2019 ජුනි 29 වන සෙනසුරාදා

කේන්දරේ තියෙනවා මම ජනප්‍රිය වෙන්නේ දේශපාලනයෙන් කියලා

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:31 443

දශක දෙකකට වැඩි කාලයක් මුළුල්ලේ ස්වකීය අනන්‍යතාව්‍ය එකසේ රැකගනිමින් ශ්‍රී ලාංකික රූපවාහිනි ප්‍රේක්ෂකයින් දස දහස් ගණනගේ ආදරය හා ගෞරවය නොමදව දිනාසිටින සම්මානනීය නිවේදිකා තනූජා ජයවර්ධන කියන්නේ කවුද කියලා ඇගෙන් විමසූ විට ඇය දුන් ප්‍රතිචාරය තමයි ඉහතින් දැක්වෙන්නෙ. විවිධ භූමිකාවන් හරහා සහෘද ජනතාවට වඩා ළං වූ පුංචි තිරයේ දැවැන්තයින් අතර තනූජාට හිමිවන්නේ ප්‍රසංශනීය ස්ථානයක්.  

ඔබව රටම හඳුනන්නෙ ආදරය කරන්නෙ “රස රිසි ගී කරපු තනූජා හැටියට. ඒ මතකය අවදි කළොත්..?
මට කිසිම දවසක රූපවාහිනි නිවේදිකාවක් වෙන්න උවමනාවක් තිබුණේ නැහැ. මම පාසල් ගියේ කොළඹ ලින්ඩ්සෝ බාලිකා විදුහලට. ඉස්කෝලෙදි නම් ගොඩාක් ක්‍රීඩාවට තමයි යොමුවුණේ. මම අපේ පාසලේ හිටපු ක්‍රීඩා නායිකාවක්. මීටර 100, 200 වගේම උස පැනීම, සැහැල්ලු පන්දු ක්‍රිකට්, දැල් පන්දුවලට මම යොමුවෙලා හිටියා. ඉස්කෝලෙ කලා කටයුතුවලට නම් සම්බන්ධ වෙලා නැහැ. නිවේදන කටයුතු නම් කළේම නැහැ. මට ඒ කාලේ උවමනා වුණේ වේදිකා නාට්‍යය අධ්‍යක්ෂවරියක් වෙන්න. නාට්‍ය තිරකතා රචිකාවියක් වෙන්න. ඉස්කෝලෙ කලා උළෙලට නම් නාට්‍ය කීපයක් ලිව්වා. කැමරාව පිටුපස මිසක් කැමරාව ඉස්සරහින් ඉන්න නෙවෙයි මට ආස කළේ. ඒත් දෛවය ඒ හැම දෙයක්ම වෙනස් කළා. 
මම උසස් පෙළ කරලා ගෙදර ඉන්න කාලේ තාත්තට උවමනා වුණේ මාව ඕස්ට්‍රේලියාවේ යවලා බැංකු කේෂත්‍රයට සම්බන්ධ කරන්න. අපේ ගෙදරත් තිබුණේ බැංකු පරිසරයක්. තාත්තා වැඩ කළේ මහජන බැංකුවේ. අක්කත් විවාහයට කළින් වැඩ කළේ බැංකුවක. ඒ අතරතුර මම ප්‍රදීප් කුමාර බාලසූරිය අලුතින් පටන් ගන්න පත්තරේක නිදහස් ලේඛිකාවක් හැටියට සම්බන්ධ වුණා. ඔහු මට අභියෝග දෙකක් බාර දුන්නා. එකක් සුසන්තිකා ජයසිංහගේ ඉන්ටවීව් එකක් කරන්න, අනික සිරස FM එකේ නිමල් ලක්ෂපතිආරච්චිගේ ඉන්ටවීව් එකක්. මම මුලින්ම නිමල්ගෙ ඉන්ටවිව් එක කරන්න ඔහු හමුවුණා. මාව දැක්ක ගමන් ඔහු මගෙන් ඇහුවා අපි අලුතින් පටන් ගන්න TV චැනල් එකේ නිවේදිකාවක් වෙන්න කැමති නැද්ද කියලා. මම කිව්වා පස්සෙ හිතලා කියන්නම් අකමැත්තකුත් නැහැ. හැබැයි ඉන්ටවිව් එක මුලින් කරමු කියලා. දවස් දෙක තුනක කාලයක් ඇතුළත නිමල් මට කතා කරලා අලුත් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. කොණ්ඩේ බැඳපු කොල්ලෙක් ඉන්නවා. ඔයා වගේ උස කෙල්ලෙක් තමයි හොය හොයා හිටියේ කියලා. නාදරයි මමයි තිර පරීක්ෂණවලින් සමත් වුණා. නිමල් අපි දෙන්නට නිදහස දුන්නා අපි දෙන්නා වගේම ඉඳලා රස රිසි ගී කරන්න. එහෙම තමයි රස රිසි ගී පටන් ගත්තේ. මගේ ජීවිතේ තීරණාත්මක වෙනසක් වෙන තැනත් එතනයි. 

