2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

කකුල් දෙකින් ගැට ගහලා මාව ගහක එල්ලුවා

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 12:31 94

අධ්‍යාපනය ලැබුවේ මොන පාසලින්ද?
මම මුලින්ම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් තමයි ඉගෙන ගත්තේ. නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගයෙන් පාසල් මට්ටමෙන් ජයග්‍රහණ ලැබුවාට පසුව මට කොළඹ මහනාම විද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා.

පුංචි කාලේ මොන වගේ චරිතයක් ද?
පුංචි කාලේ මම නැට්ටුක්කාරයෙක්. වැඩිපුරම ආසාව තිබුණේ නටන්නම තමයි. මම වෙස් නර්තන ශිල්පියෙක්. මට ගුරුවරු බොහෝමයක් හිටියා. රිච්මන්ඩ් විද්‍යාලයේ ගුරුවරු සියලුදෙනා වගේම එම පාසලේ මට වඩා වැඩිමහල් සහෝදර අයියලා බොහෝමයක් මට නර්තනය ඉගැන්නුවා. කොළඹට ආවට පස්සේ මම චන්න විජේවර්ධන ගුරැතුමා යටතේ නර්තනය හැදෑරුවා. ඒ වගේම පසුකාලීනව මම ඔහු යටතේ කෙටිකාලයක් වැඩත් කළා. එතනදී තමයි මා තුළ නර්තනය විතරක් නොවේ. රංගනයත් යම්තාක් දුරකට තියෙනවා කියලා තේරුම් ගත්තේ. පුංචි කාලේ ඉඳන්ම මම ආස කළේ නැට්ටුක්කාරයෙක් වන්නයි. චන්න සර් ළඟට ආවට පස්සේ තමයි කලාව අතපත ගාන්න මට අවස්ථාව ලැබුණේ. ඒ කාලේදී මම ඒලෙවල් කරන ශිෂ්‍යයෙක්. ඊට පස්සේ තමයි “මට නටන්නත් පුළුවන් රඟපාන්නත් පුළුවන් කියලා මම තීරණය කළේ. සටන් හැකියාවකුත් තියෙන නිසා මම ගැලපෙන්නේ සිනමාවට කියලා තීරණය කළා. 

සම්මු.. රංගනයට සම්බන්ධ වෙනවාට මව්පියෝ කැමති වුණාද?
නැහැ.. මුලදී නම් ඒ දෙන්නම කිව්වේ විශ්වවිද්‍යාලයේ යන්න කියලා. නමුත් මගේ විශ්වවිද්‍යාල ගමන විතරක් නොවේ මගේ කලා ගමනත් මට යන්න ඕනේ කියලයි.. ඒ නිසා මම කලා විෂය ධාරාව තෝරාගෙන ඉගෙන ගත්තා. මුලින් මට විශ්වවිද්‍යාලයට යන්න වරම් ලැබුවේ නැහැ. ඊට පස්සේ තමයි මම ඉන්දියාවට ගියේ.

ලංකාවෙන් ඉන්දියාවට ගිය මුල් කාලේදී ලබපු අත්දැකීම් මොනවාද?
බොහෝ අත්දැකීම් ලැබුවා. ඉන්දියාවේ මම හඳුනන කෙනෙක් හිටියේ නැහැ. මම ඒ රටට ගියේ තනියමයි. ඉංග්‍රීසි, හින්දි භාෂාවල් මම දැනගෙන හිටියේ නැහැ. මම ඉන්දියාවට ගියේම “කොහොම හරි රංගන ශිල්පියෙක් වෙනවාමයි. කියන අධිෂ්ඨානයත් එක්කමයි. පාසල් කාලේදී මම දර්ශන ප්‍රමෝද්ව හඳුනාගෙන හිටියේ. අපි දෙන්නම එකම පන්තියේ. ඔහු හරහා මට කෞෂල්‍යා වික්‍රමසිංහම හඳුනාගන්න අවස්ථාව ලැබුණා. ඉන්දියාවේ ඉන්න අතරතුරේදී “සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ගැන කෞෂල්‍යා අක්කා මට කිව්වට පස්සේ මම ලංකාවට ආවා. මම සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වුණා. මට හින්දි භාෂාව හසුවරුවන්න පුළුවන් නිසා එම චිත්‍රපටයේ තුන්වන සහය අධ්‍යක්ෂකවරයා විදිහට මාව තෝරා ගත්තා. ඒ හරහා එම චිත්‍රපටයේ අධ්‍යක්ෂක සමන් වීරමන් මහතාව හඳුනාගන්න අවස්ථාව ලැබුණා.

