මේ දිනවල ඔබ මොනවද කරන්නෙ..?
මේ දිනවල මගේ සංගීත වැඩ කටයුතු කිහිපයක්ම කරගෙන යනවා. මම පෞද්ගලික බැංකුවක වසර තිස් අටක් සේවය කළා. පසුගියදා මම ඒ බැංකු සේවයෙන් අයින් වුණා. බැංකුවක හිරවෙලා ඉන්න ගමන් තමයි මම මේ සේරම කළේ. ඒ නිසා දැන් මට නිදහසේ කලා කටයුතු කරන්න කාලය තියෙනවා. කාලයක ඉඳන් මට චිත්‍රපටයක් කරන්න ලොකු ආසාවක් තිබුණා. බොහෝවිට ඒ ආසාව ඉදිරියෙදී ඉටුවේවි.
මෑත කාලීනව ඔබ අතින් ලියවුණු විරාග රාගය ගීතය හා එහි රූප රචනාව බොහෝ දෙනා අගය කළ අපූරු නිර්මාණයක් වුණා. ඒ ගීතය තේමාකොටගෙන චිත්‍රපටයක් කරන බවයි ආරංචිය..?
ඔව්.. මෑත කාලයේ මම ලියූ අමරසිරි පීරිස් හා අමල් පෙරේරා ගැයූ විරාග රාගය ගීතය බොහෝ ජනප්‍රිය වුණා. ඒ ගීතය හරි අහම්බයක්. මගෙන් අමල් ගීතයක් ඉල්ලුවා. ඒ නිසා මාත් ලිව්වා. හැබැයි.. ඒ ගීතය මම හිතපු තැනට වඩා ගොඩක් වෙනස් තැනකට ගියා. සමහරු කිව්වෙ ප්‍රථම වතාවට මම මගේ තේමාව වෙනස් කරලා ගීතයක් ලියලා කියලා. ඒ ගීතය ගැහැනිය පිළිබඳව වෙනස් විදිහකින් කතා කරන මාතෘකාවක් වුණා. යශෝධාගෙත් මහේන්ද්‍රගෙත් දැඩි ඉල්ලීම පරිදි චිත්‍රපට අධ්‍යක්ෂණයට පෙළඹෙන්න මට සිද්ධ වුණා. ඒ ගීතයේ රූප රචනාවට මගෙනුත් උපදෙස් ලැබුණා. නමුත් තිවංක හොඳ රූප රචකයෙක්. මෙහි සරාගී දර්ශන නොදමන්න තීරණය කළේ මමයි. ඒකට තිවංකත් කැමති වුණා. ගැහැනියකගේ රහසිගත ප්‍රේමයේ ඉඟි ඒ ගීතයෙන් පෙනුණා. හැබැයි.. විරාග රාගය චිත්‍රපටය ඊට හාත්පසින්ම වෙනස්. මේ ගීතය නිසා විශාල කතාවක් ගොඩනැගුණා. මේ ගීතයේ තේමාව ඒ චිත්‍රපටයේ සියයට හැත්තෑ පහක් පමණ නියෝජනය කරාවි. ප්‍රධාන නළු නිළියන් තුන්දෙනත් ඒ තුන්දෙනාමයි. මට ඕන මගේ චිත්‍රපටය හරහා ලෙස්ටර් නම් සිනමාවේදියාගේ රූප කලාව ග්‍රහණය කර ගන්න. ඒ අතරේ පතිරාජගේ, වසන්තගේ, ප්‍රසන්නගේ සිනමා රීතියටත් මම කැමතියි. පෙර කියපු සිනමාවේදීන් ඉවුරු දෙකක අයයි. මගේ චිත්‍රපටයෙන් ඒ ඉවුරු දෙක යා කරන්න මම හරි ආසයි. මේක ටිකක් හිතුවක්කාර ප්‍රකාශයක්. නමුත් ලෙස්ටර්ගේ ෆ්‍රේම් තුළ තිබුණු ප්‍රබලත්වය වෙන ඒවා තුළින් මම දැක්කෙ නැහැ. අදටත් ගම්පෙරළියේ හැම රූප රාමුවක්ම මට මතකයි.
ඔබ දකුණේ ගැමියෙක්.. අපි ඔබේ ළමා කාලය මතකයට නැගුවොත්...?
