2019 ජුලි 27 වන සෙනසුරාදා

ආදරණීය කුසුම්....“අපේම වී අප ඉපදේවා...“

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:31 263

කුසුම් පීරිස්.. තමන්ට ආවේණික හඬකින් ගුවන්විදුලිය ඔස්සේ හැත්තෑව දශකයේ සිට ඔබේ දෙසවන් පිනවූ ඇය වයස අවුරුදු හැත්තෑඑකක් අවසන් ‍වෙද්දී ජීවිතයෙන් සමුගත්තාය. 

වත්තල එඩේරමුල්ල ප්‍රදේශයේ ඉපිද කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ ඇය ගුවන්විදුලියේ නාට්‍ය අංශයේ නවක ශිල්පීන් තෝරාගැනීමේ පරීක්ෂණයට ඉදිරිපත් වූවාය. ඒ 1965 වසරේදීය. එම පරීක්ෂණයේදී ඇය විශිෂ්ඨ ශ්‍රේණියේ ශිල්පිනියක් වෙමින් ඇයට ගුවන්විදුලි සංස්ථාවේ සේවයට බැඳීමට අවස්ථාව උදාවුණි. 

හැත්තෑ දශකයේ ඉතා ජනප්‍රිය ගුවන්විදුලි නාට්‍යයක් වූ “මොණර තැන්න නාට්‍යයේ “සඳා නම් චරිතය ඔස්සේත්, මුවන්පැලැස්ස නම් ගුවන්විදුලි නාට්‍යයේ සපුමලී වූයේත්, සිළිඳි වූයේත් කුසුම්ය. එකල මෙන්ම පසු කාලයේදීත් මේ නාට්‍යයන් වටා එක්රොක්වූ අසන්නත් පිරිස ඉතා විශාල විය. එතැනින් නොනැවතුණ කුසුම් ගුවන්විදුලි රඟමඩල, කුඹුරේගම, මකරාගේ තනායම වැනි ගුවන්විදුලි නාට්‍යවලට දායක වූවාය. 

1972 වසර කුසුම් පීරිස්ගේ ජීවිතේ අපූරු සංන්ධිස්ථානයක් විය. ගුවන්විදුලි සංස්ථාවේ පැවති පරීක්ෂණයකට ඉදිරිපත් වූ කුසුම් එයින් සහන නිවේදිකාවක් ලෙසින් ගුවන්විදුලියේ සේවය ඇරඹීය. එතැන් සිට ඇගේ කටහඬ ගුවන්විදුලිය ඔස්සේ නිතරම අසන්නට ලැබුණි. 

වෙළෙඳ සේවයේ වැඩසටහන් බොහෝමයක් ඉදිරිපත් කළ කුසුම් පීරිස් “ලලනා සැඳැල්ල, සොඳුරු සෙවණ, සහන් සේවය ඔස්සේ වැඩසටහන් ඉදිරිපත් කළාය. ආරියසිරි විතානගේ, තිලකා රණසිංහ, ඩග්ලස් රණසිංහ, සමදරා කෝට්ටගේ ඇගේ ගුවන්විදුලියේ සමකාලීන මිතුරු මිතුරියන් වූහ. 

කුසුම් පීරිස් මිතුරු මිතුරියන්ට හිත හොඳ මිතුරියක වූවාය. නිතරම සිනහවකින් මුව සරසා ගත් ඒ මුහුණ මිතුරු සඟයන්ට නිහමානීකම මෙන්ම සහෝදරත්වය දිගුකළාය. ඇය දක්ෂ නිවේදිකාවක් පමණක් නොව ඉතා දක්ෂ ගීත රචිකාවියකි. ඇයගේ හැංඟී තිබූ ගීත රචනා හැකියාව මුලින්ම හඳුනාගනු ලැබුවේ නිරංජලා සරෝජණී විසිනි. 

ඒ වනවිටත් කුසුම් පීරිස් පාසලේදී නිසදැස් ලියා තිබුණ ද කිසිමදාක ගීතයක් ලියා තිබුණේ නැත.
වැඩමුරය අනුව ගුවන්විදුලියේ වැඩ බාරගන්නට තිබුණ හෙයින් දවසක් කුසුම් වෙලාවටත් පෙරම ගුවන්විදුලි සංස්ථාවට පැමිණ සිටියාය. වැහි බර සැඳෑවක් වූ එදින වෙලාව සවස හයට පමණ වන්නට ඇත. හුදෙකලාවේ ගුවන්විදුලියේ විවේකාගාරයට වී සිටි කුසුම්ට ගුවන්විදුලියේ මැද මිදුල අපූරුවට පෙනුණාය. මන්දාරම් වැහි අන්ධකාරයත් සමඟ හුදෙකලා වූ කුසුම්ට අපූරු නිසදැසක් හිතට ආවාය. ඇය කුඩා කොළ කැබැල්ලක එය අකුරු කළාය. 
ඒ මොහොතේම නිරංජලා සරෝජණී විවේකාගාරයට පැමිණ කුසුම් අකුරු කළ කුඩා කොළ කැබැල්ලට එබිකම් කළාය. වැසි දවසක අහම්බෙන් අකුරු කළ පුංචි කොළ කැබැල්ල පසු කාලයකදී දක්ෂ ගීත රචිකාවියක කරාවීයැයි කිසිමදාක කුසුම් එදා නොසිතන්නට ඇති. නමුත් නිරංජලා සරෝජණීගේ පෙරැත්තය මත එය ගීතයක් වී අබේවර්ධන බාලසූරිය හා නිරංජලා එක්ව ගැයීමෙන් ඇය ගීත රචිකාවියක් වූවාය.