ඔබ ඉපදුණේ පළවෙනිදා දවසක. විහිළු නෙවෙයි අප්‍රේල් මාසෙනෙ? ඉතින් ඔබේ ක්‍රීඩා පසුබිමක් එක්ක ඔබ නිතරම හිටියේ මුල් තැනක. ටෙලිවිෂන් කලාවේත් ඔබට මුල්තැන හිමිවෙන අවස්ථා ලැබුණා?
ඔව් ඒ වාසනාව මටයි නාදරටයි එදා තිබුණා. මම නිතරම හිතන්නෙ මුලින්ම දෙයක් කරන කෙනාට තමයි වාසනාව තියෙන්නෙ. මිනිස්සුන්ගෙ මතකයේ රුඳෙන්නෙ කියලා. මුලින්ම හඳට ගිය කෙනා මුලින්ම එවරස්ට් කන්ද තරණය කළ කෙනා වගේ. 
ඊට පස්සෙ මට උවමනා වුණා මගේ මාධ්‍ය කේෂත්‍රය තුළ සුවිශේෂී මං සළකුණු සටහන් කරන්න. මම භාවිත වෙනවා ලංකාවෙ ටෙලිවිෂන් ඉතිහාසයේ මුල්ම උදෑසන සජීවී කාන්තා වැඩසටහන් කරන්න. ඒ තමයි “පහන් පියස ඒත් එක්කම මම වැඩසටහන් නිෂ්පාදනයට යොමුවෙලා තවත් හැරවුම් ලක්ෂයක් සටහන් කළා. ඒ තමයි අවුරුදු 5ක පොඩි ළමයෙක් යොදවලා සජීවී වැඩසටහනක් කරන එක. ඒ තමයි ප්‍රමුදි කරුණාරත්න යොදවා කරපු “පුංචි පැංචි වැඩසටහන. ඒ අභියෝගය භාරගෙන මම සාර්ථක ලෙස එය මිනිස්සු අතරට ගෙනගියා. 

ඒ අතරතුර නිවේදන කටයුතු රැසකටත් සම්බන්ධ වුණා. ඊට පස්සෙ මට පැවරෙනවා ලංකාවෙ තාරුණ්‍ය වෙනුවෙන්ම රේඩියෝ චැනල් එකක් පටන්ගන්න. ඒ ජයගත් අභියෝගය තමයි YF. එහි නාළිකා ප්‍රධානි හැටියට වසර 7ක් සේවය කරන්න මම භාරගන්නවා. සිරස TV සතියේ දින වැඩසටහන් අධ්‍යක්ෂිකා තනතුර. MTV/ MBC ආයතනයේ ප්‍රවර්ධන අධ්‍යක්ෂිකා ලෙස මට තවත් පත්වීමක් ලැබුණා. 

