අවුරුදු තිස් දෙකක් වයසැති කඩයක් සොයාගෙන ගිය අපි පසුගිය දවසක දේශය හදසර වෙනුවෙන් අපූරු කඩයකට ගොඩ වුණා. ගම්මානයක අසිරිය ගත්ත මෙය රූපවාහිනී මහ ගෙදර වුණු ස්වාධීන රූපවාහිනී සේවය පරිශ්‍රයේම තමයි මේ කඩය පිහිටලා තිබුණේ. දාම් අතක් ඇදලා, කෙසෙල් ගෙඩියකුයි හැලපයකුයි කාලා හාමිනේ හදලා දීපු උණු උණු රස කහට උගුරක් බීලා කෝපි කඩේ මේ අයත් එක්ක ආ ගිය කතා ටිකක් කතා කරන්නත් අපි අමතක කළේ නැහැ.
තේවිස් ගුරුගේ මහත්තයා ආධුනික ශිල්පීන් සඳහා වැඩමුළුවක් පැවැත්වුවා. දීපව්‍යාප්තව ප්‍රචාරය කරලා ඉල්ලුම්පත්‍ර කැඳවලා තමයි මේක කළේ. ඒකට අපිත් ඉල්ලුම්පත්‍ර දැම්මා. ඒකෙදී සම්මුඛ පරීක්ෂණ තුනක් තිබ්බා. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වුණු මේ පරීක්ෂණයෙන් දාසය දෙනෙක් තෝරාගත්තා. ඔවුන්ගෙන් තමයි මේ කෝපි කඩේ ටෙලිනාට්‍ය නිර්මාණය කළේ.
කෝපි කඩේ ටෙලිනාට්‍ය ආරම්භ වුණේ 1987 අප්‍රේල් මාසේ පළවැනිදා. (හරියටම කිව්වොත් මෝඩයාගේ දවසෙයි) එදා සිට අද දක්වාම කෝපි කඩේ රඟපාන සිරිසේන ළමයා (ජයරත්න රූපසිංහ) මෙන්න මෙහෙමයි කෝපි කඩේ ආරම්භය ගැන අපිට කිව්වෙ. මේ කතාව ඇත්ත බව ඔප්පු කරන්න හොඳම සාක්ෂිකරුවා වුණේ ගමේ ග්‍රාමසේවක රාළහාමියි. සිරිසේන ළමයා කතාව කියද්දී රාළහාමිත් (ආරියසේන හඳුවෙල) අපි ළඟින්ම ඉඳලා ඒ කතාව අනුමත කළා. ආරම්භයේ සිටම ගමේ ග්‍රාමසේවක වුණු මේ රාළහාමිගේ පත්වීමටත් දැන් අවුරුදු තිස් දෙකක්. පදනම් ආයතනයේ තිබුණු පාඨමාලාවේ ඉඳන් මේ දක්වාම කෝපි කඩේ ඉන්නෙ සිරිසේන ළමයයි රාළහාමියි විතරයි. මුලින්ම වහෙන් ඔරෝ කතාංගය තමයි කෝපි කඩේ විකාශය වෙලා තියෙන්නේ. ඒ කතාව ගෙතුණේ කෝපි කඩේ හාමිනේ, මුදලාලි, දුව හා පුතා වටායි.
අඩු වියදමකින් වැඩි වාර ගණනාවක් පෙන්වීමත්, සමාජයේ ජීවත්වෙන කළු සුළු චරිත ඔස්සේ කතා මාලා විකාශය කරවීමත් ගුරැගේ මහත්තයාගේ අදහස වුණා. ඒ අනුව කුරුං ගුරුං වැනි චරිත හරහා කතාව අවසානයේ දී යම්කිසි උපදේශයක් දීම තුළින් හිතන්න යමක් ඉතිරි කළා.
මේ වසර තිස් දෙකට කෝපි කඩේ වටා බොහෝ පිරිසක් එකතු වුණා. ඔවුන් තම ශ්‍රමයෙන් රංගනයෙන් මේ සඳහා දායක වුණා. ඒ අතරේ කෝපි කඩේ හැරගිය පිරිස මෙන්ම ජීවිතය හැරගිය පිරිසක් ද සිටිනවා. අද වන විට එවැනි ජීවිතය හැරගිය දහතුන් දෙනෙක් පමණ නම් කිරීමේ හැකියාව තියෙනවා. හාමිනේගේ අම්මා (දෙනවක හාමිනේ), රත්නේ මල්ලී, පොලී මුදලාලි, අලිජේමිස්, සොමිනෝනා, අබිලින්, ඇලිස්, එල්සිනා වැනි කෝපි කඩේ නාමයෙන්ම අදටත් මිනිසුන් හඳුනාගන්නා කලාකරුවන් කිහිප දෙනෙක්ම අද ජීවතුන් අතර නැහැ. ගමෙන් වියැකී යන පන්මල්ල, කුල්ල වැනි බොහෝ දෑ අද දරුවන්ට පෙන්වන්නට හොඳම නාට්‍ය කෝපිකඩේ නාට්‍ය මාලාවයි.
