2019 ජුලි 06 වන සෙනසුරාදා

බෝම්බයේ ගිනි නිවන්න එක් වූ හිත හොඳ කලාවේදියෝ

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 87

කටුවපිටිය දේවස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයත් සමඟ කටුවපිටිය ජනතාවගේ දුක වැඩිපුරම දැනුණු කලාකරුවෙක් ලෙස ඔබව හඳුන්වන්න පුළුවන්. මේ ව්‍යසනයත් සමඟ බොහෝ කලාකරුවන් කලාකාරියන් ඔබත් සමඟ එකතු වුණා...?
ඔව්.. මේ සිදුවුණු ව්‍යසනයෙන් පස්සෙ මේ පළාතේ බොහෝ දරුවන් අසරණ වුණා. සමහර දරුවන්ට තාත්තා නැතිවුණා. සමහර දරුවන්ට අම්මා නැතිවුණා. තවත් සමහර දරුවන්ට අම්මා තාත්තා දෙන්නම අහිමි වුණා. මේ අතරේ මව්පියන් ආබාධිත වුණු දරුවන්ද ඉන්නවා. ඒ නිසා මේ දරුවන් වෙනුවෙන් යමක් ඉතා ඉක්මනින් කරන්න ඕන කියලා අපිට හිතුණා. බොහෝ අය මොවුන්ට උදව් උපකාර කරන්න පෙළඹුණේ දේශපාලන වාසි තකායි. ඒ නිසා මම ඔවුන් හා සම්බන්ධ වෙන්න කැමති වුණේ නැහැ. මගේ හොඳම යාළුවෙක් තමයි ප්‍රේම් ප්‍රනාන්දු. ඒ වගේම අපේ ගමේම ඉන්න තුෂාර පියතුමාත් එක්ක කතාබහ කරලා මේ දරුවන් වෙනුවෙන් හොඳ යමක් කරන්න අපිට ඕන වුණා. ඒ වගේම අපේ කලාකරුවන් වන බොනී සහ රිචාඩ් මාන මුදලිත් මේ කටයුත්තෙදී මුල සිටම අපිත් එක්ක හිටියා.

ඔබ ඇතුළු කණ්ඩායම මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මුලින්ම කළේ මොකක්ද..?
මේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව අපේ රටේ හැමෝටම ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා මේ අසරණ වුණු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්න හැකි අය හොයලා බලලා ඔවුන් වෙත ඒ දරුවන් යොමු කරන්න අපි තීරණය කළා. මේ වෙනුවෙන් අපේ රටේ බොහෝ කලාකරුවන් කලාකාරියන් එකතු වුණා. විදෙස් රටවල ඉන්න අපේ කලාකරුවන් කලාකාරියන්ද මේකෙදී අපිත් එක්ක අත්වැල් බැඳගත්තා. අද වනවිට දරුවන් විසි පහකගේ පමණ සම්පූර්ණ අධ්‍යාපන වියදම මේ අය දරනවා. සමහරු දරුවන් දෙන්නා බැගින් බාරගත්තා. මේ අතර ගෙවල් නැතිව අසරණ වුණු දරුවන් අට දෙනෙක් විතර ඉන්නවා.

ක්ලීටස් ඇතුළු පිරිස මේ අතර සිටි දරුවකු වෙනුවෙන් නිවසක් සකසා දී ඒ සඳහා මුල්ම අඩිතාලමට මුලපුරලා තියෙනවා. මේ දරුවා ගැන කතා කළොත්...?
මේ දරුවන්ගේ නිවාස ප්‍රශ්නය අපිට දැනෙද්දී ඒ වෙනුවෙන් අපේ රටේ කලාකරුවන් කලාකාරියන් එකතු වුණා. මේ ව්‍යසනය වුණු මොහොතේදීම සිනෙස්ටා පදනමේ සභාපති ජයන්ත ධර්මදාස මහතා මට කතා කරලා සියලුම විස්තර ඇහුවා. ඒ වගේම රවී අයියා (රවීන්ද්‍ර රන්දෙණිය), මාලිනී අක්කා (මාලිනී ෆොන්සේකා) ඇතුළු බොහෝ කලාකරුවන් කලාකාරියන් මට කතා කරලා මොනවද වෙන්න ඕනෙ කියලා ඇහුවා. දරුවන්ගේ ගෙවල් පිළිබඳව ප්‍රශ්නය කිව්වාම හැමෝම එකතුවෙලා පොඩි සාකච්ඡාවක් පවත්වලා දරුවකුට අංගසම්පූර්ණ නිවසක් ලබාදෙන්න අපි තීරණයකට ආවා. දිනිති නෙත්සරණි දුව අවුරුදු නවයක් වයස බෝලවලාන නිමලා මරියා මහා විද්‍යාලයේ හතර වසරේ ඉගෙන ගන්න පුංචි දුවෙක්. මේ බෝම්බ පිපිරීමෙන් දිනිති දුවගේ තාත්තගේ ජීවිතේ නැතිවුණා. තාත්තා (දිලුක් ප්‍රනාන්දු) වඩුවැඩ කළේ. දිනිති දුවගේ අම්මා (චන්ද්‍රානි ප්‍රනාන්දු) ගේ ඉස්සරහ පොල් ලෙලි ගහලා ඒ පොල් ටික විකුණලයි අද ජීවත් වෙන්නෙ. මේ නිසා දුව වෙනුවෙන් ගෙයක් හදන්න අපි හැමෝම තීරණය කළා.

