2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

රිදී කුමාරියි - රුවා කුමාරියි එදාට අපි එකම වේදිකාවේ

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:31 146

- සුනිල් එදිරිසිංහ

සංගීත දිවියට වසර පනහක් සපිරෙන මොහොතේදී ඔබේ ගීත ප්‍රසංගයට දැන් සියල්ල සූදානම්. අපි මුලින්ම “සුනිල යාමය අඩසියවසක ගී සඳ එළිය ගීත ප්‍රසංගය ගැන කතා කරමුද?
ඔව්.. මගේ සංගීත දිවියට පනස් වසරක් සම්පූර්ණ වීම නිමිතිකොට ගෙන තමයි මේ ප්‍රසංගය පවත්වන්නේ. ගීතයට ඇලුම්කරන තරුණ පිරිසක් මාව මුණගැහිලා මෙවැනි ප්‍රසංගයක් පවත්වමුද කියලා යෝජනා කළා. ඇත්තටම මේක මගේ යෝජනාවක් නොවේ. මේ තරුණ පිරිසගේ යෝජනාවක්. ඒ මොහොතේදී විශේෂයෙන් මෙවැනි තරුණ පිරිසක් මෙවැනි ගීත වෙනුවෙන් නැඹුරු වීම ගැන මම සතුටු වුණා. ඒ නිසා මම ඔවුන්ගේ යෝජනාවට කැමති වුණා. ඒ ඔවුන්ගේ උත්සාහය තමයි අගෝස්තු 3 වැනිදා මල්ඵල ගැන්වෙන්නේ. මේ රට ඉදිරියට ගෙනියන්නේ මෙවැනි තරුණ පිරිසයි. ඔවුන් මෙවැනි ගීත රසවිඳීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. තරුණ පරපුරේ මෙහයවීමෙන් වසර පනහක් කලාව සම්බන්ධ පළපුරුදු ඇති කෙනෙක් විදිහට මම ඔවුන් ගැන ගොඩාක් සතුටු වෙනවා.

අගෝස්තු තුන් වැනිදා හරිම සුවිශේෂී අවස්ථාවක් විදිහට ඔබේ පුතත්, දුවත් එකම වේදිකාවේ ගීත ගායනා කරනවා?
ඔව්.. මේ ප්‍රසංගය ඒ දරුවන් නම් කරලා තියෙන්නේ “අඩසියවසක ගී සඳ එළිය සුනිලයාමය කියලයි. අගෝස්තු මාසේ තුන්වැනි සෙනසුරාදා සවස හයයි තිහට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේදී තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ. මේ ප්‍රසංගයට ගීත ගැයීමට මගේ දුවයි පුතයි දෙන්නත් සහභාගී වෙනවා. කලා ජීවිතේ මට අවුරුදු පනස් වසරක් ගත වෙනතුරු ඒ අය කලඑළි බහින්න හිටියා. ඒකත් විශේෂත්වයක් වෙනවා. 

ඔබේ ගීතවලට බොහෝ සම්බන්ධතා දැක්වූ රෝහණ වීරසිංහයන්ද “සුනිලයාමය ප්‍රසංගයට ඔබත් සමඟ අත්වැල් බැඳගන්නවා නේද?
මගේ ගීතවලට වැඩිපුරම තනු නිර්මාණය කරලා තියෙන්නේ රෝහණ විරසිංහයන්. ඔහුයි මායි අතර දැනට අවුරැදු පනහකට පෙර හටගත්ත මිත්‍රත්වය සහ නිර්මාණ දායකත්වය හරි විශාලයි. අවුරුදු පනහක් ගිහිල්ලත් මේ මගේ ප්‍රසංගයේත් සංගීතය මෙහෙයවන්නේ රෝහණයි. ඒ වගේම මෙම ප්‍රසංගයේ නිවේදන කටයුතු මෙහෙයවන්නේ සමන් අතාවුද හෙට්ටියි. සමන්ව මම නිවේදකයෙක් විදිහට නෙවෙයි හඳුන්වන්නේ. අත්දැකීම් සම්භාරයක් දරන කිසියම් නිර්මාණ කටයුත්තක් නිසියාකාරව ගෙනයාමේ මහ පෞරුෂයක් තියෙන කෙනෙක් විදිහට තමයි මම ඔහුව දකින්නේ. සමන් නිවේදන කියන කොටසට කොටුවුණු කෙනෙක් නෙමේ. ඔහු මේ රටේ අත්දැකීම් සමුදායක් තිබෙන නිවේදන කටයුතුවලට එහාගිය දක්ෂයෙක් ලෙසයි මම දකින්නේ. රෝහණ වීරසිංහයන් වගේම සමන් අතාවුද හෙට්ටිව යෝජනා කළෙත් මමයි. 

