අපේ හදවත් එක මොහොතකට නතර වුණු සිදුවීම වෙලා මාස තුනකුත් ගෙවුණා... දරුවන්ට දෙමව්පියන් අහිමිවුණු, දෙමව්පියන්ට දරුවන් අහිමිවුණු, යාළුවන්, නෑදෑයන්, හිතවතුන් අහිමිවුණු ඒ අසුන්දර දිනය උදාවුණේ අප්‍රේල් මාසෙ විසි එක්වෙනිදායි. කුරිරැ ත්‍රස්තයින් රටේ එල්ලකළ බෝම්බ ප්‍රහාරයට මාස තුනක් ගෙවුණත් තවමත් ඒ බොහෝ හිත් සන්සුන් වුණේ නම් නැහැ.
දිලුක් ප්‍රනාන්දු වඩු වැඩ කරමින් තම ආදරණීය බිරිඳත්, දියණියත් සමඟ ජීවත්වුණු කතෝලික බැතිමතෙක්. කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුරට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් දිලුක් ප්‍රාණය පරිත්‍යාගකරුවන් අතරට එක්වුණා. චන්ද්‍රානිත්, කුඩා දියණිය වූ දිනිති නෙත්සරණිත් අසරණ වුණා.
කුලී නිවසක ජීවත්වුණ දිලුක් ඉඩම් කැබැල්ලකට යම් මුදලක් ගෙවා තිබුණද ඉතිරි මුදල ගෙවා ගන්නවත් වත්කමක් චන්ද්‍රානිට තිබුණේ නැහැ. නමුත් ප්‍රහාරයෙන් තුන් මාසයක් ගෙවන දිනයේදීම ගෘහ භාණ්ඩවලින් පරිපූර්ණ අංග සම්පූර්ණ නිවසක් තම ඉඩම් කැබැල්ලේ සාදා නිමකරවාගන්නට චන්ද්‍රානිට හැකියාව ලැබුණා.
කුඩා කැලෑවක් වන් මඩ ගොහොරුවලින් පිරුණ ඉඩම් කැබැල්ලේ නිවසක් තැනීම එතරම් ලෙහෙසි වූයේ නැහැ. ඉඩමට ගෙවන්නට තිබුණ ඉතිරි මුදල සම්පූර්ණයෙන්ම ගෙවා ඉඩමේ ඔප්පුව දිනිතිට ලියා දෙන්නට තරම් මේ රටේ කාරුණික හිතක් තම කැමැත්ත පලකළා.
කලාකරුවන් යනු සංවේදී මිනිසුන් බව ඔප්පු කරලන්නට මේ තවත් හොඳ නිදසුනක්. කටුවපිටිය ප්‍රදේශයේ ජීවත්වන ක්ලීටස් මෙන්ඩිස්, ආදරණීය කලාකරුවන් මෙයට මැදිහත් නොවන්නට, තුෂාර සම්පත් පියතුමන්, ප්‍රේම් ප්‍රනාන්දු, රිචඩ් මානමුදලි වැන්නන් නොවන්නට චන්ද්‍රානිටවත්, දිනිතිටවත් කවමදාකවත් මෙවැනි නිවසක් මේ පොඩි කාලයකින් ලැබෙන්නේ නැහැ.
ක්ලීටස්ගේ දැනුම්දීමකින් සිනෙස්ටා පදනමේ සභාපති ජයන්ත ධර්මදාස ඇතුළු දේශීය සිනමා හා ටෙලි සිනමා කලාකරුවන් නියෝජනය වන සෑම කලා හදවත්වල ආශීර්වාදයත් දායකත්වය, අනුග්‍රහයත් ඇතුළු නව නිවසක් පාස්කු බෝම්බ පිපිරී තුන්මසක් ගෙවන දා දිනිති නෙත්සරණිට බාරදෙන්නට හැකියාව ලැබුණා.
මේ පුංචි නිවහන ආදරයේ නිවහන වුණා. අසල්වාසීන්ගේ උදව් උපකාරයෙන් පුංචි උත්සවයක් සංවිධානය වෙලා තිබුණා... උදෑසන දහය වෙද්දී සිනෙස්ටා පදනම නියෝජනය කරමින් අපේ රටේ කලාකරුවන්, කලාකාරියන් එක්ව ආ බස්රථය පුංචි නිවස අසලට පැමිණියා. රවීන්ද්‍ර, මාලනී, ජීවන්, ශ්‍රියානි, ජැක්සන්, ග්‍රේස්, ශ්‍රියන්ත. කුසුම්. චන්න විජේවර්ධන, යශෝධා, නදීකා, ශෙරීන්, නිල්මිණී, සුදත්, නිරෝෂා පමණක් නොව නව පරපුර නියෝජනය කරමින් දිනක්ෂි, විනූ, රුවන්, සාරංග, ධනංජය, රොෂාන්, චන්න, සුරාජ්, වසන්ත, ජනිත්, චිලී, පුබුදු, මාෂිත් මේ පුංචි ආදරයේ නිවහනට ගොඩවුණා. ඒ සැමදෙනාම අතට ගමේ දරුවන් කිහිපදෙනෙක් සුදු මානෙල් මලකුත් දුන්නා.
