2019 ජුලි 20 වන සෙනසුරාදා

අදත් අපේ ගෑනු නන්දා වින්ද දුක් විඳිනවා...

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:31 180

Art එකේ කැරට්ටුව..

හඬ: අනුල ද සිල්වා

අපි හිටියේ ඇයගේ ගෙදර දොරකඩ... නිහඬ නිසංසල පරිසරයක්... නිර්මාණයක සමවැදිලා කල්පනා ලෝකයක තනිවෙන්න කියාපු තැන....
ආයුබෝවන්... සුන්දර හිනාවකින් ඇය අපිව පිළිගත්තා...

හරි මම ඇය ගැන මෙහෙම කියන්නම්කො...
ඕනම දෙයක් දිහා ප්‍රායෝගිකව යථාර්ථවාදීව, වෙනස් විදියකට දකින්න අහන්න ලියන්න ගොඩක් කැමති ඇය අපේ රටේ ඉන්න ප්‍රවීන සම්මානනීය ලේඛිකාවක්... ගල්වරුසා, මායාබන්ධන, අවසන් ලියුම, අහසට පෙම්බැඳ, පාරා වළල්ල, මාතුබී මමයි... මේ ඇය රහට ලියපු පොත්වලින් කීපයක් විතරයි...  විශේෂයෙන්ම ඇය ප්‍රවීණ මාධ්‍යවේදිනියක්...

නම කියූ සැණින් කවුරැත් දන්න.. අනුල ද සිල්වා... ඇය තමයි අද අපේ කැරුට්ටුව.. ඇය විඳපු නිර්මාණයක් ගැන මොහොතක් කතාකරන්න හිතුවා...
මේ දවස්වල ඇගේ තොරතුරු අහන ගමන්ම මම පුටුවෙන් වාඩිවුණා...
නිර්මාණ ජීවිතය ගත්තාම පොත්  කිහිපයක් මේ දවස්වල ලියාගෙන යනවා...  සාමාන්‍ය ජීවිතය සාමාන්‍ය විදියට සැහැල්ලුවෙන් ඉන්නවා... ඕවා තමයි ඉතින්... 
එහෙම තමයි ඇගේ ජීවිතය මේ දවස්වල ගෙවෙන්නේ...

අපි එහෙනම් පටන් ගමුද? හා කියන්නාක් මෙන් ඇයගේ මුවගේ සිනහාරැල්ලක්..
අනුල ද සිල්වාගේ ජීවිතයට සමීප වුණු, පේනවාට වඩා වැඩි දෙයක් හිතට කාවද්දපු,  ජීවිතේ යථාර්ථවාදී නිර්මාණයක් ගැන පොඩ්ඩක් කතා කරමුද?  වෙනදා වගේම තමා.. ඒක ගීතයක් වෙන්නත් බෑ ඔබගේ නිර්මාණයක් නම් කොහොමත් බෑ....
මෙහෙමයි... එක නිර්මාණයක් කියන්න කිව්වාම... එකක් තෝරගන්න ටිකක් විතර අපහසුයි.. මොකද අවස්ථාව ලැබෙන හැමවෙලාවෙම වගේ මම නිර්මාණ ගොඩක් ඇසුරු කරන කෙනෙක්... දැනට සිංහල පොත් දාහකට වඩා කියවලා තිබුණත්... මගේ මතකයෙන් ඈත් නොවන කෘතියක් තමයි මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ ගම්පෙරළිය කියන පොත... මගේ මතකයේ හැටියට 1944 තමයි මුලින්ම පාඨකයාගේ අතට පත්වුණේ... දැනට මේ පොතට අවුරැදු 75කට ආසන්න වුණත් පෙරදිග සංස්කෘතියත් එකක් බලනකොට ගම්පෙරළිය සර්වකාලීන කෘතියක්. එහෙම කියන්න හේතුව තමයි ගම්පෙරළිය තාමත් වෙන දෙයක්... යම් යම් කරුණු කාරණා සුළු වශයෙන් වෙනස් වුණත් ආර්ථික, සමාජයීය, සංස්කෘතික වශයෙන් ගමේ පෙරළිය තාමත් සිද්ධ වෙමින් පවතිනවා.  

