2019 ජුලි 20 වන සෙනසුරාදා

සම්මානය මගේ ප්‍රංශ හීනයේ බෝනස් එකක්

2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:3051

කුමාර... පසුගියදා දිනක ඔබට ජාත්‍යන්තර සම්මානයක් ලැබුණා.. මුලින්ම දේශය “හදසර අපේ සුභ පැතුම්..?
බොහෝම ස්තූතියි... මම හත්වැනි nice international film festival පැවැත් වුණා.. ඒකෙදී හොඳම ඇඳුම් නිර්මාණ (best costume) වෙනුවෙන් මට “පාංශු චිත්‍රපටය වෙනුවෙන් සම්මානය හිමිවුණා. ඒ සම්මාන උළෙල පැවැත්වුණේ ප්‍රංශයේයි.

ඒ අවස්ථාවට ලංකාවෙන් සහභාගී වුණේ කුමාර විතරයි.. එහෙම නේද..?
ඔව්... ඒ සම්මාන උළෙලට මාව වගේම පාංශු චිත්‍රපටයේ අධ්‍යක්ෂක විසාකේසත්, පාංශු චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් නීටා ප්‍රනාන්දුත් නිර්දේශ වෙලා තිබුණා. මැයි මාසේ දහඅට වැනිදා තමයි සම්මාන උළෙල පැවැත්වුණේ. නිර්දේශ වෙලා තිබුණත් විවිධ වැඩකටයුතු නිසා විසාකේසටවත්, නීටා ප්‍රනාන්දුටවත් ඒකට සහභාගී වෙන්න බැරි වුණා. අවසානයේදී උළෙලට ලංකාවෙන් සහභාගී වුණේ මම විතරයි. ඇත්තටම සිනමා උළෙලක් වුණාට ඒක “සම්මාන රාත්‍රියක් වුණා. විශාල ශාලාවක රාත්‍රි භෝජන සංග්‍රහයක් එක්කම තමයි ඒ සම්මාන උළෙල පැවැත්වූවේ. ලංකාවෙන් මම විතරක් සහභාගී වුණු නිසා ජපන් ජාතිකයින් හිටපු මේසයක තමයි මමත් අසුන්ගෙන හිටියේ. ඒ අය හරිම සුහඳශීලී වුණා. ලංකාවෙන් මම පමණක් නියෝජනය වුණාට ලංකාවෙන් නොලැබුණු හොඳ ප්‍රසංසාවක් ඒ සම්මාන උළෙලේදී අපේ නම් කියද්දී මට ඒ අයගෙන් ලැබුණා... 

“පාංශු කියලා කියද්දී මට නැගිටගන්නවත් කල්පනාව තිබුණේ නැහැ. ඒ රටේදී ඒ සම්මාන උළෙලේදී මම තනිවුණා වගේ දැනුණා. නමුත් එක මොහොතකදී මම ළඟම හිටපු ජපන් ජාතිකයින් මාව දිරිමත් කළා. මට සම්මානය ලබාගන්න මාව දිරිමත් කළේ ඔවුනුයි. මම සම්මාන දෙකම අරගෙන ලංකාවට එද්දී කවුරුවත් ගුවන් තොටුපළටවත් ඇවිත් හිටියේ නැහැ. සම්මාන උළෙල පහුවදාම විසා අයියා මට දුරකතන ඇමතුමකින් සුභ පැතුවා. විසා අයියා තමයි මට ඊමේල් යවලා යන්න අවස්ථාව හදලා දුන්නේ. ඇත්තටම මට සම්මානය දිනාගන්න තියෙන හීනයටත් වඩා ප්‍රංශය බලන්න යන හීනයක් තිබුණා. ඒ නිසාමයි මම ප්‍රංශය බලන්න ඒ රටට ගියේ. ඇත්තටම මේ සම්මානය මට ඒ ගිය ගමනෙන් ලැබුණ බෝනස් එකක්.   

මේ දිනවල කුමාර නියැලිලා ඉන්න නිර්මාණ මොනවාද?
බෙනට් රත්නායක මහතාගේ “කවුරුත් දන්නැහැ කියන චිත්‍රපටයේ මම ඇඳුම් නිර්මාණය කළා. ප්‍රංශයට යාමට පෙර අපි ඒ ගැන සාකච්ඡා කරලා ගිහින් ඇවිත් රූගත කිරීම් කරලා පසුගිය සතියේ වැඩ අවසන් කළා. 