ඒත් ඔබ මීට වසර දෙකකට කලින් සිරස TV එකෙන් අයින් වෙනකොට ඔබ MBC ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකාවක්? ඔබ සිරසෙන් අයින් වීම ගැන සමාජයේ වෙනම කතා බහකුත් නිර්මාණය වුණා?
සාමාන්‍යයෙන් කෙනෙකුට නොලැබෙන විරල අවස්ථා රැසක් මට ලැබුණෙ මගේ චින්තන හැඩයේ ඇති වෙනස්කම නිසා කියලයි මම විශ්වාස කරන්නෙ. මා ලැබූ සම්මානවලට වඩා මට වටින්නෙ මගේ වෘත්තිය ජීවිතයේ මම මුදුන්පත් කරගත් සුවිශේෂී ජයග්‍රහණය. ලංකා ටෙලිවිෂනයේ කැපී පෙනෙන වෙනසක් කරන්න ලැබීම මගේ ලොකුම වාසනාව. මහරාජා ආයතනයෙන් ඒ සඳහා ලැබුණු පිටුවහල ද මේ වෙලාවෙ සිහිපත් කළ යුතුයි. හොඳ ගුණාංගවලින් හෙබි හොඳ මිනිසුන්ගේ ඇසුර මට මුල් කාලයේ ඉඳලා ලැබීමත් මගේ සාර්ථකත්වයට එක් සාධකයක්. 

අඩුපාඩු අවම කරමින් මගේ වැඩ කටයුතු සුසර කරගන්නට මට හැකි වුණේ ඒ හොඳ මිනිස් ඇසුරයි. මම හරියට ජාත්‍යන්තර විද්‍යුත් මාධ්‍ය නරඹන අලුත් ගෝලීය ප්‍රවණතා ගැන හොයන විමර්ශනයක යෙදෙන කෙනෙක්. මම වැඩසටහන් කරද්දී හොඳ පෙර සැලසුම් කරගෙන යන කෙනෙක්. ඒකට හේතුව තමයි මම හැම තිස්සේම විශ්වාස කරනවා මට වඩා ටෙලිවිෂන් එකේ රේඩියෝ එකේ ඉස්සරහා වාඩිවෙන කෙනා බුද්ධිමත් කියලා. ඒ අයගේ බලාපොරොත්තු සුන්කරන්න මම කැමති නැහැ. මගේ ඒ වැඩකරන ස්ටයිල් එක දැන් මගේ දේව විශ්වාසයක්, ආගමක් වෙලා. එහෙම නොකළා නම් මට අවුරුදු 21ක් මේ ක්ෂේත්‍රයේ පවතින්න බැහැ. 

දැන් ඔබ නිදහස් මාධ්‍යවේදිනියක්. මේ වසර දෙකක නිදහස් කාල පර්ච්ඡේදය ගැන මොනවද හිතෙන්නේ?
මුලින්ම කියන්න ඕනේ අවුරුදු 2කට පෙර සිරසෙන් අයින් වෙන්න මම ගත්ත තීරණය අතිශ්‍ය පෞද්ගලික එකක්. ඒ වෙනුවෙන් මම අවුරුදු දෙකක කාලයක ඉඳන් සැලසුම් කළා. විශේෂයෙන් මගේ මූල්‍ය බැඳීම්වලින් මම නිදහස් වුණා. මට ඕන වුණා මම ගැනම ගවේෂණයක යෙදෙන්න. ඒකට 100 නිදහස ඕන වෙනවා. කෙටි චිත්‍රපටයක් කරන්නත් හිතේ තිබුණා. ආයතනයකට බැඳිලා ඉන්නකොට එහෙම කරන්න අමාරුයි. ආතතියෙන් මිදිලා නිදහසේ සංචාරය කරන්න මම වෙනුවෙන් මට කාලය මිඩංගු කරන්න මට ඕන වුණා. ඒක හරිම සරල සැලැස්මක්