ඔබට ලොකු හේතුවක් ඇති නේද මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය කියන කෘතියම විශේෂයෙන් තෝරගන්න....
විශේෂයෙන් ගම්පෙරළිය කෘතිය මට ගොඩක් සමීපවෙන්න හේතුව කීපයක් තියෙනවා... එකක් තමයි මම මේ කෘතිය ගැන විශේෂ අධ්‍යනයක් කරපු කෙනෙක්... මොකද මම ශ්‍රාස්ත්‍රපති උපාධියේ නිබන්ධයට තෝරගත්තේ ගම්පෙරළිය කෘතිය. නමුත් මට ඒ රිසර්ච් එක සම්පූර්ණයෙන් ඉවරකරගන්න බැරි වුණත්, මට කටපාඩමෙන් මේ කෘතිය මතකයි. අනිත් කාරණාව තමයි මම ජීවත්වුණු ආර්ථික වටපිටාවයි, ගම්පෙරළිය කෘතියේ ආර්ථික වටාපිටාවයි දෙකම එකයි.... මගේ දෙමව්පියන්, පරිසර වටපිටාව, ගම් ප්‍රදේශය ගත්තත් මට ගොඩක් ළඟයි. අනිත් කාරණාව තමයි මේ කෘතියෙන් කියවෙන කතාව සහ මේ චරිත අපි අවට පරිසරයේ ඉන්න අයමයි... වික්‍රමසිංහ මහත්තයා මේ කෘතියට දේශපාලනය සම්බන්ධ කරගත්තෙ නෑ... අද අපේ සමාජය ගැන යම් කිසිදෙයක් කතා කළොත් දේශපාලනයෙන් තොරව අපට ඒ ගැන කතා කරන්න බෑනෙ... නමුත් එදා එහෙම තිබුණේ නෑ... අන්න ඒක නිසා මම මේ කෘතියට ගොඩක්ම ප්‍රියකරනවා.  

මේ නිර්මාණය රසවිඳිද්දී ඔබේ හදවතේ තැන්පත් වෙච්ච චරිතයක් ඇති නේද..?
ඔව්.. මම කැමතිම චරිතය නන්දාගේ චරිතය. නන්දා කියන්නෙ සෑහෙන පෙරළිවලට හසුවෙන ගැහැනියක්... ආදරයෙන් බැටකාලා, දෙමව්පියන්ගේ කැමැත්තෙන් විවාහවෙලා, ආර්ථික අපහසුකම්වලට මුහුණදෙන කෙනෙක්... නන්දා තුළ තිබුණ සමාජමය සංස්කෘතිකමය හරපද්ධතිය මම අගය කරනවා. අන්තිමේදී නන්දා සියල්ලෙන්ම ජයග්‍රහණය කරනවා...

ඔබ කම්පනය කරපු අවස්ථා මේ පොත පුරා ගොඩක් ඇති නේද... එකක් දෙකක් මතක් කරමුද?
ඔව්.. එහෙම තැනක් තියෙනවා... ජිනදාස ගමෙන් පිටවෙලා යනවා රස්සාවක් හොයාගෙන... දරිද්‍රතාව නිසා ජිනදාස විවාහවෙනවා.. නන්දත් පියල් එකක් විවාහ වෙනවා..  කාලෙකට පස්සේ නන්දාට ආරංචිවෙනවා ජිනදාස මැරිලා කියලා නන්දා සෑහෙන්න කම්පාවෙනවා... නමුත් ඒ ආදරය නිසා නෙමේ... සංස්කෘතික බැම්ම නිසා.. නන්දා යනවා මරණයට... අවසානයේ පියල්ගෙ සල්ලිවලින් තමයි ජිනදාසගේ මරණෙ අවසන් කටයුතු කරන්නෙ... ඒක පියල් නන්දාට කියනවා.. අන්තිමට මරණෙ වැඩකටයුතු කරෙත් මගේ සල්ලිවලින් කියලා... මේ පොතේ ප්‍රධානම තේමාව තියෙන්නෙ එතන කියලයි මගේ හැඟීම... නමුත් එතන වික්‍රමසිංහ මහත්තයා ලොකුවට විස්තර කරන්න උත්සාහ නොකළත් පාඨකයාට ඒ හැඟීම දැනෙන්න ඉඩඇරලා තිබුණා... ගමේ තිබුණු ආර්ථික මට්ටමෙන් ඉහළ පවුල් ධනවාදී සමාජයට බිලිවෙන විදිය තමයි වික්‍රමසිංහ මහත්තයා එතනින් ඒත්තු ගන්වන්න උත්සාහ කරන්නෙ.  