කොළඹ ගම කියන දේ දකින්නේ හරිම අඩුවෙන්. කොළඹ ජීවත්වෙන බොහෝ දරුවන් ගමක් දැකලා නැහැ. කෝපි කඩේ නිර්මාණය කරලා තියෙන්නෙ මේ නැතිවුණු ගම පෙන්වන්නයි. ගමේ තිබෙන හැම චරිතයක්ම මේ කෝපි කඩේ ඇතුළේ තියෙනවා. කෝපි කඩේ මේ තරම් ජනප්‍රිය වෙන්න හේතුව වෙන්නෙ මේ ඉන්න චරිත හැම කෙනෙක්ම බොහෝ දෙනෙක්ට ඉතා සමීප වීමයි. රටේ සිදුවන කාලීන සිදුවීම් අපේ කෝපි කඩේ තුළින් කතා කරනවා. මේ අවුරුදු තිස්දෙක පුරාවට කෝපි කඩේ ජනප්‍රිය වන්නේ මේ රටේ මිනිසුන්ගේ ආදරයත් එක්කමයි. යැයි කෝපි කඩේ නිෂ්පාදක මංගල රදලියගොඩ අපිත් සමඟ පැවසුවා.
කෝපි කඩේ අධ්‍යක්ෂකවරුන් දෙන්නෙක් ඉන්නවා. සමන් විතානගේත්, චන්දික විජේසේනත් බෙදා හදාගෙන මාරුවෙන් මාරුවට කෝපි කඩේ අධ්‍යක්ෂණය කරද්දී මේ දෙන්නට සහාය දෙන්නෙ, ඒ කියන්නේ සහාය අධ්‍යක්ෂකවරයා වෙන්නේ ප්‍රභාත්. පිටපත අතේ තියාගෙන අපේ රංගන ශිල්පීන් ශිල්පිනියන්ට දෙබස් කියන්නෙත් ප්‍රභාත් තමයි. මුලින්ම මෙහි අධ්‍යක්ෂණයට රංගනයට රංගන ශිල්පීන් සම්බන්ධ වෙද්දීනම් මොවුන් අවුරුදු විසි ගණන්වල තරුණයෝ. හැබැයි ඉතින් තවමත් ඒ තරුණකමත් එක්ක මෙයාලා කෝපි කඩේ අධ්‍යක්ෂණය කරනවා. රඟපානවා. මුලින්ම කෝපි කඩේ රූපගත කළේ කැමරා තුනකින්. ඒ කැමරා තුනෙන් එන රූප කොටස කුඩා බස් රථයකදී තමයි කපලා කොටලා සංස්කරණය කරලා කෝපි කඩේ නිර්මාණය වුණේ. නමුත් අද වෙද්දී මෙය තනි කැමරාවකින් රූගත කිරීමට හැකියාව ලැබිලා තියෙනවා. එයට විශාල පිරිවැයක් දරන්න සිදුවෙන්නෙ නැහැ. කෝපි කඩේ කියන්නෙ සැබැවින්ම කණ්ඩායමක්. පවුලක්. හැමෝම එකා මෙන් වැඩ කිරීම මෙහි විශේෂත්වයක්.
කෝපි කඩේ ආරම්භයේ දී මෙය විකාශනය වුණේ සෑම බදාදාවකම රාත්‍රී අටයි තිහටයි. නමුත් මේ අවුරුදු තිස්දෙකක කාලය තුළදී වරින් වර කෝපි කඩේට කුඩම්මාගේ සැලකිලි නොලැබුණාම නෙමෙයි. සමහර කාලවලදී මේ සඳහා ස්ථිර කාලසීමාවක් තිබුණේ නැහැ. නමුත් ස්වාධීන රූපවාහිනී සේවයේ වත්මන් සභාපතිනියගේ විශේෂ සැලකිල්ලකට ලක්වුණු කෝපි කඩේ අද වන විට සෑම සෙනසුරාදා හා ඉරිදාවකම රාත්‍රී හතයි තිහට විකාශය වෙනවා.
කෝපි කඩේ ඩිංගි මහත්තයා (කේ.ඩී. සිරිපාල) කියන්නෙත් එසේ මෙසේ ජනප්‍රිය නමක් නෙමේ. ඩිංගි මහත්තයා වගේ කෑගහලා ගජන්ට රත්නේ මල්ලිට කතා කරපු පුරුද්දක් ගමේ ගැමියන්ට තිබුණා. ඔය අතරේ ඩිංගි මහත්තයාගේ කෑගැහිල්ල අනුකරණය කරන කොල්ලොත් අපේ සමාජයේ අද ඕන තරම් ඉන්නවා. වචන පටලවන කෙනෙක් දැක්කොත් ආ.. ඩිංගි මහත්තයා වගේ.. කියන්නෙත් ඒ හුරුපුරුදු ගතිය නිසාමයි.
