සිහින පුපුරා ගිය නියාමය
හඬන්නටවත් තව ඉඩක් නැත
පාළු සොහොනක නටඹුන් වන
ආදරණීය මතකයන් අරගෙන
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය පාදක කරගෙන තීක්ෂණ ඇතුළු කිහිපදෙනෙක් එකතුවෙලා ගීතයක් නිර්මාණය කරලා තියෙනවා..?
ඔව්.. මේ ගීතය අපි නම් කළේ “සිහින පුපුරා කියලයි. මේ ගීතය නිර්මාණය වුණෙත් හරිම අහම්බෙන්. පාස්කු ඉරිදා සිදුවුණු බෝම්බ ප්‍රහාරයෙන් පසුව මුළු රටම ගොඩාක් කලකිරුණා. ඒ අතරේ ගයත්‍රි අක්කා (ගයාත්‍රි ඩයස්) එයාගේ Face Book එකේ “හඬා වැලපෙන බලාපොරොත්තුව* කියලා පොඩි නිසදැසක් දාලා තිබුණා. ගයත්‍රි අක්කට කෝල් කරලා “අක්කේ මම මේ වචන ටික සින්දුවකට හරවන්නද කියලා ඇහුවා. අක්කත් ඒකට කැමති වුණා. ඊට පස්සේ අක්කා සින්දුවකට අවශ්‍ය විදිහට වචන ටික ලියලා මට එව්වා.
මේ ගීතය ගායනා කරන්න කිහිපදෙනෙක්ම එකතුවෙලා ඉන්නවා. ඒකටත් විශේෂත්වයක් තියෙනවාද..?
ඔව්.. ගීතයට සරිලන වචන ටික ගයත්‍රි අක්කා මට දුන්නට පස්සේ මම ඒකට සංගීතය හැදුවා. හැබැයි ඒ ගීතය තනියම ගායනා කරන්න මම එච්චර කැමති වුණේ නැහැ. හැම ආගමකම කට්ටියක් එකතු කරගෙන ගීතය ගායනා කරන්න මට ඕන වුණා. මගේ ස්ටූඩියෝ එකේ වැඩ කරන්නේ මුස්ලිම් මල්ලි කෙනෙක්. ඒ නිසා මම මේකට මුස්ලිම් ජාතික රිසී අහමඩ් වගේම ශාන් හසීම්වත් එකතු කරගත්තා. ඒ වගේම කතෝලික භක්තිකයෙක් විදිහට ශනුද්‍රි ප්‍රියසාද්ව එකතු කරගත්තා. ඒවගේම චිලී, රොමේෂ්, මමත් මේකට සම්බන්ධ වුණා. ඒ විදිහට පස්දෙනෙක් එකතුවෙලා තමයි “සිහින පුපුරා ගීතය නිර්මාණය වුණේ.
ගීතයට වීඩියෝවක් කරන්න හිතුණේ ඒ මුල් කාලේදීම ද?
නැහැ. මුලින්ම අපි Audio එකක් විතරයි කරන්න හිතුණේ. ප්‍රසාද් කළුපහන තමයි වීඩියෝ එකක් කරමු කියලා අපිට යෝජනා කළේ. වීඩියෝ එක ශ්‍රිනික කියන මල්ලී තමයි කළේ. හරිම උනන්දුවෙන් ඒ හැමෝම එකතුවෙලා මේ වීඩියෝ එක කළා.
ප්‍රහාරයට මාස තුන පිරෙනදාම මේක දකින්න ඉඩ ලබාදුන්නේ කාගේ යෝජනාවකින්ද?
