2019 ජුලි 13 වන සෙනසුරාදා

ආතල් බතල් හීනේ Blast

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:31 160

අද මචෝ ඔන්න World Cup වුණ ඉවර වෙන දවස. ඉතින් සුදාලා පහුගිය කාලේ Sri Lankan Cricket Fans ඉත්තෑ සීන් එකේනේ හිටියේ. ඒ වුණාට දැන් සිහින බොඳවෙලා ආතල් කුඩුවෙලානේ කස්ටිය ඉන්නේ. ඒත් ඉතින් අන්තිම මොහොත වෙනකන් ගැලරියෙ ඉඳන් හුරේ දාපු විසිල් ගහපු අපේ උන්ට තිබ්බේ මරු මරු ආතල්. අන්න ඒ ආතල් සීන් ටිකක් තමා අද Y Trend එකෙන් ගලපන්න හැදුවේ.

අරේ බ්‍රෝ, අපි CWC19 යනකොටම හිතේ පොඩි සීන් එකක් තිබ්බා. හැබැයි එහෙම නෑ වගේ හිටියා. මෙදා පාර නම් බඩේ බඩු හම්බවෙයි වගේ හිටියේ. වෙයිද දන්නේ නෑ... එහෙම හිතුවානේ කලින්ම... හා බොරැද? හැබැයි සුදෝ වැසි දෙයියන්ගේ පූර්ණ ආශිර්වාද සහිතව එහෙන් මෙහෙන් කෑල්ලක් දෙක ගොඩ දාගෙන හම්බ චාටර් නොවී අපේ උන් කොහොම හරි ගෙදර ආවානී. හා නැද්ද? එකත් සෑහෙන්න වටිනවානී සුදාලා.
ඔන්න මචෝ  CWC19 එකේ ටීම් සිලෙක්ෂන් ගැන අපේ උන් මුල් කාලේ කීවේ මොකක්ද කියලා මතක් කරමුද? නෑ නිකන් ආතල් එකට. තේරීම් කමිටිය වැඩ පටන්ගන්න කලින් තමා අපේ ෆෑන්ස්ලා ගේමට බැහැලා හිටියේ.

අරූ ඉන්නම ඕනා....
නෑ නෑ ඌව හරියන්නේ නෑ...
මූව තමා දන්න ඕනා.....
මේක තමයි මගේ ටීම් එක.....
ඕක හරියන්නේ නෑ බොල ඕකේ අරූ නෑනී....
අනේ පල යන්න....

ඔන්න ඔහොමයි කතාබහ. බුකිය පැත්තේ අඩව් කස්තිරම් සෑහෙන්න ඇල්ලුවා කස්ටිය. ට්‍රේන් එකේ වැඩට යන ගමන්, ඔෆිස් එකේ කන ගමන්, රෑට යාලුවෝ එක්ක සෙට් වෙන ගමන්, මැසෙන්ජර් චැට් කරන ගමන්, සමහරු හැසිරුණේ සිලෙක්ෂන් කමිටි එකේ සාමාජිකත්වය තියෙනවා කියලා හිතාගෙන. අයිශම්මා ඒකේ තිබ්බ ආතල් එක.

අඩේ ස්කොඩ් එක නම්කරා කියමුකෝ බෝඩ් එකෙන්. ඔන්න ආයේ පට්ට පතුරු යනකන් කට්ටියක් බණින්න ගත්තා. සමහරු වැළපෙනවා අරයා නෑ... මෙයා නෑ... කිය කියා. දුක ශෝක සන්තාප විලාප ගොඩයි. මතකද සීන් එක. අහා.... මේ අතරේ ඔන්න මචං ඩීසන් කිරිකට් ඔස්තාර්ලා ඇවිල්ලා කිව්වා මෙන්න මෙහෙම. දැන් ඒක නම් කොරලා ඉවරයි... ඒ නිසා ඒකේ ඉන්න උන්ගේ ඔළු කන්නේ නැතුව සද්දේ වහලා සපෝට් කරපිය... කප් එක අරගෙන එන්න. ඕක සමහරු තේරුම් ගත්තා. ඒ අය වැළපෙන සීන් එක නැවැත්තුවා. ඒත් ඉතින් දෙයක් කිව්වා.. ගණන් ගන්නේ නැති ක්‍රිකට් දන්න ලොකු අයියලා වැඩ කළේ තමන්ට ඕනෑ විදිහට. කෑගහන එක ඇරෙන්න කොරන්න පුළුවන් දෙයක් නැතත් එයාලා කිරි කෑ මුත්තලානේ... ඔය ICC පටන් ගත්ත කාලේ ක්‍රිකට් ගහලා තියෙන්නේ. ඒ නිසා ඕවලට හොට දාලා හොම්බ කට තලාගන්න ඕනේ නැති නිසා අපි අයින්වෙලා පයින් ගියා පුතී.