මම ගාල්ලෙ. මම හෝඩියේ පන්තියේ සිට උසස් පෙළ පළවෙනි අවුරුද්ද වෙනකම් ඉගෙන ගත්තේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන්. අවුරුදු එකොළහ හමාරක් මම ඉගෙන ගත්තෙ ඒ ඉස්කෝලෙන්. මට තාම මතකයි.. මම රිච්මන්ඩ් විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගය සමත්වෙලා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. එක දවසකුත් ආනන්දයට ගියා. නමුත් මට කොළඹ ඉන්න ආසා හිතුණෙ නැහැ. ඒ නිසා පහුවදාම මම ආයෙත් ගමට ගිහින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ පාසලේ එක්තරා ගුරුවරයෙකුගේ කෘෘරත්වය නිසාම මම රිච්මන්ඩ් විද්‍යාලයෙන් අයින් වුණා. ඒ වගේ හිතුවක්කාර වැඩ මම අදටත් කරනවා. ඒ ගුරුවරයාගෙන් වෙච්ච අසාධාරණකම්, කෘෘරකම්වලට යටවෙලා අනිත් අය පාඩුවේ හිටියත් මම ඒ වෙනුවෙන් එරෙහි වුණා. ඒ නිසා මම රිච්මන්ඩ් විද්‍යාලයෙන් අයින්වෙලා ගමේ තිබුණු දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. හැබැයි ඒ පාසල මගේ ජීවිතේ වෙනස්ම කළා. විජිත මහා විද්‍යාලයට ඉතාම දරිද්‍රතාවයෙන් පෙළෙන ළමයින්ගේ සිට වංශවත් ළමයින් දක්වාම ආවා. ඒ හින්දා ඒක පොඩි ඉස්කෝලයක් නම් නෙමේ. බ්‍රිතාන්‍යයන් විසින් හදපු විශාල ශාලාවක්, පියානෝවක් තමයි රිච්මන්ඩ් එකේ තිබුණෙ. හැබැයි ගමේ පාසලේදී පන්ති කාමර තුනක පුටු එකතු කරගෙන තමයි පොඩි හෝල් එකක් හැදුවෙ.
ගමේ පාසල ඔබව කලාකාමී මිනිසෙක් කළා කිව්වොත්...?
ඔව්.. මට තාම මතකයි උසස් පෙළ මුල් වසරේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් අයින්වෙලා ගමේ ඉස්කෝලෙට ගිය දවසෙම ඒ පාසලේ සිංහල සාහිත්‍ය තරගය තිබුණා. එතකොට රචනා තරගය පටන් අරගෙන විනාඩි පහළොවක් ගිහිනුත් ඉවරයි. මගේ පොත්වල අත්අකුරු දැකපු ඒ පන්තියෙ ගැහැනු ළමයි ටික මගේ අත් දෙකෙන් අල්ලාගෙන කන්ද උඩ පන්ති කාමරයේ තිබුණු ගද්‍ය රචනා තරගයට මාව ඉදිරිපත් කෙරෙව්වා. කොලේජ් එකක ඉගෙනගත්ත මගේ අතින් ගැහැනු ළමයි අල්ලාගෙන යද්දී මට හරි ලජ්ජයි. හැබැයි ඒ අයට ඒක ගාණක්වත් නැහැ. විනාඩි පහළොවක් ප්‍රමාද වුණු රචනා තරගයට මාතෘකාව වුණේ මම කැමතිම නවකතාවයි. ඒත් මම අනිත් අයටත් පෙර රචනාව ලියලා ඉවර කළා. ඒකෙදී මට හොඳම රචනාවට හිමි ත්‍යාගය ලැබුණා. මගේ භාෂාවට මගේ කවිවලට රිච්මන්ඩ් එකේ නොලැබුණු තැනක් මට ගමේ පාසලෙන් ලැබුණා.
ඔබ පාසලේ හොඳ මළල ක්‍රීඩකයෙක්.. එහෙම නේද..?