එම චිත්‍රපටයේ රංගනයට දායක වෙන්න අවස්ථාව ලැබුණේ නැද්ද?
ඇත්තම කිව්වොත් එක චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබුණා. හැබැයි අවසානාවකට ඒ චිත්‍රපටය සංස්කරණය කරද්දී මගේ චරිතයේ තියෙන කොටසක් අයින් වෙලා තිබුණා.. මගේ අම්මට, තාත්තට, පවුලේ අයට, යාළුවොන්ටත් “මමත් රඟපානවා කියලා කිව්වට චිත්‍රපටය බලද්දී ඒකේ මම හිටියේ නැහැ. ඉතින් දුකකුත් ඇති වුණා.

“ආලෝකෝ උදපාදී චිත්‍රපටය සම්මුගේ ජීවිතයට ආලෝකයක් ගෙනාවේ කොහොමද?
ඔව්.. ඔය කාලේදී මම ලංකාවේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ දවසක් සමන් සර් “පුතේ... අපි අලුතින් චිත්‍රපටයක් කරනවා. ඒකට ඔයාගේ සහය ඕනේ කියලා කිව්වා. ඒ චිත්‍රපටයේ මම දෙවන සහය අධ්‍යක්ෂවරයා විදිහට තමයි කටයුතු කළේ. ඔය මම රඟපාපු “ගෝදන්ත හිමියන්ගේ චරිතයට කට්ටිය හෙව්වා. මුලින්ම මේ චරිතයට චක්‍ර වීරමන් ඇතුළු කණ්ඩායම යෝජනා කළෙත් මගේ නමයි. නමුත් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු නිසා මම ඒ චරිතය රඟපාන්න බාරගත්තේ නැහැ. මට ඒ වෙද්දී ඕනවෙලා තිබුණේ ආපස්සට කොහොම හරි ඉන්දියාවට යන්නයි. ඉන්දියාවේ හිටපු මුල් මාස හය ඇතුළත මම ඒ රටේ වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් විදිහට නිර්මාණ තුනකට ප්‍රධාන චරිතවලට සම්බන්ධ වෙලයි තිබුණේ. ඉන්දියාවට ගිහින් මාස දෙකක් ඇතුළත මම හින්දි භාෂාව ඉගෙන ගත්තා. ඒ රටේ කලාකරුවෙක් විදිහට ඔවුන් මාව ඒ රටේදී ලියාපදිංචි කරලයි තිබුණේ. ඒ නිසා ඉතා ඉක්මනින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව ඉන්දියාවට යන්නයි මට ඕන වුණේ.  