අපිට පළවෙනි මැච් එක තිබ්බේ නිව්සීලන් එක්ක. දිනන්නේ නෑ කියලා බොක්කේ පැත්තක් කියද්දී අනික් පැත්ත කියනවා මෙහෙම කරොත් දිනයි කියලා. මේ අතර කට්ටිය තරග සඳහා කණ්ඩායම නම් කරනවා. සමහරැ ඔට්ටු අල්ලනවා... සීන් කෝන් කෝටියයි. Game එක ප්ලෑන් කරන්නේ ගෙදර, ඔෆීස් එකේ නැත්නම් පාරේ යන ගමන්. ඔන්න මැච් එක දවස ආවා පුතීලා මතකද? හුදී ජන පහන් සංවේගය ඇතිකරමින් කෑවා අපි. හැබැයි සුපුරුදු රිද්මය ආරක්ෂා කරගනිමින්....
පරදිනවා කියන්නේ වෙනම ආතල් එකක් නේ. පට්ට විචාර ඉදිරිපත් කරන එක Trend එකක් වෙන්නේ ඔන්න ඔතනදී. අරූ තමයි කෑවේ... මූ වැඩේ ඇනුවේ... අර කැච් එක ගත්තා නම් හරි... ඔන්න නෝමල් විචාර. එකේ මෙහෙමයි ඔතන තියෙන ප්‍රශ්නෙ මෙකයි..... වගේ සීන්වලින් පටන් අරගෙන බරපතළ විචාර දෙන එක වගේම ඒවා අහන් ඉන්න එකත් වෙනම ආතල් එකක්. පළවෙනි මැච් එකෙන් පටන් අරගත්තෙම මේ තත්ත්වය. මේ කාලේදී දිගටම බැනුම් අහපු ක්‍රීඩකයෝ අපට දුන්නේ අමුතු ආතල් එකක්. එයාලට බණින එකත් Trend එකක් වුණා.

වැසි දෙයියන්ගේ පැමිණීම පිළිබඳ නොකියාම බෑනේ බ්‍රෝ. එයා ඇවිල්ලා අපිට පට්ට ආදරයෙන් සැලකුවා කිව්වොත් තමයි හරි. ඒ වුණාට වළාහක ලොකු අයියා එනකොට කස්ටිය ඇඹරි ඇඹරි ඒ දවස්වල වියෝ ගීත කීවේ. ආ දැන් මතක නෑ.
දැන් ඔන්න පිට්ටනියට පායලා....

තව පැයකින් Ok....
ආයේ වහිනවා අයියෝ...
ඕවර් අඩුවෙයි...
.

වගේ සීන් සෑහෙන්න කියවුණා ඒ දවස් ටිකේ. කොහොම හරි මැච් හේදුණා. අපි බේරුණා වගේ හැඟීමක් දැන් අපිට තියෙන්නේ. ඒ මැච් දෙක කෑවා නම් අපි CWC19 එකේ 6ට එන්නේ නෑ ඉතින්. දෙක දිනයි කියලා කියන්නත් බෑ ඉතින්. ඒ නිසා දෙයියෝ දුන්න ආතල් එක ගැන අපි දෙයියන්ට පිං දෙන්න ඕනා.

