ළඟදී වැඩ නිමා කරපු ටෙලිනාට්‍යයක පැක් පාටිය තිබුණෙ නිෂ්පාදකවරයගෙ ගෙදර.
හරියට ඒ දවසෙම තමයි නිෂ්පාදකවරයගෙ පොඩි පුතාගෙ උපන් දිනයත් යෙදිලා තිබුණෙ.
ඉතින් ටෙලිනාට්‍ය කණ්ඩායමට හවස 4 වෙද්දී එන්න කියලා. කේක් එහෙම කපලා ඉවරවෙලා නිෂ්පාදකවරයා අර ටෙලිනාට්‍ය සෙට් එක ළඟට ගිහින් කිව්වලු තව ටිකක් රූවෙලා අපේ නෑදෑ කට්ටියට ගියාට පස්සෙ මම ඕගොල්ලන්ට නාන්න බඩු දෙන්නම් කියලා.
කට්ටිය දැන් සතුටු සාමීචියෙ යෙදිලා ඉන්නවලු. ටික වෙලාවකින් මේ නාට්‍ය කණ්ඩායමේ කෙනෙක් ගිහින් නිෂ්පාදකවරයාට මෙහෙම කිව්වලු.
අපට ඔබතුමා කිව්වනෙ රෑවෙලා නාන්න දෙනවා කියලා..
ඔව්.. මම කිව්වා තමයි
ඒක එහෙම වුණාට අවුලක් නැහැ. ඒත් ඊට කලින් අපට මූණ පොඩ්ඩක් හෝදගන්න පුළුවන් විදිහට මොනවහරි දෙන්න බැරිද? කියලා අර ශිල්පියා ඇහුවලු.
ඔන්න කොළඹ එක්තරා කාන්තා රෝහලක දරු ප්‍රසූතිය සඳහා තම බිරින්ඳෑවරු ඉස්පිරිතාලෙට ඇතුළු කළ සැමියන් කිහිප දෙනෙක් එළියෙ කයියක් ගහගෙන හිටියලු. චිත්‍රපට බැලිල්ලයි බබාලා හම්බවෙන එකයි අතර තියෙන්නෙ මොනවගේ සම්බන්ධයක්ද කියලා ඒ මහත්තුරු කට්ටියගෙ කතාවෙන් තේරුම් යනවා.
මම චන්නයි කෙල්ලො දෙන්නයි ෆිල්ම් එක බලලා පැය දෙකක් ගියෙ නැහැ, වයිෆ්ට අමාරුවෙලා ඉස්පිරිතාලෙ ගෙනාවා. එයාට කෙල්ලොම දෙන්නෙක් ලැබුණනෙ, එක තාත්තා කෙනෙක් කිව්වලු.
ඒකත් හරි පුදුම වැඩක්නෙ. මම හරිම බඩු තුනක් ෆිල්ම් එක බල බලා ඉන්ඳැද්දි තමයි ආරංචිය ආවෙ අපේ නෝනට බබාලා තුන් දෙනෙක්ම ලැබුණා කියලා, තව කෙනෙක් කිව්වලු.
බුදු අම්මෝ මම යනවෝ කියමින් එතන හිටපු තව තාත්තා කෙනෙක් දුවන්න පටන් ගත්තලු.
මොකද ඔයා එක පාරටම පණ කඩාගෙන දුවන්න පටන් ගත්තෙ? එක්කෙනෙක් ඇහුවලු.
මම දුවන්නෙ වෙන මොකුත් නිසා නෙවෙයි. මම දැන් එන්න කලින් බල බලා හිටියෙ අලි බබා සහ හොරැ 40 චිත්‍රපටය.
සිංහල නොවන විදෙස් ජාතිකයෙක් තම ලංකාවෙ නෑදෑයන් සමඟ කතා කර කර හිටියලු, ගවයො නිදහස් කිරීම ගැන.
පුතා දන්නවද ගවයෙක් මරණයෙන් නිදහස් කරන එක කොයි තරම් ලොකු පිනක්ද කියලා, වැඩිහිටියෙක් අර විදෙස් ජාතිකයාට කිව්වලු.
විදෙස් ජාතිකයා එක පාරටම ඔහුගෙන් ඇහුවලු එතකොට ගවයන් ගොඩ දෙනෙක් නිදහස් කරලා පින් රැසක් කරන ඔබට අපි කියන්න ඕනෙ පින් ගොනා කියලද? කියලා.
► Text - Mithra