2019 ජුලි 27 වන සෙනසුරාදා

No ජෝක් ආතල් පරිස්සමින්

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 319

කාලේ තාලයකට Y Trend අරගෙන ඔන්න අපි ආවා මූණු නාළු කරගෙන. Face App නිසා හිටිහැටියේ වයසට ගිය අපේ සුදාලා ඔක්කොමට අපගේ බලවත් ශෝකය... ඉතින් මචෝ පහුගිය දවස්වල කට්ටියම හැට පන්නගෙන හොට බිම ඇණගත්තු සීන්කෝන් එක ගැන තමා වදන් ගලපන්න යන්නේ. අපේ සිරිලංකාවේත් වැඩේ සැරටම නැගලා ගියා. ඒ වුණාට මේක World Trend එකක්.

පසුගිය කාලේ ලෝකෙම Social Media ඇතුළේ නිකං සුළි කුණාටුවක් වගේ තමයි Face App රැල්ල පටන් ගත්තේ. තමන්ගේ වගේම යාළුවන්ගේ, ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ Photos වලට Face App හරහා වයසට යවන්න අපේ සමාජ ජාලිකයෝ කටයුතු කළා. මේක අපි ඔය කලින් දවසක කතාකරපු Challenge Model එකේ Trend එකක් මචෝ. agechallenge faceappchallenge වගේ හෑෂ් ටැග්වලින් තමයි Challenge එක පටන් ගත්තේ. 

ඔන්න ලාවට ලාවට අපේ බ්‍රෝලා සිස්ලාත් line එකේ හිටිය කියලා අපි දන්නවා. Facebook, Instagram විතරක් නෙවෙයි Twitter ඇතුළේත් වැඩේ නැගලා ගියා දන්නවනේ. මෙහේ අපේ ප්‍රාන්තේ නම් Challenge එක්ක විදිහට නෙවෙයි සීන්එක Hit වුණේ ආතල් එකක් විදිහට. අපි ආතල් ගැන ගලපන්න කලින් මොකක්ද මේ Face App කියන්නේ කියලා search පාරක දාල බලමුකෝ.

2017 ජනවාරි මාසේ තමා Face App එළියට ආවේ. මේක IOS වගේම Android මෙහෙයුම් පද්ධතිවල භාවිතා කරන්න පුළුවන් යෙදවුමක්. සංවර්ධන කළේ රැසියානු සමාගමක් වුණු Wireless Lab එකේ. Face App හරහා ඡායාරෑපවල කරන පරිවර්තනය වඩාත් යතාර්ථවාදී කියලයි කියන්නේ බ්‍රෝ. මේ සඳහා කෘත්‍රීම බුද්ධිය භාවිත කරනවාලු. 2017 ඉඳන් ලාවට Line එක තිබ්බට 2019 තමයි දරුණු රැල්ල හැදුණේ. 

කොහොම හරි පහුගිය කාලේ Face App නැගලා යන අතරේ වෙනම සීන් එකක් පත්තු වුණා. ඒ Story යත් ගලපන්නම ඕනා. මේ App එකේ පරිශීලක දත්තවල පෞද්ගලිකත්වය පිළිබඳව ලෝක මාධ්‍යවල විවේචන කරන්න ගත්තා. අමෙරිකාව පැත්තෙන් තමා වැඩේ පතුවුණේ සුදා. සමාගම රුසියන් කියලා කිව්වා මතකයිනේ. ඇමෙරිකන් සෙනෙට් සභිකයෙක් FBI පරීක්ෂණයකුත් ඉල්ලුවා මේ ගැන. Face App සමාගමේ ලොක්කා නම් කිව්වේ පරිශීලක දත්ත සහ up Load කරන ලද Photos රුසියාවට මාරැ කරන්නේ නෑ කියලා. ඒ වෙනුවට Google Cloud සහ ඇමසන් වෙබ් සේවාවලට දානවා කියලා. කොහොමෙන් කොහොම හරි මේ අලකලංචි හින්දා Face App පට්ටෙට හිට්වුණා.

දැන් ඔන්න අපි එනවා අපේ අය Face App වලින් ගත්ත ආතල් මොනවාද කියලා බලන්න. බුකීයේ තමන් වයසට ගිය ෆොටෝ එකක් Post නොකෙරුවා නම් කොන් වෙන Line එකක් තිබ්බේ. ගොඩක් අය සීන් එකට Enter වුණේ රැල්ලට නොදා බැරිකමට. ඒ අස්සේ යාළුවන්ව චාටර් කරන සීන් එක නැගලා ගියා. යාළුවන්ගේ ෆොටෝ වයසට යවලා Inbox එකට හරි Group Chat එකට හරි දාලා ගත්තේ මාර Fun එකක්. ඒ අස්සේ සමහරු ප්‍රසිද්ධියේම බුකියේ දැම්ම යාළුවන්ගේ ෆොටෝ. ඊට පස්සේ ගේමට ගේම ආතල්. Photo Comment ආතල්. කොහෙම හරි වයසන යන එක හරි ආතල් වැඩක් වගේ පෙණුනේ.