පවුලේ බාලයා ලෙසින් ඉපදුණු ඔබේ ළමා කාලය ගැන මතකය අවදි කළොත්?
කෙනකුට තමන්ගේ ජීවිතේ වැදගත් කාලයක් තමයි ළමා කාලය කියන්නේ. ළමා කාලය තුළදී තමයි මව්පියන්ගේ ආදරය, පවුලේ ආදරය උපරිමයෙන් ලැබෙන කාලය. මට මගේ මව්පියන්ගෙන් උපරිමයෙන්ම ආදරය ලැබුණා. මගේ මව්පියන් කලාවට ළැදි දෙපළක්. ඒ වගේම මගේ පවුලේ අනිකුත් සහෝදර සහෝදරියන් ද කලාවට ළැදි වුණා. ඒ නිසා කලා පවුලක අන්තිමයා විදිහට තමයි මම උපත ලැබුවේ. මගේ මව්පියන් ඇතුළු සියලු දෙනාගේම නොමද ආදරය, පිළිගැනීම, හැකියාවන් අගය කිරීම මට නොඅඩුව ලැබුණා. මගේ මුල්ම ප්‍රේක්ෂකාගාරය වුණේ මගේ ගේ ඇතුළ කියලයි අදටත් මම විශ්වාස කරන්නේ. මට මුලින්ම ගෘහස්ත ප්‍රේක්ෂකාගාරයක් තමයි තිබුණේ. 

සුනිල් එදිරිසිංහයන් අධ්‍යාපනය ලැබුවේ මොන පාසලේදී ද?
මම මුලින්ම කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය ලැබුවේ. ඕනෑම දරුවෙකුට විශේෂ හැකියාවක් තියෙනවා නම් එයාව කැපී පෙනෙනවානේ. මට ඒක පාසලේදීත් ලැබුණා. ගායන හැකියාවක් විතරක් නෙමේ නාට්‍යවල රංගනයටත් ඉදිරිපත් කිරීමටත් ඇතැම් ගුරුවරු මාව යොමුකළා. පන්තියේ සිංහල සාහිත්‍ය පාඩමේදී අපිට ගුත්තිල කාව්‍ය, සැලලිහිණි සංදේශ කාව්‍යවල කොටස් සිංහල විෂය තුළදී ඉගෙන ගන්න සිදුවුණා. ඒ හැම මොහොතකදීමත් පාසලේ කවි ගායනයේදීත් අනිවාර්යෙන්ම මම තමයි ඒ කවිය කියවන්න ඉන්නේ. 

පාසලේදී කලා ප්‍රසංගයක් හෝ කලා නිර්මාණයක් තිබුණොත් මම ඒකට ඉන්නවාම තමයි. ගීත ගායනා තරගවලට පාසලේන් මාව ඉදිරිපත් කරලා. මම ඒ තරගවලින් ජයග්‍රහණ ලබලා තියෙනවා. ජීවිතයම හරියට ගීතයක් වගේ තමයි. කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටපු මම මාස තුනක් සපුගස්කන්ද මහ විද්‍යාලයෙන් පසුව දෙල්ගොඩ කල්‍යාණප්‍රදීප පිරිවෙනින් උසස් පෙළ හැදෑරුවා. ඒ පිරිවෙනින් ඒ කාලේ උසස් පෙළ ඉතා විශිෂ්ඨ වාර්තා තිබුණා. ඒ නිසා මගේම කැමැත්තෙන් මම ඒ පිරිවෙනේ ඉගෙන ගත්තා. 

මුල්ම රැකියාව වුණේ මොකක්ද?
උසස් පෙළ විභාගයෙන් මම විශ්වවිද්‍යාලයට යාමට සුදුසුකම් ලැබුණේ නැහැ. ඒ නිසා 1969 වසරේදී මම රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ ලිපිකරුවකු විදිහට සේවයට බැදුණා.

