තුමිඳු.. මතකද ඔයාට කළණිව මුලින්ම මුණගැහුණු දවස..?
ඔව්.. කළණිව මට මුලින්ම මුණගැහුණෙ නාට්‍යයක් බලන්න ගිහිල්ලයි. කළණි මම රඟපාපු ඇන්ටගනී නාට්‍ය බලන්න ආවා. නාට්‍ය අවසන්වෙලා බොහෝ දෙනා වගේම කළණිත් මගේ ළඟට ඇවිත් මට සුබ පැතුවා. එතනදී තමයි අපි මුලින්ම හඳුනා ගත්තෙ. ඒ 2010 වසරේදීයි. එයාව හඳුනාගත්තට පස්සෙ කළණියි මමයි fb එකෙන් හොඳම යාළුවෝ වුණා. මට මතකයි.. එයාගේ fb එකේ ලස්සන ෆොටෝවලට මම like දැම්මා. ලස්සන නැති ෆොටෝවලටත් like දැම්මා. එයාගේ හැම ෆොටෝ එකට මම like දාන හින්දා ඒකෙ මොකක් හරි විශේෂත්වයක් කළණිටත් තේරිලා තිබුණා. ඊට පස්සෙ අපි 2011 වසරේදී පෙම්වතුන් වුණා.
යාළුවෙක් විදිහට කාලයක් ආශ්‍රය කරපු කළණිට ආදරය කරන්න, ඇයව විවාහ කරගන්න කළණිගේ තිබුණු විශේෂත්වය මොකක්ද..?
මම හිතන්නෙ කළණි කියන්නෙ මම හොයපු කෙනාමයි. බාහිර පෙනුමෙන් ගැහැනු ළමයෙක්ගෙන් මම බලාපොරොත්තු වුණු හැමදෙයක්ම මම එයාගෙන් දැක්කා. මම බාහිරෙන් දැකපු කෙනාගේ මම කැමති ගතිගුණ තිබුණා. අදටත් මම හිතන්නෙ මම ගත්ත තීරණය නිවැරදියි කියලයි.
දෙන්නගේ විවාහය සිදු වුණේ කොයි කාලෙදිද..?
අපි විවාහ වුණේ 2014 ජනවාරි හය වැනිදා. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හොටෙල් එකේදීයි අපේ විවාහය සිදු වුණේ. කෝන්ටන් වයිල්ඩර් කියන අමෙරිකානු නාට්‍යවේදියාගේ our town කියන නාට්‍යයේ එක්තරා දෙබසක් තියෙනවා, තාත්තා පුතාගේ වෙඩින් එක දවසේ පුතාට කතා කරලා කියනවා ජෝන්.. විවාහ මංගල්‍ය උත්සවය මේ ලෝකෙට හොයාගත්තෙ කාන්තාවො. ඒ නිසා හැමදෙයක්ම සිද්ධවෙන්න ඕනෙ ඒ අය කැමති විදිහටයි. එතනදී පිරිමියා හරි පුංචියි. කියලා. අපේ විවාහයේ හැමදෙයක්ම සැලසුම් කළේ කළණි. ඒ හැමදෙයක්ම එයා මාත් එක්ක කතා කරලයි කළේ. කළණි එයා කැමති දේවල් විතරක් කළේ නැහැ. එයා හැමදෙයක්ම මාත් එක්ක කතා කළා. අපි සැලසුම් කළාටත් වඩා හොඳ වෙඩින් එකක් අපිට ගන්න පුළුවන් වුණා. මගේ යාළුවෝ කිහිප දෙනෙක්ම අපේ වෙඩින් එක සැලසුම් කරන්න ගොඩක් උදව් කළා.
තුමිඳුයි කළණියි පදිංචිවෙලා ඉන්න නිවෙස ගොඩනැගුවෙ තුමිඳුද?
