එක රැයින් ජනප්‍රිය වෙන සිනමා තරු, ගායන තරු ගැන අපි අහලා දැකලා තියෙනවා. ඒ වගේම ලොතරැයියකින් දිනලා එක රැයෙන් පෝසත් වෙන අයත් අපි දැකලා තියෙනවා. හැබැයි දක්ෂතාවය නිසා එක රැයින් මිලියනපතියෙක් වෙනවා කියන එක ලේසියෙන් අහන්න ලැබෙන දෙයක් නෙමෙයි. ඒකෙ විශේෂත්වය තවත් වැඩිවෙන්නේ, මිලියනපතියා තාමත් පාසල් යන අවුරුදු 16ක ළමයෙක් වෙනකොටයි.
මේ කියන්නේ ඒ විදිහේ අරුම පුදුම වාසනාවන්ත ඒ වගේම දක්ෂතාවයෙන් පිරිපුන් තරුණ ළමයෙක් ගැනයි. ඔහු නමින් කයිල් ගියර්ඩොෆ්. ජීවත්වෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේයි.
ලොව පළමු වරට සංවිධානය කෙරුණු ෆෝට්නයිට් ලෝක කුසලාන වීඩියෝ ගේම් තරගයෙන් ජයගත්තු කයිල්ට ලැබුණු ත්‍යාග මුදලේ වටිනාකම ඩොලර් මිලියන තුනක්. ඒක ලංකාවේ සල්ලිවලට හැරෙව්වොත් රුපියල් කෝටි 52කටත් වැඩියි. මෙය එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ වීඩියෝ ක්‍රීඩා තරගාවලියක ජයග්‍රාහකයෙකුට පිරිනැමුණු ඉහළම මුදල් ත්‍යාගයයි.
“මේ ජයග්‍රහණයත් එක්ක මගේ මුළු ජීවිතේම වෙනස් වෙන්න පුළුවන් කියලා මට තේරෙනවා. මට ඇත්තටම තාමත් හිතාගන්න බෑ මේ වෙච්ච දේ ගැන ඔහු මාධ්‍යයට තමන්ගේ හිතට එන අදහස් ප්‍රකාශ කළේ ඒ විදිහටයි”.
ඩොලර් මිලියන තුන වියදම් කරන්න හිතාගෙන ඉන්නේ කොහොමද කියලත් මාධ්‍යවේදීන් කයිල්ගෙන් ඇහුවා.
“මම මේ සල්ලිවලින් මිලදී ගන්නේ මගේ වැඩ කරන්න මේසයක් විතරයි. අනිත් සල්ලි සේරම මම හරි විදිහට ආයෝජනය කරන්න හිතාගෙනයි ඉන්නෙ. මෝඩ විදිහට සල්ලි වියදම් කරලා නාස්ති කරගන්න මට වුවමනාවක් නැහැ” කයිල් බුද්ධිමත් විදිහට පැවසුවා.
බුගා කියන සුරතල් නාමයෙන් පරිගණක ක්‍රීඩාවේ යෙදෙන කයිල් මේ ජයග්‍රහණය ලැබුවේ ඔහු වැනිම දක්ෂ තවත් තරගකරුවන් 99 දෙනෙක් අභිබවමිනුයි. ඒ අතරට අමෙරිකානුවන් වගේම වෙනත් රටවලත් තරුණ පරිගණක ක්‍රීඩකයන් ඇතුළත් වුණා.
කොහොම වුණත් තරගයේ අවසන් වටයට එළඹෙන විටත් කයිල්ගේ ජයග්‍රහණය තහවුරු වෙලා තිබුණා. සොම්බි වැනි සතුරැ ප්‍රහාරවලින් ලෝකය මුදවාගැනීමේ ක්‍රීඩාවේදී ඔහුට සැඟවී සිට පහර දෙන්න හොඳ ආරක්ෂිත ස්ථානයක් හමුවෙලා තිබුණා. ඒ වගේම සතුරන්ට පහර දෙන්න ඕනෑවටත් වඩා ආයුධත් ඔහු සන්තකයේ තිබුණා. ඒ නිසා අවසාන වටය බොහොම පහසුවෙන් ජයගන්න කයිල්ට හැකිවුණා කියලයි තරග විචාරකයෝ ප්‍රකාශ කළේ.
මේ මගේ පටන්ගැන්ම විතරයි. වීඩියෝ ක්‍රීඩකයෙකු ලෙස ඉදිරියටත් මෙවැනි තරගාවලිවලට එකතුවෙලා මගේ දක්ෂතා වර්ධනය කරගැනීමට මම මඟබලාගෙන ඉන්නවා කයිල් පවසනවා.
► Text - Suranga / Pic - Internet