එහෙම යන්න හීන දැකපු සම්මු ගෝදත්තගේ චරිතය බාරගත්තේ ඇයි?
ජනප්‍රිය රංගන ශිල්පීන් කිහිපදෙනෙක් මේ සඳහා යෝජනා කළාට ඒවා සාර්ථක වුණේ නැහැ. අලුත් කෙනෙක් හොයද්දීත් ඒකත් අසාර්ථක වුණා. අවසානයේදී චක්‍ර වීරමන් සහ කණ්ඩායමෙන් නැවතත් කළ යෝජනාවට අනුව මම මේ චරිතය කරන්න බාරගත්තා. මගේ අම්මාගේ උපන් දිනය යෙදිලා තිබුණේ අප්‍රේල් මාසේ දෙවැනිදා. එදා රෑ එකොළහමාරට විතර චක්‍ර වීරමන්, සමන් වීරමන්, ඇතුළු සියල්ලන්ම අපේ ගෙදරට ඇවිත් මාව මේ චරිතයට සුදුසු කියලා තෝරාගත්තා. ඒ තමයි මම එදා අම්මාට දීපු උපන් දින තෑග්ග වුණේ.

ගෝදත්ත චරිතය අත්දැකීම් බොහෝමයක් විඳපු චරිතයක්? එහෙම නේද?
ඔව්.. ඒ අත්දැකීම් නම් බොහෝයි. මම ඉන්දියාවේ රංගනය හදාරද්දී බොහෝ ඉන්දියානු නිර්මාණකරුවන් ආශ්‍රය කරන්න අවස්ථාව ලැබුණා. ඒ ඔස්සේ රංගනයට කැපවිය යුතු අන්දම ගැන මම ඉගෙන ගත්තා. මම මේ චරිතය වෙනුවෙන් සතියක කාලයක් ආරන්‍ය ගතවෙලා ඒ වත්පිළිවෙත් ඉගෙන ගත්තා. ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාත වඩින වදිහ, දානය වළදන විදිහ, භාවනා කරන විදිහ මම ඒ ඔස්සේ ඉගෙන ගත්තා. හැබැයි ගෝදත්ත චරිතය ඊට වඩා බැරෑරුම්. සමන් වීරමන් මහත්තයා ගෝදත්තගේ දඬුවම වෙනස් කරන්න තීරණය කරද්දී “නැහැ අපි ඒකම කරමු. කියලා කිව්වෙත් මමයි. එක දවසක හවස හතට විතර මගේ කකුල් දෙකින් ගැට ගහලා මාව ගහේ එල්ලුවා. ඒ වෙලාවේ සිට පසුවදා පාන්දර පහ විතර වෙනකන් රෑගත කිරීම් කළා. ඒක වෙනස්ම අත්දැකීමක්. හිතේ හයියයි, කණ්ඩායමේ හැමෝගෙම උනන්දුවෙනුයි ඒ කොටස හොඳට රූගත කිරීම් කරන්න පුළුවන් වුණා.

“ආලෝකෝ උදපාදි චිත්‍රපටයෙන් පසුව සම්මුට දායක වෙන්න ලැබුණු වෙනත් නිර්මාණ මොනවාද?
ආලෝකෝ උදපාදී චිත්‍රපටයෙන් පසුව නිර්මාණ කිහිපයකටම අවස්ථාව ලැබුණා. නමුත් මට ඕනේ වුණේ සිනමා රංගන ශිල්පියෙක් වෙන්න විතරයි. ගුණාත්මකභාවයෙත් ඉහළ නිර්මාණයක් ලැබුණොත් මම බාරගන්නවා. ඒ අනුව “යසෝදරා චිත්‍රපටයේ ඡන්නගේ චරිතය මම රඟපෑවා. ටෙලිනාට්‍යය බොහෝමයකට ආරාධනා ලැබුණත් මම ඒවා බාරගත්තේ නැහැ. මේ දිනවල ලැබුණු සිනමා නිර්මාණයක පිටපත මම කියවමින් ඉන්නේ. ඊට අමතරව මම අගෝස්තු මාසේ 14 වැනිදා මේ රට තුළ දේශපාලනීය වශයෙන් හා සමාජීය වශයෙන් අසරණ වෙලා ඉන්නා මිනිසුන් වෙනුවෙන් කෙටි චිත්‍රපටයක් කරන්න සූදානම් වෙනවා.   

 

► Text - Dishani &  Pic - Sumudu