ඒ රැකියාව කරමින් සිටිනා කාලයේදී ද “මාතර ආච්චි චිත්‍රපටයට ඔබට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ?
ඔව්.. මගේ අයියා මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මට කවදාහරි චිත්‍රපටයක් හදන්න ආසාවක් තියෙනවා. ඒ සිහිනය සැබෑ වුණොත් අනිවාර්යයෙන්ම මම ඔයාට සින්දුවක් කියන්න අවස්ථාවක් ලබලා දෙනවා කියලා කිව්වා. ඒ විදිහට මගේ අයියා (සතිස්චන්ද්‍ර එදිරිසිංහ) මුලින්ම අධ්‍යක්ෂණය කරපු “මාතර ආච්චි චිත්‍රපටයේදී මට අයියා වෙච්චි පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉෂ්ට කළා. 1970 දී තමයි “මාතර ආච්චි* චිත්‍රපටයට “සඳකඬ පහනක කැටයම් ඔපලා ගීතය ගායනා කරන්න මට අවස්ථාව ලැබුණේ.

සඳකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුණු ලැඟුම් ගනී
කැළතුණු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ...

ඒ ගීතය ලිව්වේ වොලී නානායක්කාර මහතායි. සංගීතවත් කළේ ආචාර්ය වික්ටර් රත්නායකයන්. “මාතර ආච්චි චිත්‍රපටය එතුමාගේ මුල්ම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයයි. වික්ටර් රත්නායක මහත්තයා එවකට තනු රාශියක් හදලා ඉතා ජනප්‍රිය කෙනෙක්. නමුත් විත්‍රපටයකට සංගීත අධ්‍යක්ෂණය මුලින්ම කළේ “මාතර ආච්චි චිත්‍රපටයෙයි. ඒ නිසා “මාතර ආච්චි චිත්‍රපටයේ කිහිපදෙනකුගේ ජීවිතේ මුල්ම සංදිස්ථානයක් වුණා. වොලී නානායක්කාර මහත්තයාගේ මුල්ම තනු නිර්මාණයයි. මගේ අයියගේ මුල්ම චිත්‍රපට අධ්‍යක්ෂණයයි. මගේ මුල්ම ගායනයයි. ඒ වගේම වික්ටර් රත්නායකයන්ගේ මුල්ම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයයි.

“මාතර ආච්චි චිත්‍රපටයෙන් පසුවද සංගීත පිළිබඳව ඔබ වැඩිදුර හැදෑරුවේ?
ඔව්.. සඳකඩ පහනක ගීතයෙන් පසුව එදා ඒ ශබ්දාගාරයේදීම වික්ටර් අයියයි, මගේ අයියයි දෙන්නම මට කතා කරලා. “මල්ලී ඔයාට ගොඩක් දුර ගමනක් යන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා ඔයා සංගීතය හැදෑරුවොත් ඒ ගමන යන්න ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. කියලා කිව්වා. “ඔයා සංගීතය හැදෑරුවේ නැත්නම් මගේ ඊළඟ චිත්‍රපටයේ ගීත ගායනා කරන්න දෙන්නේ නැහැ. කියලත් මගේ අයියා කිව්වා. ඉතින් ඒ දෙන්නාගේ කීම නිසාම මම ඒ ගැන උනන්දු වුණා. මම මගේ නිමල් අයිය එක්ක දවසක් පී.වී. නන්දසිරි ගුරු පියාණන් මුණගැසී ඔහු යටතේ සංගීතය ඉගෙන ගත්තා. වසර තුනක් පමණ ඉගෙන ගන්නා අතරතුරේ නන්දසිරි ගුරු පියාණන් එක්කම ඉන්දියාවට ගිහින් ලක්නව් හි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයේ පළවෙනි විභාගයට මම පෙනී සිටියා. ඊට පස්සේ ආයෙත් මම 1975 වසරේදී මධ්‍යම ඩිප්ලෝමා විභාගය කරන්න ගියා. විශාරද විභාගයේ ප්‍රථම කොටස මම ශ්‍රීපාලියේදී හැදෑරුවා. 

රෝහණ වීරසිංහයන් සහ සුනිල් එදිරිසිංහයන් මුණගැසීමත් හරි අපූරු මතකයක්නේ? කොහොමද ඒ මුණගැසීම සිදුවුණේ?
රෝහණ මට මුණගැහුණේ මේ සංගීතයටත් එන්න කලින්මයි. සපුගස්කන්ද විද්‍යාලයේ ඉගැන්වූ මගේ අක්කා කෙනෙක් ඒ අය ගියපු නුවරඑළියේ විනෝද චාරිකාවකට මාවත් එක්කගෙන ගියා. අපි කෝච්චියේ තමයි ගියේ. දවස් දෙකකට අපි එහේ පොඩි නිවහනක් වෙන්කරලා තිබුණේ. හැබැයි තුන්වෙනි දවසෙත් මේ අයට නුවර ඉන්න හිතුණා. හැබැයි ඒ නිවසේ ඉන්න බැහැ. ඔය අතරේ මගේ අක්කා අයියාගෙන් “වෙන තැනක් හොයලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. රාජා වීරසිංහ කියන නුවරඑළියේ යාළුවාට කියලා අපි ඊට පස්සේ එහෙට ගියා. අපි තේ එහෙම බීලා සාලේ කතා කර කර ඉදිද්දී චිත්‍රා ගුරැතුමිය “මේ මල්ලිටත් හොඳට සින්දු කියන්න පුළුවන් කියලා කියද්දී, ඒ ගෙදර අය මගේ වයසේ පිරිමි ළමයෙක් පෙන්නලා “මෙයාටත් සින්දු කියන්න පුළුවන් කියලා කිව්වා. ඒ තමයි රෝහණ වීරසිංහ. 