නිවහනේ දොර විවෘත කරන්නට පෙර සැවොම එකතුවෙලා තවත් පුංචි කටයුත්තකට වෙලාව වෙන්කරගත්තා. ඒ ඉදිකරන ලද ශුද්ධ වූ සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමාව තැම්පත් කරන ලද ස්මාරකය විවෘත කරවීමයි. ඒ වෙනුවෙන් ජෝර්ජ් ප්‍රනාන්දු පියතුමන් ආශීර්වාද පැන් ඉස ස්මාරකය නිරාවරණය කළ අතර රවීන්ද්‍ර රන්දෙණියත්, මාලනී ෆොන්සේකා සමරු පලකය නිරාවරණය කළා. අතේ තිබූ සෑම සුදු මානෙල් මලක්ම එහි තැන්පත් කිරීම සිදුවූයේ ඉන් පසුවයි.
ගිමන් විඩාව මඳක් සංසිඳවාලන්නටත් කටුවපිටිය ගම්වාසීන් අමතක කළේ නැහැ. දේශීය උදේ ආහාර වේලකින් ඔවුන් සැමට සංග්‍රහ කළා. එක පැත්තක කුරුම්බා සහ තැඹිලි බොමින්ද තවත් තැනක බෙලිමල් බොමින්ද සැවොම ආගිය තොරතුරැ කතාකරමින් කල්ගෙවුණා.... ඒ විතරක් නෙමෙයි හොඳ සැර ලුණු මිරිසක්, පොල් සම්බෝලයක් එක්ක තැම්බූ දෙල්, බතල සහ මඤ්ඤොක්කාත් හිතේ හැටියට රස බලන්නට ක්ලීටස්, ප්‍රේම් ඇතුළු ගමේ කට්ටිය සංවිධානය කර තිබුණා.
පුංචි දිනිතිට යතුරු සහ ඔප්පුව සහ ගෙය බාරදුන්නේත් දෙවියන් වහන්සේගේ ආශීර්වාදයත් සමඟයි. පියතුමන් බොහෝමයකගේ ආශීර්වාදයත්, ආසිරි පැන් ඉසමින් යාඥා කිරීමෙන් අනතුරුව චන්ද්‍රානිත්, මාලිනී ෆොන්සේකාත් එක්ක ආදරයේ නිවහනේ දොර විවෘත වුණා. පුංචි දිනිතිට ගෙයි හිමිකාර ඔප්පුව තෑගි ලැබුණා.
ජීවිතේ බොහෝ දෑ අතහැර යද්දී, පුංචි දිනිතිට ශක්තියක් වූ අත්දෙක හැරයද්දී තවත් අත් රැසකගේ එකතුවෙන් පුංචි ආදරණීය නිවසක් ලැබුණා. පුංචි කෙල්ලගේ ඇස්වල කඳුළු පිරුණා. චන්ද්‍රානිගේ කම්මුල් දිගේ කඳුළු ගලාගෙන ගියා. දිලුක් කොහේ හෝ තැනක සිට මේ ආදරණීයන් දෙදෙනා දෙස බලාගෙන ඉන්නට ඇති. ජීවිත තුනක් එකට බිලිගන්නට තිබූ මොහොතක දිලුත් යෝධයෙකු සේ චන්ද්‍රානිත් දිනිතිවත් රැකගනිමින්, පිටුපස සිට වේගයෙන් ආ බෝම්බයේ ඊයම් බෝලවලට තම හිස සහ පපුව දුන්නා. එසේ නොවන්නේ නම් අද චන්ද්‍රානිවත් දිනිතිවත් ජීවත්වන්නේ නැහැ.
සැමගේම ආශීර්වාදය පැතූ මේ පුංචි ආදරයේ නිවහනට අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පැමිණීමද ආශ්චර්යජනක සිදුවීමක්. ආදරයේ නිවහනට පමණක් නොව කාදිනල් හිමිපාණෝ පැමිණ සිටි සැවොටම ආශීර්වාද කළා.
දිනයක් එසේ ගෙවී ගියා. නමුත් සිනෙස්ටා පදනමේ කට්ටියගේ මේ ගත් අපූරු උත්සාහය ප්‍රතිඵලය අද ලැබුණා. වසරක් පාසා නළු නිළි කැළ එකතු වී රිදී රැයක් ප්‍රසංගය ඔස්සේ නටමින්, ගයමින් හෙලූ දහඩියට ලැබුණ මුදලින් ඔවුන් වටිනාකමක් ලබාදුන්නා. මේ රටේ වගකිවයුත්තන් මුණිවත රකිද්දී, මේ ව්‍යසනය වෙනුවෙන් වක්‍රව හෝ සහය වෙද්දී තම දේශපාලනය වෙනුවෙන් අනුග්‍රහකයින් එකතු කර මහා පරිමාණයෙන් දේශපාලන ප්‍රචාරයන්ට මුදල් වියදම් කරද්දී මේ රටේ සංවේදී හිත් ඇති මේ කලාකරුවන්ගේ එකතුව ඒ කයිවාරුකාර සැමටම සැබෑ ආදර්ශයක්.
තුෂාර සම්පත් පියතුමන්, ක්ලීටස් මෙන්ඩිස්, ප්‍රේම් ප්‍රනාන්දු, රිචඩ් මානමුදලි ඇතුළු බොහෝ දෙනෙකු ගත් මහන්සියේ ප්‍රතිඵලයයි මේ...
► Text - Dishani & Pic - Sumudu