නිසංසලේ මා තනිවෙලා
තනියට මගේ හිත ළඟටම අවුදින්
නිසංසලේ ඔබ තනියෙන්
තනියට ඔබේ සිත ළඟටම අවුදින්

කුසුම් අක්කව මට මුලින්ම මුණගැහෙන්නේ මම ළමා ශිල්පිනියක්ව උන්නු කාලේදීයි. ඊට පස්සේ මම සරල ගී පරීක්ෂණය සමත්වෙලා ගුවන්විදුලියේ සහන නිවේදිකාවක් ලෙස පත්වීමක් ලැබුවා. ඒ මොහොතේදී මට කුසුම් අක්කා යටතේ තමයි පුහුණුවෙන්න අවස්ථාව ලැබුණේ. ඇය මට පුදුම විදිහට ‍ළෙන්ගතු වුණා. මට සම්බන්ධතා මැදිරියේ කටයුතු කරන්නේ කොහොමද..? ගීතයකට පෙරවදනක් සපයන්නේ කොහොමද.. කටහඬ හසුරැවන්නේ කොහොමද..? යන හැමදෙයක්ම කිසිම ගුරැ මුෂ්ඨියක් තියාගන්නේ නැතිව හැමදේම කියලා දුන්නා. හරිම පරිත්‍යාගශීලී හදවතක් කුසුම් අක්කාට තිබුණා. 

කිසිකෙනෙක්ගේ හිතක් රිදවූයේ නැහැ. කුසුම් අක්කා කියන්නේ දක්ෂතා ගණනාවකින් සන්නද්ධ වුණු කෙනෙක්. ඇය දක්ෂ නිවේදිකාවක්. ගීත රචිකාවියක්. ගුවන්විදුලි ශිල්පිනියක්. නාට්‍ය පිටපත් රචිකාවියක්. හඬකැවීම් ශිල්පිනියක්. මෙවැනි දක්ෂතා රාශියක් ඇය තුළ තිබුණා. නමුත් ඒ කිසිම දේකින් ඇය හිස උදුම්මවාගත්තේ නැහැ. කුසුම් අක්කා හරිම නිරහංකාර චරිතයක්. කුසුම් අක්කා අපට නැතිවීම දුකක්. ඇය ගීත ක්ෂේත්‍රයට යොමු වුණේ මමයි අබෙයි කියපු “නිසංසලේ මා තනියෙන් කියන ගීතයෙනුයි. ඇය කටපුරා හැමදාම ඒ ගෞරවය මට දීලා කතා කළා. මගේ ගුරුවරිය ඇය තමයි කියලා මමත් කිව්වා. අපේ කවදාවත් ඒ මිතුදම බිදුණේ නැහැ. කුසුම් අක්කා මට ගුරැවරියක්, සහෝදරියක් කුසුම් අක්කා මට හැමදාම කතා කළේ “මගේ නංගෝ* කියලා. ඒ දේවල් සිහියට නැගෙද්දී මට හරිම දුකයි..

යැයි කුසුම් පීරිස්ගේ වියෝවීම පිළිබඳව නිරංජලා සරෝජණී එසේ අදහස් දේශයට දැක්වීය. “නිසංසලේ මා තිනියෙන් ගීතය කුසුම් ගීත රචිකාවියක් කළ මුල්ම ගීතය වූ අතර එතැන් සිට ඇය අතින් අපූරු ගී එකතුවක් ලියවුණි. ඒ අතරින් ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ, දිගුනෙත් හසරැල්ලේ, සිතුවිලි සිරවී හදවත පතුලේ, සිතගාව දඟකළා, ඈත හිනැහෙන තාරකාවේ, ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින් දෙනයන හැඳින්නෙමි, සිහනයකි ඔබ නිහඬ මැදියම් රෑ... වැනි ගීත අදටත් ඉතා ජනප්‍රිය ගීතයන් විය.
ඇය ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදයෙකු වූ නෙල්සන් පීරිස් හා විවාහ වූ අතර ඔවුන් දරුවන් තිදෙනෙකුගේ මව්පියෝ වූහ. ඒ වගීෂා, තමාලි සහ රජිත්ය. ඔවුන් ද මව්පියන් මෙන්ම කලාවට සම්බන්ධකම් කීහ.
2004 වසරේදී ගුවන්විදුලියෙන් සමුගත් කුසුම් පිරිස් රූපවාහිනී වැඩසටහන්වල හඬකැවීම් ශිල්පිනියක ලෙස වසර ගණනාවක් සේවය කළාය.

කලක පටන් රෝගීව සිටි කුසුම් පීරිස්ට හදිසියේ අසනීප තත්ත්වය උත්සන්න වීමත් සමඟ ඉතා ඉක්මනින් ඇයව රාගම පෞද්ගලික රෝහලක් කරා රැගෙන ගියද ඇයට ඒ ජීවත්වන්නට තිබූ අවසන් තප්පර කිහිපය විය.

අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී යළි ඇරඹී
විශ්වය අලුතින් බිහිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා...   

 

► Text - Dishani 

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00