ඔව්.. රිච්මන්ඩ් විද්‍යාලයෙදී හොඳ මළල ක්‍රීඩකයෙක්. ඉස්සර මම සැහැල්ලු පන්දු ක්‍රිකට් මරැවෙක්. මම සෙල්ලම් නොකරපු පිට්ටනියක් නැති තරම්. මගේ ආත්මගත ආසාව වුණේ ක්‍රිකට්. හැබැයි මගේ ක්‍රීඩා ගුරුවරයා කිව්වා එක්කෝ ඔයා මළල ක්‍රීඩා තෝරාගන්න. එහෙම නැත්නම් ක්‍රිකට් තෝරාගන්න. කියලා. අපේ මළල ක්‍රීඩා ගුරැවරයා සුපිරිම ගුරුවරයෙක්. ඒ නිසා මම ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීලා මළල ක්‍රීඩකයෙක් වුණා. ඊට පස්සෙ මම ඩබ්ලිව්.එස්. බණ්ඩාර සර්ව මුණගැහුණා. සර් නිසා මගේ මුළු ජීවිතයම වෙනස් වුණා. මම පෙර කිව්ව, මට අසාධාරණකම් වුණු ගුරුවරයාට එරෙහි වන්නට මට පන්නරය ලැබුණෙත් බණ්ඩාර ගුරැතුමා නිසයි. මම කියවපු රුසියානු පොත්වල ඉංග්‍රීසි පිටපත් මට තනියම කියවන්න දීලා ඒවායේ නොතේරෙන තැන් බණ්ඩාර සර් මට වෙනමම කියලා දුන්නා. මම දහය වසරේ ඉඳිද්දී Death of the clerk නම් කෘතිය සිංහලට පරිවර්තනය කළා. මගේ කවියක් නැවත හැදුවෙ නැතත් මාව කලාවට යොමුකළේ මගේ බණ්ඩාර සර් තමයි.
ඔබගේ සහෝදර සහෝදරියන් ගැනත් අපි මතක් කරමු...?
මගේ අයියා මට වඩා අවුරුදු පහළොවක් වැඩිමහල්. අයියා කැම්පස් යද්දී මම හෝඩියට ඇතුළත් වුණා විතරයි. මගේ ලොකු අක්කා මට වඩා අවුරුදු දහතුනක් වැඩිමහල්. දෙවැනි අක්කා අවුරුදු අටක් වැඩිමහල්. මගේ නංගි මට වඩා අවුරුදු තුනක් බාලයි. ඒ අය මටයි නංගිටයි අකල් වැසි කියලා තමයි කිව්වෙ. ඉස්සර අපි දෙන්නාව ලොකු අයට හරි කරදරයි. අපේ අයියාට එයාගේ දරුවෙක් විදිහටමයි මම වද දුන්නෙ. පොඩි එකෙක් නිසා ඒ අය අපිට ගැහුවෙ නැහැ. ඒ වගේ හරිම සුන්දර පවුල් පසුබිමක් ඒ කාලේ තිබුණෙ. ඒ තුන්දෙනාම මාවයි නංගිවයි මැණිකක් වගේ හරිම ආදරෙන් බලාගත්තා. ඉස්සර මම ටීක්බෝල ගහන්න හරි ආසයි. ඒ කාලේ මගේ ළඟ ටොයියෝ, කබ්බෝ කියලා ටීක්බෝල වර්ග ගොඩක් තිබුණා. මට තාම මතකයි.. අයියාගේ ඉවර වුණු Kog Hair cream වීදුරු භාජන තුනක මම මේ ටීක්බෝල දාලා තිබුණා. ඒවා හරිම සුන්දර අතීත මතකයන්.
ගීතයට හිත බැඳුණෙත් ඔය ළමා කාලෙදිමද..?
ඔව්.. මට තාම මතකයි අපේ ගෙදර ඉස්සර රේඩියෝවක් තිබුණා. මගේ හින්නි මාමා නැතිවුණේ මට අවුරුදු හතරෙදී විතර. එයා අවුරුදු තිහෙන් විතර නැතිවුණා. එයා ගාව මලඩ් (mallard) රේඩියෝවක් තිබුණා. ඒ රේඩියෝවට ලොකු රේඩියෝ සෙට් එකක් තිබුණා. ඒ කාලෙ හින්නි මාමා ඒක එංගලන්තයෙන් හරි ඉතාලියෙන් හරි ගෙන්වපු රේඩියෝවක්. ඒක අපේ ගෙදර සාලේ තමයි තිබුණෙ. අපේ ගෙදරට ගේ පිටිපස්සෙ තියෙන කුඹුර පේන පොඩි කොටසක් තියෙනවා. මම එතන ඉඳගෙන තමයි හැමදාම පාඩම් කළේ. අපේ ගමේ හිටපු ජිනදාස අයියට කියලා වයර් එකක් දාලා රේඩියෝවෙන් මම ඉන්න තැනට ස්පීකරයකින් අහන්න සලස්වාගත්තා. කරුණාරත්න අබේසේකර ඉන්නෙ රේඩියෝවෙ ඇතුළෙ කියලා ඒ කාලේ මම හිතුවෙ. ඒ තරම් ඒ හඬ හරිම ළබැඳියි. අමරදේවගේ සිට ජෝතිපාල දක්වා ඒ ගීත මම හරිම ආසාවෙන් ඇහුවා. දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ මාස හයක් ඉගෙන ගනිද්දීම මාව එහි ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත් කළා. හැබැයි ඒකට සමහරු අකමැතිත් වුණා. ශිෂ්‍ය නායකයෙක් වෙන්න අඩුම තරමේ අවුරුද්දක්වත් ඉගෙනගන්න ඕන වුණත් මම මාස හයෙන් ශිෂ්‍ය නායකයා වුණා. විජිත මධ්‍ය මහා විද්‍යාලය මට දිව්‍යලෝකයක් වුණා.