ඔබේ පෞද්ගලික ජීවිතේ විස්තර ටිකක් කිව්වොත්?
මම විවාහකයි.. මගේ බිරිඳ චමිලා රාජපතිරණ. මම ඉපදුණේ කහවත්තේ. හැබැයි මම හැදුණේ වැඩුණේ මගේ ළමා කාලය ගෙවුණේ අකුරැස්සේ. පොඩි කාලේ ඉඳන් මම හැඳුණේ මගේ පුංචි අම්මත් එක්කයි. ඉස්කෝලේ හතේ පන්තියේ ඉඳන්ම මම චිත්‍රකතා බැලුවා. ෆිල්ම් බැලුවා. සමහරදාට ඉස්කෝලෙන් හොරෙන් ගිහින් ෆිල්ම් බලපු දවස් තිබුණා. ඉස්සර චිත්‍රපට කෑලි කැපුහවම විසිකරන රීල් කෑලි ගෙනල්ලා එකතු කරගෙන ඒවායින් ෆිල්ම් බැලුවා. ඒතරමටම මම ෆිල්ම් පිස්සෙක්. ඒකාලේ ගැලරියේ ෆිල්ම් එකක් බලන්න යන්නේ සත පනස්පහයි. බස් ටිකට් එක සත දහයයි. මට තාම මතකයි මම හරිම ආසාවෙන් බලපු ෆිල්ම් එක තමයි “නිධානය.

විසාකේස අධ්‍යක්ෂණය කළ “පාංශු චිත්‍රපටයට කුමාරට ආරාධනා ලැබුණේ කොහොමද?
දිමුතු කාලිංග තමයි පාංශු චිත්‍රපටයේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා වුණේ. ඔහු තමයි කලා අධ්‍යක්ෂණ සහ ඇඳුම් නිර්මාණය වෙනුවෙන් විසාකේසට මාව යෝජනා කරලා තිබුණේ. ඊට පස්සේ මම විසා අයියා එක්ක පාංශු චිත්‍රපටයේ වැඩ කළා. 1990 දී තමයි මම මුලින්ම කලාවට සම්බන්ධ වුණේ. ඒ සුමිත්‍රා පීරිස් මහත්මියගේ “ගොළුහදවත ටෙලිනාට්‍යයේ තමයි මම මුලින්ම වැඩ කළේ. ඊට පස්සේ මම බූඩී කීර්තිසේනගේ “සිහින දේශයෙන් චිත්‍රපටයෙන් මුලින්ම සහය ඇඳුම් නිර්මාණ ශිල්පියා ලෙසින් සහභාගී වුණා. බූඩීගේ ඊළඟ චිත්‍රපටය වුණු “මිල්ල සොයා චිත්‍රපටයේ ප්‍රධාන ඇඳුම් නිර්මාණ ශිල්පියා විදිහට වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ ආපු ගමන තමයි තාමත් මේ ගමන් කරන්නේ.

මේ ක්ෂේත්‍රයට එන්න කුමාරගේ හිත යොමුවෙන්නේ කොයි කාලේදීද?
පොඩි කාලේ ඉඳන්ම මම චිත්‍රපට බැලුවා. ඒ නිසා මේ ක්ෂේත්‍රයට එන්න ආසාවක් ඇති වුණා. ඒ ආසාව අවසානයේදී මට ඉෂ්ඨ කරගන්න පුළුවන් වුණා. නිර්මාණයක් ගත්තොත් මම මුලින්ම පිටපත කියවලා ඒ පිටපතේ සඳහන් කාලය අනුව තමයි චරිතවල ඇඳුම් නිර්මාණ කරන්න උත්සහ ගන්නේ. ඉල්ලන චරිතවලට ගැලපෙන විදිහට මම ඇඳුම් නිර්මාණ කරනවා. මේ “පාංශු චිත්‍රපටයේදීත් මට මනෝජ්, දිමුතු, වජිර, සංජීව, චින්තක යන අයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ පස්දෙනාටත් මම ස්තූති කරන්නම ඕනේ. 

 

► Text - Dishani  /   Pic - Internet