2019 ජුලි 27 වන සෙනසුරාදා

මොනවද වෙන්න ඕන?

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 55

කලාවට සම්බන්ධ කෙනකුට තියෙනවලු පොඩි ත්‍රීවිල් කට්ටක්. වැඩක් පලක් නැති වෙලාවට මේ ත්‍රීවිල් එක එළවනවා.
මෙන්න දවසක් පිළියන්දල පැත්තේ හයර් එකක් ගිහින් එනගමන් පොඩි පාරක මෙයාගෙ ත්‍රීවිල් එකට බළලෙක් අහුවෙලා. සද්දෙට අවට හිටිය මිනිස්සුත් එළියට ඇවිත් මෙයාට බනිනවලු.

මිනිහට මාර ලජ්ජයිලු. ඒ සෙනඟ අතර හිටියලු බළලගෙ අයිතිකාර ගෑනු කෙනා.
මම ඕනකමින් කරපු දෙයක් නෙවෙයි මේක. මට සමාවෙන්න. මගෙන් මොනවද වෙන්න ඕනෙ කියන්නකො. ඕන දෙයක් කරන්නම් ඔහු කිව්වලු.

මොනවා කරන්නද ඉතින්. රෑට ඇවිත් අපේ කුස්සියේ මීයො ටික අල්ලන්න තමයි තියෙන්නේ. අයිතිකාර ගෑනු කෙනා කිව්වලු.

 

පොත් පෙරළන පයිලට්

සල්ලි තියෙනවනම් මොනවද කරන්න බැරි? ඔය වගේ සල්ලි තියෙන යාළුවෙක් එයාගෙම ගුවන් යානයක් මිලදී ගත්තලු. ලොකු එකක් නෙවෙයි. පයිලට්ලා දෙන්නෙක් එක්ක මේකෙ අටදෙනකුට යන්න පුළුවන්ලු.

ඔන්න දැන් මිනිහා අලුතින් පයිලට්ලා දෙන්නෙකුත් බඳවාගත්තලු. දැන් අලුත් ප්ලේන් එකේ මංගල ගමන යන්න මේ යාළුවා එයාගෙ හොඳම යාළුවෝ පස්දෙනකුට ආරාධනා කරලා. කොළඹින් යාපනයට ගිහින් ආපහු එන්න. 
ගමන පිටත් වුණාලු කට්ටිය. යන ගමන සතුටින් විනෝදෙන් ගියාලු. නමුත් එන ගමනෙදී මගක් හරියෙ ප්ලේන් එක ඒ මේ අත පැද්දෙන්න පටන්ගත්තලු. කට්ටිය හොඳටම බය වෙලා.
අයිතිකාර යාළුවා එයාගේ ළඟම හිටිය යාළුවට රහසින් කිව්වලු පයිලට්ලා දෙන්නා මොනවද කරන්නේ කියලා බලන්න කියලා.

එක්කෙනෙක් ප්ලේන් ඒකේ මැනුවල් උපදෙස් පොත පෙරල පෙරලා බලනවා ටෝර්ච් එකත් ගහගෙන
මොනවා..? ඒ දෙන්නා තාම ප්ලේන් එලවන හැටි ඉගෙන ගන්නවද? අපිට ඉතින් පිරිත් පොත් ටිකක් දැන් ඕන වෙන්නේ ඔහු කිව්වලු.

 

පොඩි තැනින් උඩට ආවේ

ඔහු චිත්‍රපටවල පොඩි පොඩි කෑලි හොයාගෙන රඟපාන කෙනෙක්. කරගෙන හිටිය රස්සාවත් නැති කරගත්තේ මේ ඇක්ටිං පිස්සුව හින්දා. ඒ වුණාට කට්ටිය එක්ක සෙට් වුණාම මෙයා දෙන්නෙ ධර්ම කතාලු.
ළඟදිත් තරුණ කට්ටියක් එක්ක මෙයා සෙට් වෙලා මාර පම්පෝරියක් ගහනවලු.

මම පොඩි තැනින් පටන් අරගෙන ඉහළට ආපු නළුවෙක්. එහෙම වුණේ මගේ කැපවීම නිසා.
තරුණ කොල්ලො ටික කට ඇරගෙන මෙයාගෙ කතා අහගෙන ඉන්නවලු.

මම මුලින්ම රඟපෑවේ ටෙලි නාට්‍යයක සෙරප්පු අලුත්වැඩියා කරන මිනිහෙකුගේ චරිතයක්. ඊටපස්සේ මම විවිධ චරිත කළා. ඊයේ පෙරේදා මට කතා කළා චිත්‍රපටයක රඟපාන්න. ඒකෙ මට තියෙන්නේ පොල් ගස් නගින මිනිහෙකුගේ චරිතයක්. ඉතින් බලන්න මම පොඩි තැනින් පටන් අරන් ඉහළට ආපු ගමන.
 

► Text - Mithra