2019 ජුනි 29 වන සෙනසුරාදා

සාරා සාරෙට වැඩ පෙන්නලා...

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 81

ඇෆ්ගනිස්ථානෙ කිව්වම හැමෝටම මතක් වෙන්නේ බෝම්බ, යුද්ධ, අනාථ කඳවුරු වගේ දේවල්. හැබැයි මීට අවුරුදු දහයකට පහළොවකට යුද්ධ ගැන විතරක්ම මාතෘකාව වෙච්ච ඇෆ්ගනිස්ථානේ මේ වෙද්දී ක්‍රිකට්වලටත් නම් දරාපු රටක් වෙලා. අනාථ කඳවුරු බිමක ඉඳන් එංගලන්තයේ ලෝක කුසලාන භූමිය දක්වා ඇෆ්ගන් වැසියෝ ආපු ගමන ඇත්තටම විස්මයජනකයි. ඒ විස්මයජනක කතාන්දරයේ බොහෝ තොරතුරු, සාරා ෆේන් කියන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනිය පසුගියදා මාධ්‍යයට විස්තර කරලා තිබුණා.

සාරා මුලින්ම ඇෆ්ගනිස්ථානෙට යන්නේ 1987 අවුරුද්දෙදීයි. එතකොට ඈ වෛද්‍ය සිසුවියක්. සෝවියට් ඇෆ්ගන් යුද්දෙ නිසා තුවාල වුණු ජනතාවට සේවය කරන්න තමයි මේ බ්‍රිතාන්‍ය ජාතික තරුණිය ඇෆ්ගනිස්ථානෙට යන්නෙ. 

“මම ඇෆ්ගනිස්ථානෙට මුලින්ම යද්දී ඒ රට හරිම පසුගාමීයි. හරි හමන් පාරක් නැහැ. රේඩියෝ, ටීවී, ටෙලිෆෝන් කිසිම දෙයක් නැහැ. ක්‍රිකට් කියලා ක්‍රීඩාවක් එහේ කොතැනකවත් තිබුණේ නෑ. ඒක හරිම අඳුරු කාලයක්” සාරා මතක් කරනවා. 
කොහොම නමුත් 2001 අවුරුද්දෙදී ආපහු ඇෆ්ගනිස්ථානයට යද්දී ඒ රටේ අධ්‍යාපනය ඉතාම දුර්වල තැනක තියෙන විත්තිය ඇයට පේනවා. විශේෂයෙන්ම මිලියනයක් වෙච්චි පාසල් දරුවන් අතරින් ගැහැනු ළමයි හිටියේ පන්දාහක් විතරයි. ඉතින් ඒ නිසාම සෞඛ්‍ය වැඩ කටයුතු පැත්තකින් තියලා ඇෆ්ගන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඇය දායක වෙනවා. අන්තිමට ඉස්කෝල 46ක් අලුතින් හදලා දරුවන් 75,000කට විතර අධ්‍යාපනය දෙන්න සාරාගේ රාජ්‍ය නොවන සංවිධානයට පුළුවන් වෙනවා. 
මේ අතරේ 2008 අවුරුද්ද පමණ වෙද්දී කොහේදෝ මුල්ලක ඉඳන් ජාත්‍යන්තරයට ආපු ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ තැන තැන ගිහින් පෙරළිකාර දස්කම් දක්වන්න පටන් ගන්නවා. සාරාට කලින් මේ ගැන අවධානය යොමු කරන්නේ ඇගේ පුතා. ඇය ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායම ආජන්ටිනාවේ, නිව්ජර්සි, ටැන්සානියාව වගේ පැතිවල ගිහින් ලබාගන්න ක්‍රිකට් ජයග්‍රහණ ගැන දැනගන්නේ තමන්ගේ පුතාගෙනුයි. 

මේ අලුත් බලාපොරොත්තුවත් එක්කම සාරා තමන්ගේ රාජ්‍ය නොවන සංවිධානයේ කටයුතුවලට ක්‍රිකට් කියන විෂයත් එකතු කර ගන්නවා. එහෙම කරලා කාබුල් නගරයේ තිබුණු ඒ රටේ එකම ක්‍රිකට් ක්‍රීඩාංගණය ගොඩනගන්නත් අතහිත දෙනවා. මේ වෙද්දී රට වටා ක්‍රිකට් පිටි 100ක් ගොඩනංවන්න ඔවුන් සමත් වෙලා. ඇෆ්ගනිස්ථානේ ප්‍රාන්ත 34න් 32කටම තමන්ගේම කියලා ක්‍රිකට් කණ්ඩායමකුත් ඉන්නවා. 

“ඇෆ්ගන් ජනතාවගේ ජීවිතේ කවදාවත් සුපිරි තරු හිටියේ නැහැ. ඔවුන් දැනගෙන හිටියේ යුද වීරයෝ ගැන විතරයි. ඒත් අද පළවැනි වතාවට එයාලා රෂීඩ් ඛාන් වගේ නබී වගේ සුපිරි තරැ දකිනවා. ක්‍රිකට් ඇෆ්ගනිස්ථානයට දීලා තියෙන දේවල් ගැන මට ඇත්තටම පුදුමයි. දැවැන්ත අභියෝග කන්දරාවක් එක්ක ජීවත්වෙන ඇෆ්ගන් මිනිසුන්ට තමන්ගේ රට ගැන ආඩම්බර වෙන්න පුළුවන් ලොකු හේතුවක් ක්‍රිකට් ගෙනැවිත් දීලා” සාරා කතා කරන්නේ හදවතිනි.

www.standard.co.uk/ ඇසුරෙනි 

► Text - Suranga   /   Pic -  Internet