Page Admin ලා සෙට් එක ප්‍රසිද්ධ අයව වයසට යවන්න පටන් අරගෙන තිබ්බා. මේ දවසවල ක්‍රිකට් උණ තිබ්බ නිසා ක්‍රීඩකයෝ ගොඩක් දෙනෙක්ට වයසට යන්න වුණා. Face App වල වයස අඩු වැඩි කරන එක එක ලයින් තිබ්බාට නාකි කරන සීන් එකම තමා කස්ටිය අල්ල ගත්තේ. ඕකෙම ජනවර්ගයකින් තවත් ජනවර්ගයකට මුහුණු වෙනස් කරන ඡායාරූප නිර්මාණය කරන්නත් හැකියාවක් තිබ්බා. පස්සේ ඒක වෙනසක් කළේ ලොකු කේස් එකක් ගිය නිසා. ඊට අමතර කේන්තිකාර මුහුණු, අදහසක් පළ නොවන මුහුණු, සිනාවෙන මුහුණු නිර්මාණය කරන්න හැකියාවක් තිබෙනවා. රූපලාවණ්‍ය මෝස්තර එහෙම දාන්නත් පුළුවන්. මචෝ මේ ඔක්කොම කෘත්‍රිම සීන් තමයි ඉතින්.

දේශපාලන, නීතිමය, සදාචාරාත්මක ආදී විවිධ අංශවලින් Face App විරෝධය ගොනු වෙනකොට. Face App වලින් ආතල් ගන්න අයව Joke කරන එකත් බුකීයේ වෙනම Trend එකක් වුණා. මතකද මචෝ අර බුකීයේ ඔක්කොම නාකිවෙලා කියලා දාල තිබ්බ පෝස්ට්. මේ සීන් එක නිසා පොඩි පොඩි බුකීවලත් තිබ්බා පහුගිය කාලේ. සමහර බුකී විචාරක පොරවල් මේක හැඳින්නුවේ වයසට යනවට තියෙන බය ප්‍රකට වන අවස්ථාවක් විදිහට. අප්පා ඒවා මාර පැහැදිලි කිරීම්. බුකියේ පඬිවරු මුණිවරු සෘෂිවරු වදාරණ නිසා අපිට ඕවාට හොට දාන්න බෑනේ මෙයා. හා නැද්ද හා....

මේ අස්සේ වැඩේ බරපතල තැනකට ආවේ ලංකාවෙත් විවිධ සංවිධානය ආයතන Face App භාවිතය අනතුරැ සහිතයි කියලා කිව්වාම. ඒ අය දීර්ඝ පැහැදිලි කිරීම් කරලා තිබ්බා යෙදවුම සම්බන්ධයෙන්. පට්ට සීන් එක තමා ස්මාර්ට් ‍ෆෝන්වල ඇති අයිතිකරුවගේ අවසරයක් නැතිව ෆේස්ඇප් දත්ත ගබඩාවට අප්ලෝඩ් වෙනවා කියන එක. මේක කියලා තියෙන්නේ Face App නිර්මාපකයෙකු වන ජෝෂුවා නොසී ඩයල් එක. ඔන්න වැඩේ පත්තු වුණා. කස්ටියක් බයවුණා. App එක කන්ට්‍රෝල් කරලා. තව අය සීන්එක තඹේකටවත් මායිම් කරේ නෑ. හැබැයි නාකි වීමේ උණ ටික ටික අඩුවෙලා ගියා. මේ දවස්වල සීන් එක ගොඩක් අඩුවෙලා ගිහින්.

කොහොම වුණත් අවසාන වශයෙන් කියන්න ඕනා දේ තමයි ගන්න ආතල් ඕන එකක් පරිස්සමට ගනිල්ලා. තොරතුරුවල වටිනාකම එච්චර තේරෙන රටක නෙවෙයි අපි ඉන්නේ සුදෝ. ඒ නිසා පොඩ්ඩක් ලෝකේ වෙන දේවල් ගැන හොයලා බලපල්ලා. අපි නොදැන අපි විකිණෙන අමුතු කාලයක් මචෝ මේ. ඒ නිසා නාකිවෙන්න කලින් තේරුම් ගන්න දේවල් බොහොමයි. 

 

►Text - Nisal   /   Pic – Internet