහින්ද මේ කෘතිය පුරා ඔබ සැරිසරනකොට අතිශය සංවේදී කරපු තැන් එහෙම මුණගැහෙන්න ඇති නේද...? එකක් දෙකක් මතක් කරමුද?
තැන් වශයෙන් ගත්තොත් තැන් කිහිපයක් මතුකරන්න වෙනවා... සමස්තයක් විදියට සම්පූර්ණ කෘතියම ඒ වගේ තමයි... කෙටියෙන් මම ඒ ගැන විස්තර කරන්නම්... ප්‍රධාන වශයෙන්ම මේ පොතේ කොටස් දෙකක් තියෙනවා... සිද්ධාර්ථ ඉපදෙන්නෙ සම්ප්‍රදායික බ්‍රාහ්මණ කුලයේ පුත්‍රයෙක් විදියට... ඒ පවුලේ සම්ප්‍රදායික වත්පිළිවෙත්, ඇදහිලිවලට ඔහු විරුද්ධ වෙනවා... අවසානයේ ඔහු සහ ඔහුගේ පියා අතර ගැටුමක් නිර්මාණය වෙනවා.. ගැටුමේ ප්‍රතිඵලයක් විදියට සිද්ධාර්ථ ජීවිතය හොයාගෙන යන්න තීරණය කරනවා. ඔහු ශ්‍රමනයෙක් මුණගැහෙන්න යනවා.. ඔහුට එතැනින්වත් විමුක්තිය මුණගැහෙන්නෙ නෑ... ඔහොම ඇවිදගෙන යනකොට ඔහුට ගඟක් ඇස ගැටෙනවා.. ඊටපස්සෙ අපි මේ පොතේ දෙවැනිට කොටසට එනවා... මම කලිනුත් කිව්වා වගේ සිද්ධාර්ථ හැඩිදැඩි අපූරු තරුණයෙක්... සිද්ධාර්ථගේ ආකර්ෂණය නිසාම කමලා කියලා ධනවත් සුරූපිනියක් සමඟ ඇසුරකට වැටෙනවා... පසුව දරුවෙක් පවා මොවුන් දෙදෙනාට ලැබෙනවා... ඒත් ඔහුට ඔහු හොයන විමුක්තිය ලැබෙන්නෙ නෑ... පසුව ඔහු අර කලින් නතර වුණ ගඟ ගාවට එනවා... එතන ඉන්නවා වාසුදේව කියලා තොටියෙක්... ඔහුගේ කතාබහට, ඔහුගේ හැසිරීමට, ඔහුගේ ජීවන පිළිවෙත්වලින් හරි වටිනා දේවල් ටිකක් සිද්ධාර්ථ උකහා ගන්නවා... අපි ජීවිතේ කියලා හොයන්න මොනවද කියලා ඔහු අවබෝධ කර ගන්නවා... සිද්ධාර්ථ සොබාදහමත් එකක් සංවාදයක් ගොඩනගා ගන්නවා. ඔහු ගිහි ජීවිතය තුළම විමුක්තිය උදාකරගන්නවා... ගිහි ජීවිත තුළ ඉඳගෙන විමුක්තිය උදාකරගන්න බැරිද කියන ප්‍රශ්නයට තමයි මේ කෘතියෙන් උත්තරයක් ගේන්නෙ... මෙන්න මේ කියන කාරණා සියල්ලම මට තදින්ම හිතට දැනුණු කාරණා... යහපත් වූ සමාජය හදන්න ඒ කාරණා සියල්ලම වැදගත් කියලා මට හිතුණා..
මේ කෘතිය ඔබට මුණගැහෙන්නෙ කොහොමද? දැනට කී වතාවක් කියවල තියෙනවාද?
මේ කෘතිය මට මුණගැස්සුවේ වසන්ත බණ්ඩාර දිසානායක අයියන්ඩියයි... එතකොට මම උසස් පෙළ විභාගෙ ලියන කාලේ... ඔහු තමයි කිව්වේ මෙන්න මෙහෙම කෘතියක් තියෙනවා විභාගෙ ඉවරවෙලා කියවන්න කියලා... මගේ මේසේ උඩින් පොත තියලා ගියා. මේ පොතත් එකක්ම තවත් පොතක් ගෙනාව... ඒ පොත තමයි සේකරගේ ප්‍රබුද්ධ... ඉස්සරවෙලා සිද්ධාර්ථ කියවලා පස්සේ ප්‍රබුද්ධ කියවන්න කිව්වා... දැනට මම සිද්ධාර්ථ පොත කියවපු වාර ගාණ සංඛාත්මකව මතක නෑ... ඒ තරම් වැඩි වාර ගාණක් මම මේ පොත් දෙකම කියවලා තියෙනවා.
► Text - Danushka Wijesiri / Pic - Internet