මෙච්චර ලස්සන පොතක් ඔබට  හම්බවෙන්නෙ අහම්බෙන් වෙන්න බෑ නේද?
මෙහෙමයි... ඒ කාලේ ගොඩාක් පොත් තිබුණේ නෑ.. අපිට කියවන්න...  ගුණදාස අමරසේකර, මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක වගේ අයගේ පොත් තමයි තිබුණේ.. අනිත් එක ඩබ්ලිව්.ඒ. සිල්වා මහත්තයාගේ පොත් තිබුණත් ටිකක් ඒවා බරසාර වැඩියි... නමුත් මම ඒවා කියෙව්වා... මම ඒ ලෙවල් කරනකොට මගේ මතකයේ හැටියට ගම්පෙරළිය නිර්දේශවෙලා තිබුණා කියවන්න කියලා... ඒ නිසා මම තාත්තාගෙන් සල්ලි ඉල්ලගෙන අරගෙන කියවපු පොතක් තමයි ගම්පෙරළිය. 

ගම්පෙරළිය ඔබ කී වතාවක්  දැනට කියවලා තියෙනවාද...?
මම මේ පොත දෙතුන් වතාවක් දැනට කියවලා තියෙනවා.... 

මේ නිර්මාණය පරිශීලය තුළින් ඔබතුමිය ලබාගත්ත දෙය මොන වගේද?
ඇත්තටම... ඕනෙම හොඳ නිර්මාණයකින් අපි බලාපොරොත්තු වෙන්නෙ ආනන්දයෙන් ප්‍රඥාවට ගමන් කිරීමනෙ... නිර්මාණයක් උඩින් පල්ලෙන් කියවලා තේරුම් ගන්න අමාරැයි.. හොඳට ඒ කෘතිය අධ්‍යනය කරන්න ඕනෙ... මොකද ආනන්දය නැත්නම් සතුට විතරක් ලබන්න නිර්මාණයක් රසවිඳීම තෙරුමක් නෑ කියලයි මගේ හැඟීම... ජීවිතය ගෙවෙන විදියට, ප්‍රශ්නවලට මුහුණ දෙනකොට මිනිස්සු ආත්ම ශක්තිය හරිම තාත්ත්වික විදියට ඉදිරිපත් කිරීම නිසා ඒ ප්‍රශ්න ඒ විදියටම අපිට මුණනොගැසුණත්, යම් යම් අවස්ථාවලදී ඒ දේවල් ප්‍රයෝජනයට ගන්න පුළුවන්...  කොහොමත් මම මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාට ගොඩක් කැමතියි... එයා ලියපු දේවල්වලට ගොඩක් ආසකරන කෙනෙක්... විරාගයට හැරෙන්න. විරාගයට මම කැමති නෑ... පරාජිත චරිතයක් ඉස්මතු කරපු නිසා... අනික මම ලියන පොත්වලින් පවා යම් කිසි පණිවිඩයක් දෙන්න හැම වෙලේම උත්සාහ කරනවා...

මේ නිර්මාණය කියවා අවසානයේ ඔබට මොනවගේ දෙයක්ද හිතුණේ..? ඒ හැඟීම වචනවලට පෙරළමුද?
මේ පොත අවසානයේ මට හිතුණේ.. නන්දා කොච්චර සාර්ථක චරිතයක් වුණත් ආර්ථික වශයෙන් පොඩ්ඩක් පැරදුණාද කියලා හිතුණා... මොකද නන්දා පියල්ගෙන් ජීවත්වෙන නිසා ආර්ථික අතින් දුර්වලයි... කොච්චර උදාර චරිත වුණත් මුදල්මය වශයෙන් අදත් අපේ ගෑනු දුක් විඳනවා... රස්සාවක් තිබුණා නම් එහෙම වෙන එකක් නෑ නේද කියන හැඟීම මට ආවා... 
ඇය කතාවට තිත තිබ්බේ එහෙමයි...

 

► Text - Danushka Wijesiri   /   Pic - Internet