2019 ජුලි 06 වන සෙනසුරාදා

දැන්වීමෙ ගාණ සැරලු

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 55

එක්තරා කලා ශිල්පියෙකුට ඕන වුණාලු ගම්පහ පැත්තෙ තියෙන එයාගෙ ඉඩමක් විකුණන්න. ඒ ගැන දැන්වීමක් පළ කරගන්න ඔහු එක්තරා පුවත්පත් ආයතනයකට ගියාලු.

කොහොමද මේ වගේ දැන්වීමක් දාන්න ඕගොල්ලො අය කරන්නෙ?
අඟලකට රුපියල් 200ක් අය කරනවා. දැන්වීම් කවුන්ටරේ නිලධාරියා කිව්වලු.

බුදු අම්මෝ. ඔච්චර ගණන්ද? වැඩියි වැඩියි. හොඳටෝම වැඩියි. මගේ ඉඩම පර්චස් 20යි. මම එච්චර සල්ලි ගෙනාවෙ නැහැ. කියලා අර ශිල්පියා යන්න ගියාලු.

 

හැමෝම කියන්නෙ ඔහොම තමයි

චිත්‍රපට නිෂ්පාදකවරයෙක් පසුගිය දවසක ඔහුගේ කාර්යාලයේ බරපතළ ලෙස කාර්යබහුල වුණා. එදා තිබුණෙ ඔහුගෙ අලුත් චිත්‍රපටය සඳහා නළු නිළියන් තෝරන සම්මුඛ පරීක්ෂණය.
ජංගම දුරකතනයත් විසන්ධි කළ නිෂ්පාදකවරයා, ඔහුගේ ලේකම්වරියට කිව්වලු එයාට එන කිසිම කෝල් එකක් දාන්න එපා කියලා.

සමහරු කියයි ඉතාම හදිසියි, හරිම වැදගත් වගේ එක එක දේවල්. ඔයා ඒවා විශ්වාස කරන්න එපා. හැමෝම කියන්නෙ ඔහොම තමයි කියලා. ඔයා ලයින් එක බය නැතිව කට් කරන්න, නිෂ්පාදකවරයා ඇයට උපදෙස් දුන්නලු.
ටික වෙලාවකින් කෝල් එකක් ආවලු.

මම නිෂ්පාදකතුමාගෙ නෝනා. මට හදිසියේ එතුමට කතා කරන්න ඕනෙ.
හැමෝම කියන්නෙ ඔහොම තමයි. සර් බිසී. පස්සෙ කතා කරන්න, ලේකම්වරිය කිව්වලු.

 

තුන්දෙනාම ඒ වගේනෙ

චිත්‍රපට, ටෙලිනාට්‍ය ෂූටිං කරන දර්ශන තලවල කලාතුරකින් ලැබෙන විවේකී අවස්ථා තියෙනවා.
ඔන්න ඔය වගේ වෙලාවට සින්දු කියන්න පුළුවන් කට්ටිය සින්දු කියනවා. බැරි කට්ටිය බයිලා කියනවා. අත බලලා සාස්තර කියන්න පුළුවන් කට්ටියත් ඒ අතර ඉන්නවා. ඒ වගේ හැකියාවක් තියෙන ප්‍රවීණ ශිල්පියෙක් තරුණ නවක නිළියකට අත බලලා සාස්තරයක් කියන්න ඉදිරිපත් වුණාලු.

ඔයා නම් කවදාහරි විවාහ වෙන්නෙ විජය කුමාරණතුංග වගේ ලස්සන හැන්ඩ්සම් කොල්ලෙක් එක්ක. 
කෙල්ලගේ මූණ ඩිම්වෙලා ගියාලු.

අනේ එහෙම කියලා බැහැ අයියේ. තව පොඩ්ඩක් වැඩියෙන් විස්තර කරන්නකො, මොකද මම දැන් යාළුවෙලා ඉන්න බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා තුන්දෙනාම ඒ වගේ හැන්ඩ්සම් කොල්ලො තමයි.

► Text - Mithra