අපි මේ වීඩියෝ එක කරලා දැන් ටික කාලයක් වෙනවා. අපිට දැනිච්චි හැඟීම් අපි ගීතයකින් ඉදිරිපත් කළා. එහෙම නැතිව ලොකු ප්‍රතිචාරයක් අපි බලාපොරොත්තු වුණේ නැහැ. දැන් මේ ගීතය ප්‍රචාරය වෙලා දවස් කිහිපයක්. අපේ ආදර ගීතවලට තරම් ලොකු ප්‍රතිචාරයක් නැතත් බොහෝ දෙනා මේක මේ වනවිටත් බලලා තිබෙනවා. අහපු, දැකපු අයගෙන් අපිට හොඳ ප්‍රතිචාර තියෙනවා. මේ ගීතය ගැන කියලා “අපි මෙහෙම එකක් කරමුද කියලා කියද්දී හැමෝම වැඩේට දෙවරක් නොසිතා සම්බන්ධ වුණා. උපරිමයෙන්ම සහයෝගය ලබලා දුන්නා. ගීතය කරලා ඉවරවුණත් මාස තුන පිරෙන දවස් එනකන් අපි පොඩ්ඩක් හිටියා. මේ ගීතය අපි කළේ මුල්ම දවස්වලයි වීඩියෝ එක ෂූට් කරන්න ගිය මුල් දවස්වල ඇඳිරි නීතිය තිබුණු නිසා ඒකත් පොඩ්ඩක් කරගන්න බැරි තත්ත්වයක් ඇතිවුණා. ඒ හින්දා තමයි අපි මේ විදිහට මාස තුනක් ගෙවෙන මොහොතේ මේ ගීතය ප්‍රචාරය කිරීම ඇරඹුවේ.
තීක්ෂණ එහෙම කියද්දී ගීතය පද රචනා කළ ගයත්‍රි එක්කත් පොඩ්ඩක් කතා නොකළොත් ඒක ටිකක් අඩුවක් වේවිනේ. ගයත්‍රි කියන්නේ රංගන ශිල්පිනියක් වගේම රෑපලාවන්‍ය ශිල්පිනියක්. “සිසින පුපුරා ගීතයෙන් ඇය ගීත රචිකාවියක් වෙලා..
ගයත්‍රි.. “සිහින පුපුරා ගීතයේ පද රචනාව ඔබේයි.. මේ පද රචනාව සිදුවුණේ පාස්කු ඉරිදාවේ සිදුවූ ව්‍යාසනයත් එක්කයි..? එහෙම නේද..?
ඔව්.. මගේ හිතට මොනවා හරි සංවේදී සිදුවීමක් දැනුනාම මම ඒ ගැන පොඩි සටහනක් කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒවගේම ලියපු බොහෝ දේවල් මම ළඟ තියෙනවා. තීක්ෂණ කියන්නේත් මම ලියන එවැනි දෑ බොහෝ වෙලාවට අගය කරන මල්ලී කෙනෙක්. ඔහු මම ලියන දේවලට කැමතියි. පාස්කු ඉරිදා ඔය අවාසනාවන්ත අමිහිරි සිදුවීම වෙච්චි දවසේ මගේ හිත ගොඩාක් කම්පනය වුණා. ඒ සිදුවීමෙන් මම දන්න කියන අය නැති වුණා. මේ රටේ අහිංසක මිනිස්සු බොහෝමයක් නැති වුණා. ඒ නිසා මගේ හිතට ආපු වචන කිහිපයක් එදාම මම මගේ Face Bookඑකේ දැම්මා. දවසක් තීක්ෂණ මට කෝල් කරලා “අක්කා මේ සිදුවීමෙන් මාත් හරිම අවුලෙන් ඉන්නේ. මේ ලියපු වචන ටික හරිම සංවේදියි. අක්කට ඒ ගැන ලියලා මට දෙන්න පුළුවන්ද.. කියලා ඇහුවා ඊට පස්සේ තමයි මම ලියපු මේ වචන ටික ගීතයක් බවට පත්වුණේ.
ගීතය අද ගයත්‍රිට ඇහෙද්දී මොකද හිතෙන්නේ..?
තීක්ෂණ ඇතුළු ඒ පිරිස හරිම සංවේදීව මේ ගීතය ගායනා කරනවා. මම මුලින් හිතුවේ තීක්ෂණ විතරක් මේ ගීතය ගායනා කරනවා කියලයි. නමුත් ශනුද්‍රි, චිලී, රොමේෂ් ඇතුළු පස්දෙනෙක් එකතුවෙලා හරිම සංවේදීව මේ ගීතය ගායනා කරනවා. හිතට දැනෙන සංවේදී සිදුවීම් ලියන්න කියලා මගේ හිත මට හැමවෙලේම කියනවා. ඒ වගේ ලියවුණු පුංචි සටහනකින් මේ වගේ ගීතයක් නිර්මාණය වේවී කියල නම් මම හිතුවේ නැහැ.
අවසන් සැඳෑවයි ඔබ මා හමුවන
අවසන් කතාවයි කඳුළින් තෙත් වුණ
අවසන් කරන්නට හැදුවත් හිත වැළපෙන
කොහොමද හිතන්නට ගිය හැටි සමුගෙන
► Text - Dishani / Pic - Internet