ඔබ අතින් ගීත නිර්මාණය වුණේ කොහොමද..?
පොඩි කාලෙත් මගේ අතින් ගීත ලියවුණා. මට ඉස්සර සින්දු කියන්නත් පුළුවන්. මගේ අක්කගේ විවාහ උත්සවයට මම ආසිරි ගීතයක් ලිව්වා. ඒකට ඉහළම පැසසුම් ලැබුණා. අපේ ඉස්කෝලෙ උප විදුහල්පති දිසානායක සර් විශ්‍රාම ගනිද්දී ගායනා කරපු ඇදුරුපාණනී, කියන ගීතයත් මගේ අතින් ලියවුණා. ඒ ගීතය ගයද්දී සර්ගේ ඇස්වලින් කඳුළු වැටුණා.
ඔබට මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ව මුණගැහෙන්නෙ ඔබ පාසල් අධ්‍යාපනය හදාරන කාලෙදීමයි..?
උසස් පෙළ ලියලා ඉවරවෙලා මම ලියපු කඩදාසි ගොඩක ගීතය පොතට පසුවදන ලිව්වෙ මහාචාර්ය සුනිල් ආරියරත්නයි. එහි පෙරවදන ලිව්වෙ ධර්මසිරි ගමගේ මහත්මයා. මගේ කඩදාසි ගොඩක ගීතය කියවලා සුනිල් ආරියරත්නයන් බන්ධු... මේ කවි වෙන අයගේ කවි වගේ නෙමෙයි. මේ කවිවල තියෙන්නෙ ගීතමය ගතියක්. මේ කවි කොටයි. ඔබ සින්දු ලියන්න තමයි හොඳ කියලා කිව්වා. ඉස්කෝලෙ යන කාලෙදී මට එක අවස්ථාවකදී ආර්. මුත්තුසාමිට බුදුගුණ ගීතයක් ලියන්නත් අවස්ථාව ලැබුණා. හැබැයි.. සුනිල් ආරියරත්නයන් මගේ කවි වර්ණනා කරනකම් මට ඒක වැඩිය දැනුණෙ නැහැ. සුනිල් ආරියරත්නයන් මාව නන්දා මාලිනී මහත්මියට යොමු කළා. මම ඇයට ලියූ ඉර ලස්සනයි ඉරගල රැස වැටෙනකොට ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. ඒක සංගීතවත් කළේ කලණි පෙරේරා. ඇත්තටම මම ගීත රචකයෙක් වෙන්න පෙළඹුණේ අහඹු සිදුවීමක් නිසයි. නන්දා මාලිනී මහත්මියගේ ගීත ජනප්‍රිය වෙද්දී බොහෝ දෙනා මගෙන් ගීත ලියන්න කියලා ඉල්ලා සිටියා. ගීත ලියූ ප්‍රවීණයන්ගේ ආදරයත් මට ලැබුණා.
මෙහෙම යද්දී ඔබේ නිර්මාණ බිහිවීම ටික කලකට නතර වුණා..?