ඊට පස්සේ ඔබට ලැබුණු ප්‍රතිචාර කොහොමද?
එළියට ආවට පස්සෙ මට අවස්ථා ගොඩාක් ලැබුණා. මට ඕන වුණේ ගුණාත්මක දේවල්වලට විතරක් අවධානය යොමු කරන්න. ජාතික රූපවාහිනී සභාපතිනී ඉනෝකා සත්‍යාංගනී මට “කාල භාෂණ වැඩසටහන කරන්න ආරාධනා කළා ඇගේ සංකල්පයක් අනුව. එහි නිෂ්පාදක සංතුස ලියනගේ සමඟ එකතුව මේ වනවිට මම වැඩසටහන් 38ක් කරලා තියෙනවා. ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. තවත් මාධ්‍ය ආයතන 2ක් සමඟ අලුත් වැඩසටහනක් ගැනත් මේ වනවිට සාකච්ඡා සිදුකරමින් යනවා. මිනිස්සුන්ගේ හිත්වල තියෙනවනෙ අපි මොනවා හරි වෙනසක් කළා කියලා. ඒ වෙනස කරපු විදිහට ඉන්න තමයි මගේ අදහස. 

ආපසු පස්සට ගිහින් ජීවිතේ යම්කිසි තැනක් සංස්කරණය කරලා නිවැරදි කරගන්න ඔබට අවස්ථාවක් ලැබුණොත්?
එහෙම ලැබුණොත් නම් මම හිතන්නෙ නිර්මාණශීලී කෙනෙක් හැටියට ඉඳලා ආයතනයේ  කළමනාකාරිත්වයට යන අදහස මම අත්හරීවි. නිර්මාණශීලි කෙනෙකුට කළමනාකාර කටයුතු පැවරුණොත් ඔහුට හෝ ඇයට යම් විදිහක හිරවීමක් සිද්ධ වෙනවා. 

තනුජා ජයවර්ධන කියන්නෙ ඔබේ මුල් නමද?
නැහැ මට මුලින්ම දාලා තියෙන්නෙ මේනකා මධුරංගී කුමාරි කියන නම. ඒත් අම්මා ඒකට අකමැති වෙලා සංශෝධනයක් කරලා තමයි තනුජා ලංකාංගනී කියලා දාලා තියෙන්නේ. දැනටත් මගේ උප්පැන්න සහතිකේ තියෙනවා පරණ නම. ඒක තනි ඉරකින් කපලා තමයි මගේ නම ලියලා තියෙන්නෙ. ජයවර්ධන මුදියන්සේලාගේ තනුජා ලංකාංගනී කියලා. 

මාධ්‍ය කේෂ්ත්‍රයේ තියෙන්නෙ පුරුෂාධිපත්තියක් කියලා කිව්වට ඔබට හැකිවෙලා තියෙනවා ඒ අභියෝගයත් ජයගන්න?
කොච්චර නැහැ කිව්වත් මාධ්‍ය කේෂත්‍රයට පුරැෂාධිපත්‍යයක් තියෙනවා. ඒ අභියෝග මම ජයගත්තේ මගේ සහජ හැකියාවන් හා අනන්‍යතාවය නිසා. මට එවැනි ලොකු අත්දැකීමක් නැති වුණාට ඇතැම් තැන්වල සිද්ධවෙලා තියෙනවා.

