හැන්දෑව ගෙවී යද්දී... කළුවර ඇවිත් ළෙන්ගතුව හිත පිරිමදිද්දී මම හැමදාම ජීවිතයේ විඳින දසුනක් තියෙනවා.. ඒ දහස් සංඛ්‍යාත සොහොන් කොත් පාමුල සදාකාලික නිරුද්ද නින්දක නිදන මිනිසුන් හා කතා කරන සොහොන් බිමක ඇති මහා ගසක ගුප්ත සෞන්දර්ය... වීදි පහන් යට සුන්දර කළුවර හොරකම් කරපු මලානික ළා එළිය මහා වැස්සකින් මුවා වෙන හැම දවසකටම මම හරි ආදරෙයි.. ජීවිතය මගෙන් ඉල්ලන නිස්කාන්සු සුවය.. සොඳුරැ හුදෙකලාව ඒ හැම රාත්‍රියකම මගේ අයිතියක්...
ආදරණීය එමා.. ඒ සොහොන් බිම මට හැමදාමත් ඔයාව මතකයේ කොතැනකට හරි අරගෙන එනවා..
එමා... කියන්නට කිසිත් නැත... අසන්නට දෙයක් මිස...
මගේ ලෝකයේ හැම තැනකම හැමදාම හිටියේ පොත් පිටු අතරේ මට මුණගැසුණු.. මාත් එක්ක කතා කරපු.. මාත් එක්ක ජීවිතේ බෙදාහදා ගත් ආදරණීයන්.. පොත් පිටු අතරේදී විතරක් නෙවෙයි ඔයාලා හුස්මක් ගත්තේ.. මගේ ලෝකයේදීත් ඒ හැම කෙනෙක්ම හුස්මක් ගත්තා... මට එමාව මුණගැස්සුවේ ගුස්ටාව් ප්ලෝබෙයර් කියන රුසියානු ලේඛකයා.. එමා බෝවාරී... මගේ සොඳුරැ මිත්‍රයෙක් දවසක් මට කීවා.. එයා දකින එමා ආදරය ගැන හැඟීමක් නැති සෙල්ලක්කාර හිතුවක්කාර ගෑනියක් විතරයි කියලා.. ඒත් මට මෙහෙම හිතුණා... උඹේ ජීවිතය.. උඹ ඉල්ලපු ජීවිතය.. උඹ හොයපු ජීවිතය.. උඹේ හදවතේ හංගගත්ත පතුල අක්ෂරයෙන් අක්ෂරය කියවන්න ආදරයේ සාක්ෂරතාවය දැන සිටි එක පිරිමියෙක් හෝ ජීවන සුවිසැරියෙදී නුඹට හමුවුණිනම්.. එමා උඹ අදටත් හුස්මක් වැටෙන ජීවිතයක් හිමි ගැහැනියක්.. එමා ආදරයත් එක්ක උණුසුම දැවටිලා මුහුවෙලා කැලතිලා ජීවිතෙත් එක්ක ඒ ආදරය කතා කරද්දී ජීවත් වෙන බව ආශ්වාස ප්‍රාශ්වාසයට විතරක් නෙවෙයි හදවතටත් ඒත්තු යනවා.
එමා... ජීවිතේ හිස්තැන් පුරවන්න ආදේශ.. විකල්ප.. නැත්නම් විසඳුම් නොසොයන ලෝකෝත්තර නොවන එක පිරිමියෙක් හෝ ගැහැනියක් හමුවුණදාක වරදට එරෙහිව පළමු ගල ගසන්න පෙළ ගැහෙන්න කියලා කියපන් උඹ උඹේ ප්‍රාණය උන්ගේ අයිතියක් කරගත්ත හැම කෙනකුටම.. එමා උඹ උඹගේ අයිතියක්.. මම මගේ අයිතියක්.. මා තුළින් ද වියුක්ත වෙච්ච මම මගේම අයිතියක්.. එතකොට මට කියපන් ඇයි උඹවත් මමවත් මේ ලෝකය වෙනුවෙන් වගවෙන්නේ.. එමා මගේ අධිකරණය මගේ හදවත.. මගේ නීතිය මගේ හෘද සාක්ෂිය...
ඉතින් එමා..
කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්...
මක්නිසාදයත් ලියද්දී මහගමසේකරට මෙහෙම හිතුණා.
අපේ කයින් ලබන මේ සතුට ගෙවී යාවි තව ටික දිනකින් සොඳුර.
ඉන්පසු ඔබේ හදවත මට විවර කර පෙන්වන් නියම ආදරයේ මුහුණුවර..