නැහැ. අපි දෙන්නා ජීවත් වෙන්නෙ මගේ තාත්තාගෙන් මට උරුම වෙච්ච ගෙදර. ඒ ගෙදර තියෙන සියලුම සැලසුම් මගේ තාත්තාගෙයි. ඒක හැදුවේ මගේ තාත්තයි අම්මයි දෙන්නම එකතුවෙලා. තාමත් අපි දෙන්නා ජීවත් වෙන්නෙ තාත්තගෙන් මට උරුම වුණු ගෙදර. අපි දෙන්නා එකතුවෙලා තවම ගෙයක් හැදුවෙ නැහැ. හැබැයි අපිට එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. මම කොහොමත් රටට ලෝකෙට ණයවෙලා ගෙවල් හදන්න කැමති කෙනෙක් නෙමේ. ජීවත්වෙන කාලේ අපි ණයකාරයො නොවී සන්තෝසෙන් ජීවත් වෙන්න ඕනෙ. මට ආර්ථික ශක්තියක් ලැබුණු දවසක මම ගෙයක් හදනවා. කළණියි මමයි දෙන්නම එකතුවෙලා කතා කරලයි ගෙදර ඇතුළත සැලසුම් කළේ.
අපූර්ව තුමිඳුගෙයි කළණිගෙයි ජීවිතයට අපූර්වත්වයක් ගෙන ආවනෙ.. තුමිඳු ආසාවෙන් හිටියෙ දුවෙක්ටද.. පුතෙක්ටද..?
විවාහ වුණු දවසේ ඉඳන්ම, දරුවෙක් බලාපොරොත්තු වුණු දවසේ ඉඳන්ම මම ආසාවෙන් හිටියෙ පුතෙක්ට. ඉතින්.. බලාපොරොත්තු වුණා වගේම අපිට පුතෙක් ලැබුණා. අපූර්ව කියන්නෙ හරිම ආදරණීය දඟයෙක්. එයත් එක්ක ගත කරන කාලය හරිම සුන්දරයි. අපූර්ව දවසින් දවස ලොකු වෙනවා. මම අපූර්ව ලොකු වෙනවට ලෝබයි. අපූර්ව එයාගේ පුංචි කාලෙම ඉන්නවට හරි ආසයි. එයා දවසින් දවස වැඩෙන විදිහ මම බලාගෙන ඉන්නවා. තාත්තා කෙනෙක් විදිහට මට ලොකු ආඩම්බරයක් දැනෙනවා. තමන්ගේ ලෙයින් ජාතක වුණු දරුවෙක් මේ පොළොවෙ ඉන්නවා දකිද්දී ඕනෑම තාත්තා කෙනෙක්ට ඒ ආඩම්බරය දැනෙනවා ඇති. තාත්තා කෙනෙක්ගෙ හැඟීම හරිම සුවිශේෂී එකක්. මම ඒක අපූරුවට විඳිනවා.
රංගන කටයුතු, විශ්වවිද්‍යාල ඉගැන්වීම් කටයුතු එක්ක කාර්යබහුල ජීවිතයක් ගත කරන තුමිඳුට කළණි සහ අපූර්ව එක්ක ගෙවන ජීවිතය ගැන මොකද හිතෙන්නෙ..?
කළණි එක්කයි අපූර්ව එක්කයි ගත කරන ජීවිතය තමයි ජීවිතේ කියන්නෙ. අනිත් හැමදෙයක්ම කාර්යබහුල වෙද්දී ඒ දෙන්නා එක්ක ගත කරන කාලය තමයි මම කාර්යබහුල නොවී සැහැල්ලුවෙන් ගත කරන මොහොත වෙන්නෙ. හවසට ගෙදර ගියාට පස්සෙ ඒ දෙන්න නින්දට යනතුරැම මම වෙන කිසිම වැඩක් යොදාගන්නෙ නැහැ. පොතක් කියවනවානම්, පාඩම් වැඩක් කරනවානම් මම ඒ දේවල් කරන්නෙ ඒ දෙන්නා නිදාගත්තට පස්සෙයි. ඒ දෙන්නා එක්ක ගත කරන මොහොත තමයි ඇත්තටම මට ජීවිතය විඳිනවා කියලා හිතෙන්නෙ.
තුමිඳු.. කළණි ගැනයි අපූර්ව ගැනයි එහෙම කියද්දී අපි දැන් අහලා බලමුද තුමිඳු ගැන කළණි කියන්නෙ මොනවද කියලා...
කළණි.. මතකද මුලින්ම තුමිඳුව ඔයාට මුණගැහුණු දවස..?