දැන් ඉතින් දෙගොල්ලොන්ගේම ඉල්ලීමට අනුව අපි දෙන්නා හැමෝටම ඇහෙන්න සින්දු කිව්වා. ඒ තමයි අපේ මුල්ම මුණගැසීම. එතකොට මගේ වයස අවුරුදු දහතුනක් විතර ඇති. ඊට පස්සේ අවුරුදු පහකට විතර පස්සේ ගායනය පුරුදු වෙන්න වික්ටර් රත්නායක මහත්තයාගේ ගෙදරට යද්දී ඒ සමූහ ගායනාවලට සහභාගී කරගන්න තරුණයෝ පිරිසක් ඇවිත් හිටියා. එතන රෝහණ වීරසිංහත් හිටියා. ඊට අමතරව බන්දුල විජේවීර, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි වගේ අයත් හිටියා. ඔන්න ඔහොම තමයි රෝහණ මට දෙවැනි වතාවට කලා කටයුත්තකදී මුණගැහුණේ. 

ආදරණීය බිරිඳ මුණගැහුනේ කොහොමද?
මගේ බිරිඳගේ නම නන්දනී මුණසිංහ. මගේ අම්මාගේ ලොකුම ඉල්ලීම වුණේ එයාගේ කැමැත්තත් මගේ කැමැත්තත් එක්කම මගේ විවාහය සිදුකරන්නයි. මගේ අක්කලාට අම්මට ගැලපෙන සහකාරියක් හොයාගන්න කියල තමා මට කීවේ. ඉතින් මගේ අක්කා නුවර මහවැලි ගඟ අසළ ඉඩමක් අරන් තිබුණා මුල් කාලේදී ඒ ඉඩම බලලා එන අතරමඟදී ප්‍රධාන පාර අයිනේ තිබුණු ගෙයකටත් ගොඩවෙලා යමු කියලා අක්කා මට යෝජනා කළා. “එතනත් ගෑනු ළමයි කිහිපදෙනෙක් ඉන්නවා. අපි බලමුකෝ. කියලත් අක්කා මට කිව්වා. මගේ නෝනා අපිට සංග්‍රහ කටයුතු කරන්න ඉස්සරහට ආවා. අපි කතාබහ කළා. ඒ ගෙදරින් එළියට පඩිපෙළ බහිද්දී මගේ අක්කා “ඒ ළමයා හොඳයි ද කියලා ඇහුවා. “ඔව්.. එයා හොඳයි.. ආයේ මට කවුරුවත් හොයන්න එපා. එයා තමයි මට ගැලපෙන්නේ. කියලා මම කිව්වා. 

අපි දෙන්නා විවාහ වුණා. අපිට පුතෙකුයි, දුවෙකුයි ඉන්නවා. පුතා සංඛ එදිරිසිංහ, දුව සංඛනී එදිරිසිංහ. පුතා විවාහ වුණේ සුමුදු කුමාරි දුව එක්කයි. දැන් එයාලට චූටි දූවරු දෙන්නෙක් ඉන්නවා. ඒ රිදී කුමාරි සහ රැවා කුමාරියි. දුවටයි පුතාටයි දෙන්නටම ගායන හැකියාව තියෙනවා. මේ ප්‍රසංගයේ ඒ දෙන්නා විතරක් නෙමේ මගේ චූටි මිණිපිරි දෙන්නත් ගීත ගායනා කරනවා. පුතයි, දුවයි එකට වේදිකාවේ මුල්ම වතාවට ගී ගයන්නේ අගෝස්තු තුන්වෙනිදායි. ඒක සොඳුරු සැඳෑවක් වේවී.  

 

► Text - Dishani  /   Pic -  Internet