ඔව් එමා ආදරයයි, ප්‍රේමයයි කියන්නේ හැඟීම් දෙකක්... ප්‍රේමය අනුරාගයෙන් බද්ධ වී ජීවිතයත් එක්ක පොර බදිද්දී ආදරය සංයුක්ත සංකල්පයක් විදිහට ජීවිතය මහා මුදුනක තියලා ලෞකික නිර්වාණයකින් සුවපත් කරනවා...
නොඉල්ලමි කිසිවක්ම ආදරය හැරෙන්නට... එමා ඔයාට පුළුවන්ද එහෙම කියන්න.. ආදරයට විතරක් පුළුවන්ද ජීවිතයක් සුවපත් කරන්න.. ඔයා දිගු දවස් කන්දරාවක් ගන්න ඒ ප්‍රශ්නයට මට උත්තරයක් දෙන්න.. නොඉල්ලා කිසිවක්ම බොහෝ දේ දන් දෙන්න පුළුවන් මහා ගසකට විතරයි එමා... ගස බෝධිසත්ත්ව පාරමිතාවක් පුරන බෝධි සත්ත්වයෙක් වගේ.. මහා සාගරයටවත් බෑ කවදාවත් එහෙම පාරමිතාවක් පුරන්න.. මහා සාගරය බලහත්කාර සර්ව බලධාරියෙක් වගේ.. මහා කඳු මුදුන් පසුකරගෙන එන නිකැළැල් ගඟ දිය එයා එක මොහොතකින් එයාගේ සන්තකයට අරගෙන ඒ ගඟ දිය සිඳු දිය බවට පරිවර්තනය කරනවා... කාගෙන්වත් කවුරුවත් උදුරගන්න ඇයි සොබාදහම එහෙම අවසරයක් දුන්නේ.. ගඟෙන් ගඟ උදුරගන්න ඇයි මහා සමුදුරකට අයිතියක් දුන්නේ?
එමා ඇයි ලෝකයට අයිතියක්... අයිතිය තුළ කෝ ආදරයක්... අයිතිය තුළ ආදරයක් නෑ එමා.. අයිතිය තුළ තියෙන්නේ ආධිපත්‍යක් විතරයි.. සොබාදහමට උඹත් මමත් ආදරය කරන්නේ අයිතියට නෙවෙයි පංගුකාරත්වයට.. අපි දරුවන්ට ආදරය කරන්නෙත් අයිතියට නෙවෙයි එමා පංගුවේ උරුමයට.. ගුස්ටාව් උඹව මරලා දැම්මෙත් අයිතියට නෙවෙයි එමා.. භුක්තියේ අහිමිකම විසින් ඉපැද්දුව වේදනාවට.. ඒ හැඟීම වේදනාවක් නොවී උපේක්ෂාවක් වුණානම් ගුස්ටාව් උඹව මරන්නේ නෑ.. එයා මැරුවේ උඹව නෙවෙයි.. එයාගේ හදවත ගැඹුරේ කැකෑරෙමින් තිබුණු ගැහැනුන් ගැන තිබුණු කලකිරීම... ආදරයෙන් වියුක්ත ප්‍රේමය...
එමා කළුවර වැටෙන හැන්දෑවක එන්න සොහොන් බිමේ අර ආදරණීය ගහ පාමුලට... හුස්මක් නොවැටෙන යමකට ආදරය කරන තාක් ආදරය ජීවිතය සුවපත් කරනු පිණිසමය... එන්න එමා එහෙම ආදරයක් විඳින්න...එහෙම ආදරයක් ගැන කතා කරන්න
ලොව ඇත්තේ යාම් ඊම් පමණි කියලා නොරිකො සං කීවා.. වගේ වේදනාවෙන් මුරගාන්න එපා..ගියාට මොකද එමා ආයෙත් එනවනම්...
සම්මුති මරණය තුළ එකවතාවක් මැරෙන අපි ක්ෂණයක් ක්ෂණයක් පාසා මියැදෙන හැටි දකින්න එන්න එමා ජීවිතය සොහොන් කොතක් පාමුල ඉඳන් කියවන්න...
නොවැම්බරය මලවුන්ගේ මාසය හරි දුරක... ඔයා යන්න ගිය අගෝස්තුවේම දවසක එන්න ඔයා... නවත්තවපු තැන ඉඳන් කතා කරන්න හුඟක් දේවල් මගේ හදවෙත් හිරකරගෙන මම බලාගෙන ඉන්නවා... කාට කියන්නද උඹටම හැර.. අවසනක් මිස කෙළවරක් නැති ඒ මහා දිග කතාව.