කෝපි කඩේ හාමිනේ (රත්නා සුමනපාල) කියන්නෙත් මෙහි ආරම්භයේ ඉඳන්ම හිටපු චරිතයක්. අදටත් කෝපි කඩේ තේ හදන්නේ මේ හාමිනේම තමයි.
තේවිස් ගුරුගේ මහත්තයාගේ සංකල්පයකට අනුව පටන් ගත්ත කෝපි කඩේ මුලින්ම ස්වාධීන රූපවාහිනිය ඇතුළේ නෙවෙයි තිබුණේ. ඒ කාලේ මේ මුළු පළාතම කැලෑවක්. කෝපි කඩේ හදලා අපි සතියකට දවස් තුනක් වගේ තමයි රූගත කිරීම් කළේ. අපි ඒ දවස් තුන රූගත කරලා කඩේ වහලා ගිහින් ඊළඟ දවසට එද්දී කඩේ ඇතුළේ මුළුවල කුණකටුවෝ, පොළොන් පැටව්, පත්තෑයෝ හිටියා. හැමදාම රූගත කිරීම් කරන්න කලින් කට්ටියම කඩේ හිටපු ඒ සතුන් අයින් කළා. ඒක ඒ කාලේ හරිම ලොකු අත්දැකීමක් වුණා. ඒ වගේ දුෂ්කර ගමනක් තමයි අපි මේ ආවේ. අපි මේක කළේ බොහොම අඩු මුදලකට. හැබැයි අපි හරිම කැමැත්තෙන් මේකට සම්බන්ධ වුණා.
එහෙම කිව්වේ කෝපි කඩේ හාමිනේයි.
කෝපි කඩේ ආරම්භ වී වසරක් ගෙවෙද්දී කෝපි කඩේ හාමිනේ හාමිනේ හැර ප්‍රධාන චරිත තුනක් සහ අධ්‍යක්ෂක ඇතුළු කිහිප දෙනෙක්ම මෙයින් ඉවත් වෙන්න තීරණය කර තිබුණා. කෝපි කඩේ කේන්ද්‍ර කොටගත් ප්‍රධාන චරිත තුනක්ම අස්වෙන්න තීරණ කරද්දී කෝපි කඩේ නතර කර දමන්නට ස්වාධීන රූපවාහිනී සේවය තීරණය කර තිබුණා. ගුරුගේ මහත්තයා හාමිනේගෙනුත් ඇගේ කැමැත්ත විමසලා තිබුණා. මම හිටියොත් කෝපි කඩේ ඉදිරියට කරගන්න පුළුවන් වෙයිද? හාමිනේ ඇසූ පැනයට ඔව්.. ඔබතුමිය හිටියොත් අපිට මේක ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ගුරුගේ මහත්තයාගේ උත්තරය වුණා.
අවුරුද්දක් විකාශය වූ තැන නතර වෙන්නට සූදානම් වූ කෝපි කඩේ හාමිනේ නිසාම ඉදිරියට පෙළගැසුණේ එහෙමයි. එදාමෙදාතුර බොහෝ පිරිසක් කෝපි කඩේ එක්ක එකතු වෙනවා. හාමිනේ, ග්‍රාමසේවක, සිරිසේන, ගීතා නගා, සුගතන්, ඩිංගි, සෝමදාස, අප්පු, බණ්ඩා වැනි චරිත අදටත් අපි අතරේ ඕන තරම් ඉන්නවා. නිර්මාණයකට කොයි තරම්නම් ඔවුන් කැපවෙනවාද කියනවානම් අපි රූගත කරන දවසට පහුවදා රූගත කිරීමට නයෙකු ගෙන එන්නට හැමෝම කතා වුණා. ඒ කතාවට අවශ්‍ය නිසායි.
ඇන්ටි.. නයාට බිත්තරයක් දෙන්න පුළුවන්ද? කියා හාමිනේගෙන් කෙනෙකු ඇසූ සැණින් හරි.. දෙමු යැයි හාමිනේ සැණින් දුන් පිළිතුරින් සමහරු පුදුමයට පත් වුණා.
වසර තිස් දෙකක් කෝපි කඩේ ඔබ වෙත ගෙන එන්නට ඔවුන් හෙළූ දහඩිය, මහන්සිය සුළුපටු නැහැ. තිරයේ ඉදිරිපස විතරක් නෙමේ, තිරයේ පිටුපස සිටත් බොහෝ දෙනෙක් මේ වෙනුවෙන් මහන්සි වෙනවා. අපේකම මුළු ලෝකයටම කියනා කෝපි කඩේ ඇත්තන්ගෙන් සමුගන්නට මත්තෙන් අපි සිරිසේන ළමයා එක්ක දාම් අතක් අදින්නත් අමතක කළේ නැහැ.
► Text - Dishani & Pic - Sumudu