ඉස්සර ඉඳන්ම මම වේදිකා නාට්‍ය බලන්න ආස කළා. ඉස්සර ඉඳන්ම අලුතින් වේදිකා ගතවෙන වේදිකා නාට්‍යයක් ආවොත් මම බලන්න යනවා. ඉතින්.. ප්‍රියංකර රත්නායකයන්ගෙ ඇන්ටගනී කියන වේදිකා නාට්‍ය බලන්න මම ලුම්බිණි රඟහලට ගියා. තුමිඳු ඒ නාට්‍යයේ ලස්සනට රඟපෑවා. ඒ නිසා මම වේදිකා නාට්‍ය අවසානයෙදී එයා ළඟට ගිහින් සුබ පැතුවා. එදා තමයි මම තුමිඳු එක්ක කතා කරපු මුල්ම දවස වුණේ.
කළණිගෙ මුහුණු පොතේ තිබුණු හැම ෆොටෝ එකටම තුමිඳු ආස කළේ ඇයි..?
අනේ මන්දා.. ඒ ඇයි කියලා. එදා හමුවුණාට පස්සෙ අපි දෙන්නා fb යාළුවෝ වුණා. මගේ fb එකේ තිබුණු හැම ෆොටෝ එකටම තුමිඳු like දාලා තිබුණා. මම ගත්ත එච්චර ලස්සන නැති ෆොටෝවලටත් තුමිඳු like දාලා තිබුණා. අනේ.. මෙයා හැම ෆොටෝ එකටම like කරනවනෙ කියලත් වෙලාවකට මට හිතුණා. අපි දෙන්නා අතරේ සම්බන්ධයක් ගොඩනැගෙන්නනම් කාලයක් ගත වුණා.
ඇන්ටගනී වේදිකා නාට්‍යයෙන් පස්සෙ දෙන්නා මුලින්ම මුණගැහුණෙ කොහෙදිද..?
ඒ වේදිකා නාට්‍යයෙන් පස්සෙ අපි දෙන්නා ෆෝන් එකෙන් කතාබහ කළා. එක දවසක් කැලණිය විශ්වවිද්‍යාලයෙ ඡායාරෑප ප්‍රදර්ශනයක් තිබුණා. මම එදා තුමිඳුට මම මේක බලන්න යනවා කියලා කිව්වා. තුමිඳුත් මමත් එන්නම් කියලා කිව්වා. ඒ ඡායාරෑප ප්‍රදර්ශනයෙදී තමයි අපි දෙන්න ඊළඟට මුණගැහුණෙ.
ඇත්ත කියන්න.. මුලින්ම ආදරෙයි කිව්වෙ තුමිඳුද.. ඔයාද..?
අපි දෙන්නා ගොඩක් කාලයක් අපි දෙන්නව හඳුනාගත්තා. ඒ කාලෙදී අපි කැමති දේවල්, අපි ගැලපෙනවාද කියන දේවල් පවා අපි බොහෝ කාලයක් තිස්සෙ කතා කළා. ටික කාලයක් යද්දී මටත් මෙයා මට ගැලපෙනවා කියලා තේරුණා. තුමිඳුටත් ඒක දැනෙන්න ඇති. එහෙම දෙන්නටම දැනෙන කාලයක තමයි තුමිඳු මගෙන් අපි දෙන්නා විවාහ වෙමු නේද? කියලා ඇහුවෙ. ඊට පස්සෙ අපි යාළුවෙලා වැඩි කාලයක් යන්නට කලින්ම අපි ගෙවල්වලට කියලා ඒ අයගෙනුත් ආශිර්වාදය ලබාගෙන තමයි අපේ සම්බන්ධය ඉස්සරහට අරන් ගියෙ.
තුමිඳු කළණිට දීපු මුල්ම තෑග්ග මතකද..?