ඒ වෙනුවෙන් ඔවුන්ට ඉඩමක් තිබුණද..?
දිලුක් එයාගේ බිරියයි දරුවයි එක්ක ජීවත් වුණේ කුලී ගෙදරක. ඒ වෙනුවෙන් මාසයකට රුපියල් අටදාහක් ගෙවලා තිබුණා. දිලුක් වැඩ කරපු වඩු මඩුවේ ප්‍රධාන වඩු බාසුන්නැහේගෙ පර්චස් හතක ඉඩම් කැබැල්ලකට පඩියෙන් කැපෙන විදිහට ලක්ෂ පහක් පමණ ගෙවලා තිබුණා. ඒ වෙනුවෙන් තවත් ලක්ෂ දෙකක් ගෙවන්න තිබුණා. මේ ආරංචිය ලැබුණු සැණින් අපේ හිතවත් කෙනෙක් ලක්ෂ දෙක එකපාර ගෙවලා දරුවාගේ නමට ඔප්පුව ලියලා දුන්නා. ඊට පස්සෙ තමයි අපි නිවෙස හදන්න පටන් ගත්තෙ.

නිවස හදන ආරම්භය එතරම් පහසු වුණේ නැහැ නේද..?
හරිම අමාරු වුණා. ඒක තනිකර මඩ වගුරැ බිමක්. ඒ වගුරු බිමට යන්න පාර හදාගත්තෙ බොහොම අමාරුවෙන්. මුළු පළාතම කැලෑවක්. ඒ තැනට යන්න අපි වෙනම සටනක් දෙන්න ඕන. ඒක අමාරුම අභියෝගයක් වුණා. මේ ගෙදර අත්තිවාරමට මුල්ගල තැබුවෙත් දිනිති දුවයි. එදා පියතුමන්ලා වගේම කලාකරුවන් කලාකාරියන් බොහොමයක් ආවා. හැමෝම කියපු දෙයක් තමයි දිනිති දුව අතින් මුල්ගල තියන්න කියලා. එදා ගමේ අය මේකට ආපු අයට කන්න කිරිබත් හදන්න හැදුවා. හැබැයි මේක ආරංචි වුණු ජයන්ත ධර්මදාස මහත්තයා කිව්වෙ මේක සතුටු වෙන්න කරුණක් නෙමේ. ඒ වෙනුවෙන් කිසිම දෙයක් හදන්න එපා කියලයි. එදා ආපු හැමෝටම ප්ලේන්ටියක් එක්ක හකුරු කෑල්ලක් විතරයි දුන්නෙ. ඒ දරුවා හරිම වාසනාවන්ත දරුවෙක්. අපි කරපු දේ ගොඩක් සාර්ථක වුණා. දවස් විසි පහකින් ගෙයි මූලික කොටස් හදලා ඉවර වුණා. ඒ අතර දින කිහිපයක් වර්ෂාව නිසා වැඩ නතර කළා. ඒ හැර ඉතිරි දවස්වල හැමෝම උනන්දුවෙන් වැඩ කළා. නිවස පමණක් නෙමේ. නිවස සම්පූර්ණයෙන් සාදා නිම කරලා නිවසට අවශ්‍ය බඩු භාණ්ඩ අලුතින්ම මිලදී අරගෙන දෙන්නත් අපි තීරණය කළා. ජූලි මාසේ විසි එක් වැනිදා මේ නිවස දිනිති දුවට ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා. එදිනට සිනෙස්ටා පදනමේ බොහෝ දෙනෙක් මේ නිවසට එකතු වේවි.

 

► Text - Dishani 

 

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00