අපේ කස්ටිය ඔට්ටු දැම්ම සීන් එකත් මරු. ඉස්සර වගේ නෙවෙයි ඔය ඒවම තියෙන පොට්වලට ගිහින් චිට් එකක් දාලා එක තමා කරේ. ඒක දැන් රේස් කොළේ ගානටම වැටුණු Trend එක්ක වෙලා බං. ඉල්ලන් කෑමට රුසියෝ සිරිලක් දේශයේ වැසියෝ. ඉතින් සමහර ඔට්ටු පරාදයි. වැඩේ අල. රටත් පරාදයි අල ගෝනියයි. දැන් මොනවටද කතා. දුකකි සසර.... මෙදා පාර අපි ගෙදර....

කොහොම වුණත් අපේ ක්‍රීඩකයෝ එකෙක් දෙන්නෙක් සාර්ථක වුණා මතකයිනේ. මාලිංග Trend එකක් වුණා.... ඉතින් ඒක අමුතුවෙන් කියන්න ඕනේ නෑ. අන්තිම කාලේ දුක හිතුණා මාලි යනකොට. ඉත්තෑවන්ට ඇඬුනාලු. මොනවා කරන්නද පැංචියේ දුක තමා. දිනාගන්න තිබ්බ මැච්වල මැදපෙළ ගලවගෙන වැටෙනකොට පෙරහැර යනවා වගේ කියලා තමා ගොඩක් අය කිව්වේ. හැබැයි එංගලන්තෙට එහෙම ගහපු මැච් එක නිසා ඇතිවුණ සිංහ ගර්ජනා මතකද? අපේ කස්ටියට තිබ්බේ මාර ආතල් එකක්. මොනවා වුණත් අන්තිම මොහොත වෙනකම් අපේ අය බලාපොරොත්තු අතහැරියෙ නෑ. එක කියන්න ඕනා.

අපි කොහොම අපි සෙමි ෆයිනල් යන්නේ. මොකක්ද තියෙන චාන්ස් එක. ඔන්න ඔය වගේ දේවල් ගැන අපි කතා කළේ... CWC19 කියන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා හිතාගෙන. මොකද ව්‍යවස්ථාවේ එහෙන් මෙහෙන් රිංගලා ගේමක් ගහගන්න පුළුවන් කියලා හිතාගෙනනී අපේ ලොක්කලා ඉන්නේ. අදාළ නෑ.  අන්තිමට ඉතින් සෙමි බලාපොරොත්තුවත් නැති වුණා...

ඔන්න සියල්ල අවසානයේ අපේ අය ගෙදර එනකොට ඉත්තෑ උණ ගොඩක් අයගේ සමනය වෙලා තිබ්බේ. ඒ අතරේ තාමත් බණින කරන අය තව බනිනවා. කොහොම වුණත් මේ හැමදෙයක්ම වෙන්නේ ක්‍රිකට් හින්දාම නෙවෙයි. ඒක අපේ ක්‍රීඩකයෝ වගේම සුදාලත් තේරුම් ගන්න ඕනා. අපි ආදරෙයි අපේ රටට කොච්චර කුප්ප වැඩ වුණත් මේ අපේ රට. ලෝකේ ඉස්සරහා අනික් උන් ඉස්සරහා අභිමානයක් තියාගන්න අපි කැමතියි. එකනී ඉතින් මේ තරම් දේවල් සිද්ධ වුණේ ඉත්තෑ අර්බුදය ඇතිවුණේ....

අනේ මේ ඉත්තෑව කියන්නේ අනේ ඇයි? ඒකේ තේරුම කියලා දෙන්න කෝ? වගේ ප්‍රශ්න නම් අහන්න එන්න එපා. කොටනවා ක්ෂණිකව.  ඕන නම් හොයාගන්න පැංචියෝ අපෙන් අහන්න නම් එන්න එපා.... ඔන්න මං නම් කිවේ World Cup කාලේ තිබ්බ, ආතල් වෙච්ච සීන් ගැන, මොකද මගේ පැංචෝ ඊයේ පෙරේදා මගේ තේරීම් කමිටු සාමාජිකත්වය අහෝසි කළානේ... දුක තමා සමනළියේ.... අදට ඇති නේ.....
 

► Text - Nisal   /   Pic – Fb