ඔව්.. මට මතකයි. තුමිඳු මට එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙ මළවුන්ගේ අවුරුදු දා කියන පොත තෑගි කළා. ඒක තාමත් මගේ ළඟ තියෙනවා. මමත් පොඩි පොඩි තෑගි තුමිඳුට දුන්නා. එයත් එක්ක කතා කරද්දී එයා ආස කරන පොතක් ෆිල්ම් එකක් ගැන කිව්වාම මම ඒක කොහොමහරි හොයාගෙන එයාට තෑගි කළා. මම චිත්‍ර අඳින්න හරි ආසයි. මම ඇඳපු චිත්‍රයක් මම එයාට තෑගි කළා. ඒකට තුමිඳු විතරක් නෙමේ.. තුමිඳුගෙ තාත්තා අම්මාත් හරි ආසයි. අපි විවාහවෙලා මම ඒ ගෙදරට යන්නත් කලින් ඉඳන්ම ඒ චිත්‍රය ගෙදර ඉස්සරහ ගහලා තිබුණා. මම ඒ ගෙදරට පළවෙනි පාරට යද්දී මුලින්ම දැක්කෙ ඒ චිත්‍රයයි. ඉතින්.. මට හරි සතුටක් දැනුණා.
තුමිඳුට කේන්ති යනවද..?
එයාට කේන්ති යනවා හරිම අඩුයි. කේන්ති ගියත් එයා හරිම නිහඬ චරිතයක්. එයාට තරහ යද්දීම මට තේරෙනවා එයාට තරහ ගිහින් තියෙන්නෙ කියලා. තුමිඳුට තරහ ගියාම එයා බොහෝ වෙලාවට හරි නිහඬයි. එයා තරහ එළියට පෙන්නන කෙනෙක් නෙමෙයි.
තුමිඳු ආසාවෙන් හිටියෙ පුතෙකුට නේද..?
ඔව්.. අපි දෙන්නා මව්පියො වෙන්න යනවා කියලා දැනගත්ත දවසේ ඉඳලාම අපිට දැනුණෙ අපි සම්පූර්ණ වුණා වගෙයි. එයා හරිම කාර්යබහුලයි. ඒ වැඩ කටයුතුත් එක්ක එයා මට ගොඩක් උදව් කළා. මාත් එක්ක ළඟ හිටියා. මට තනිකමක්, පාළුවක් දැනෙන්න දුන්නෙ නැහැ. පුතා ලැබෙන්න කලින් ඉඳන්ම තුමිඳු අපූර්ව එක්ක කතා කළා. මගේ බඩට අත තියලා අපි දෙන්නා අපූර්ව එක්ක කතා කළා. අපූර්ව ඉපදිලා චූටි වයසෙදීත් එයා තුමිඳුගෙ කටහඬට හරි ආසයි. තුමිඳුගෙ කටහඬ පුංචි වයසෙදීත් පුතා හොඳට හඳුනනවා. එයා ඇත්තටම අපිට ලොකු තෑග්ගක් වෙලයි තිබුණෙ. ඒ නිසා ගර්භනී කාලෙදී වුණත් මට හරි සුන්දර කාලයක්. පුංචි පුංචි ශාරීරික අමාරුකම් තිබුණත් තුමිඳුගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. එන්න ඉන්න දරුපැටියාගේ හීනය අපි දෙන්නාව සතුටින් ජීවත් කළා.
අපූර්වයි තුමිඳුයි එක්ක ගත කරන ජීවිතේ ගැන කළණි මොකද හිතන්නෙ..?
අපූර්ව මටත් වඩා තුමිඳුට ආදරෙයි කියලයි වෙලාවකට මට හිතෙන්නෙ. එයා තාත්තාට ගොඩක් ආදරෙයි. තුමිඳු හරිම කාර්යබහුල වුණත් අපි දෙන්නා වෙනුවෙන් වෙලාව වෙන්කර ගන්නවා. අපූර්වට දැන් අවුරුදු එකයි මාස පහයි. ඒ දෙන්නා සෙල්ලම් කරනවා. තුමිඳු ගෙදර එනකම් අපූර්ව බලාගෙන ඉන්නවා. තුමිඳු ගෙදර එන්නෙ පුතාව බලාගෙනයි. අපූර්ව අපි දෙන්නාට විතරක් නෙමේ.. එයාගේ ආච්චිලා සීයලාටත් සතුට ගෙනාවා. අපි හැමෝගෙම ජීවිතවලට සතුට ගෙනාවෙ අපූර්වයි.
► Text - Dishani / Pic - Internet