ඔව්.. එක්තරා සිදුවීමකට පස්සෙ මම ගීත ලියන එක ටිකක් නතර කළා. නමුත් 1983 දී විතර මට කුලේ අයියා සහ රෝහණ අයියා මුණගැහුණා. එතකොට මම බැංකු ක්ෂේත්‍රයේ රැකියාව කරනවා. ඇත්තටම මට පසුකාලීනව ගීත ලියන්නට උත්තේජනයක් වුණේ කුලේ අයියා (කුලරත්න ආරියවංශ) රෝහණ අයියා (රෝහණ වීරසිංහ) වගේ අයයි. එච්.එම්. වීරසේකර මෙහෙයවපු ඉරිදා සංග්‍රහය, ගෝපලු හෙවණ, නිම්තෙර, ළමා හෝඩිය, නඳුන් උයන වැනි වැඩසටහන් බොහොමයක් මෙහෙයවන්න මට අවස්ථාව ලැබුණා. රෑ ඉරපාන වැඩසටහන එකසිය පනහක් ප්‍රචාරය වුණා. එකම පුද්ගලයෙක් තමන්ගේම පිටපතක් පැය දෙකක් මෙහෙයවීම සුවිශේෂීයි. ඔය එකසිය පනහටම මම ලියපු එකම ගීතයක්වත් යොදාගත්තෙ නැහැ. ඒ වෙද්දී මම ගීත දෙදහකටත් අධික සංඛ්‍යාවක් ලියලා තිබුණා. හැබැයි ඒ කිසිම ගීතයක් රෑ ඉරපාන වැඩසටහන් එකසිය පනහ පුරාවටම තෝරාගත්තෙ නැහැ.
අපි ඔබගේ විවාහය ගැනත් ටිකක් කතා කරමු..?
බණ්ඩාර සර් නිසා මට ජීවිතේ බොහෝ දේවල් ලැබුණා වගේම සර්ගේ මාමාගේ දුව වුණු සුභාෂිණීවත් මුණගැහෙන්න මට අවස්ථාව ලැබුණා. සර්ගේ අම්මාගේ මල්ලී තමයි මගේ බිරියගේ පියා වුණේ. කාලයක් සුභාෂිණී හිටියේ සර්ගේ ගෙදරයි. මම එහේ යද්දී මෙයාව දැකලා තිබුණා. සර් විවාහවෙලා හිටියෙ නැහැ. ඉතින්.. සර්ගේ අම්මා තමයි මාව සුභාෂිණීට යෝජනා කළේ. බොහෝ දේවල් ප්‍රතික්ෂේප කරලා මම සුභාෂිණීව බැන්ඳා. මට තාම මතකයි.. මම බණ්ඩාර සර්ගේ පන්තියට ගියේ නවය වසරේදී. දහය වසරේදී මම මගේ කේන්දරය විසි කළා. ඒ නිසා මම සුභාෂිණී එක්ක පෝරුවේ නගින්න සූදානම් වුණේ නැහැ. අපේ ගෙදර ඉස්සරහ තිබුණු ලොකු සියඹලා ගහ යට ලක්ෂ්මන් විජේසේකරටයි දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ටයි කියලා දැල්වූ පහන් දැල්වී නිවේවා කියන ගීතය කියවලා කසාද බඳින්න තමයි මම හිතාගෙන හිටියෙ. කුලේ අයියගේ බිරිය අපේ ගෙදර පෙර දවසේ ඇවිත් පෝරුව තියන්නෙ කොහෙද කියලා අහද්දී අක්කේ පෝරුවක් නැහැ කියලා කිව්වා. ඒ නිසා හැන්දෑවේ කට්ටිය පෝරුවක් හැදුවා. මගේ විවාහයට අත්සන් කළේ අමරදේව සර්. ඒ නිසා අමරදේව සර්ට එන්න පුළුවන් වෙලාව ගැන හිතලා එකොළහයි හතළිහ කියන නැකත මමම හැදුවා. ඔහොම තමයි මගේ විවාහය කළේ. අද දූවරු දෙන්නෙකුත් ලැබිලා අපි හරිම සතුටින් ජීවත් වෙනවා. මම කවදාවත් සුභාෂිණීව අඬවලා නැහැ. මම කොළඹ කොහේ ගියත් එයාට මාව විශ්වාසයි. ඒ විශ්වාසය මම රකිනවා. අපි විවාහවෙලා 2020ට වසර තිහක් ගතවෙනවා. අපේ දූවරු දෙන්නත් හොඳට ඉගෙන ගත්තා. ලොකු දුව විවාහකයි. ලොකු දුවගේ නම සුනෙරි. මගේ දෙවැනි දුව තරුවි. සුභාෂිණීට දෙවැනි දුව ඉපදෙද්දී තමයි නිරෝෂා විරාජිනී ගායනා කරන සුදු ඇත් පොව්වෙක් ගීතය මගේ අතින් ලියවුණේ.
සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඬින් ගෙන
පැදකුණු නොකළත් සිරි යහනේ
පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිඳූ
මට රජ පැටියෙක්
► Text - Dishani / Pic - Sumudu