නිදහසේ ඉන්න මේ කාලෙ ඔබ කරන සුවිශේෂී වැඩකටයුතු?
මේ නිදහසේ ඉන්න කාලෙදී මට මාත් එක්ක ලොකු සංවාදයක් ඇති කරගන්න පුළුවන් වුණා. මට හොඳටම තේරුණා මට මාව මඟහැරිලා තිබුණා කියලා. මම ළඟදී මිලදී ගත්ත අපාට්මන්ට් එක ලස්සන කරමින් යනවා වෙලාව අරගෙන. සංචාරය කරනවා, හොඳ මිනිස්සු ඇසුරු කරනවා, චිත්‍රපට බලනවා, ගෙදර අයත් එක්ක ඉන්න වෙලාව හදාගන්නවා. ඒ අතරතුර උපදේශකවරියක් හැටියට කටයුතු කරනවා. මාධ්‍ය උද්ඝෝෂණය ONLINE කරනවා. මාත් එක්ක තරැණ කණ්ඩායමක් වැඩකරනවා. ලංකාවෙ සුපතල වෙළඳ ආයතන හා ඔවුන්ගේ වෙළෙඳ නාම ප්‍රවර්ධනය වෙනුවෙන් සංකල්ප සැලසුම් කිරීම, සංහිඳියාව උදෙසා වැඩසටහන් සම්පාදනයත් මම කරනවා. ඊට අමතරව ලංකාවෙ දරුවන් වෙනුවෙන් යමක් මගේ ශක්ති ප්‍රමාණයෙන් මගේ වියදමෙන් හෙමින් කරගෙන යනවා. වෙනස් විදිහට හිතන මිනිස්සු 100ක් හරි හදන්න පුළුවන් නම් ඒකයි මගේ සතුට. විශේෂයෙන් මම ළමුන් වෙනුවෙන් සමාජ සත්කාර වැඩකටයුතු කරනවා. 

ඔබේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ආදරයට, ප්‍රේමයට, විවාහයට හිමි වෙන්නෙ කොයි වගේ තැනක්ද?
සමහර වෙලාවට මට හිතෙනවා මම හෙමින් හෙමින් දේවල් අත්හරිමින් ඉන්න කෙනෙක් කියලා. බොල්ගොඩ වැව ළඟ මම ලස්සන ගෙයක් හැදුවා. නමුත් ප්‍රායෝගිකව එහෙ තනියම ඉන්න බැරි නිසා ඒක විකුණුවා. මගේ පවුල වගේ තිබුණු මහරාජා ආයතනයටත් මම සමුදුන්නා. මම ඉහළින්ම බෞද්ධ දර්ශනය පිළිගන්න කෙනෙක්. හිත හදාගෙන අත්හැරීම මට පහසුවෙලා තියෙන්නෙ ඒ නිසා. මට හිතෙනවා මම සංසාරය කෙටි කරගෙන යන කෙනෙක් කියලා. එහෙම අයට බැඳීම් අඩුයි. සමාජයේ එන බලපෑම් නිසා තව කෙනෙක් එක්ක මට ජීවත් වෙන්න බැහැ කියලා මට තේරෙනවා. තව මනුස්සයෙකුගෙ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න මට බැහැ. කවද හරි ලෙඩක් දුකක් හැදුණොත් මිනිහෙක් ඉන්න ඕනේ අපිව බලාගන්න දරැවෙක් ඉන්න ඕනෙ කියන සංකල්පයෙන් විවාහ වෙන්න, ළමයි හදන්න මගේ කිසිම කැමැත්තක් නැහැ.

ඔබ ආදරේ නොකරපු කෙනෙක් නෙවෙයිනේ?
මම හොඳට ආදරේ කරලා ඒකෙන් හිත් රිදිලා තියෙන කෙනෙක්. තනුජා ජයවර්ධන කියන පෞරැෂය හා ප්‍රතිරූපය පාගගෙන, යටපත් කරගෙන ආදරේ කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි මම. මට එතනට යන්න බැහැ. මගේ ගුණාංග, මගේ පෞරුෂය රැකගෙන ආදරේ කරන්න පුළුවන් කෙනෙක් මට තාම මුණගැහිලා නැහැ. 

ඔයා ගැන හඳහනේ මොනවද කියලා තියෙන්නෙ?
ජනප්‍රිය වෙනවා කියලා තියෙනවා පැහැදිලිවම. හැබැයි තියෙන්නෙ මාධ්‍ය කේෂත්‍රයේ නෙවෙයි දේශපාලනයෙන්ලු.  

 

► Text – Ramesh Uvais