2017 මාර්තු 11 වන සෙනසුරාදා

මේක ආදේශ් අරන් දුන්නු ඇඳුමක්...

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

 

අද ඉරිදා දවසක්. මට පල්ලිය මතක් වුණා. වෙනදට මේ වෙලාවට අපි උදේ පූජාවට ලෑස්ති වෙනවා. මම හිටියේ ඇඳ විට්ටමට ඔළුව තියාගෙන. මම කියවන්න ගත්ත නවකතාෙව් අන්තිමට කියවපු පිටුව මගේම අතට යටවෙලා පොඩිවෙලා ගිහින්. සුබ උදෑසනක් ප්‍රර්ථනා කරමින් මගේ කාමරයට පැමිණි ජානා ඇඳේ පසෙකින් ඉඳ ගත්තේ ඈ ගෙනා තේ බන්දේසිය ඇඳ අසල කුඩා ස්ටූලයේ තබමින්. 

චොක්ලට් එක්ක උණු උණු කිරි කෝපි... ෂා නියමයි...

චොක්ලට් සමඟ උණු කිරි කෝපි පානයට මම ඇත්තටම ප්‍රිය කළා.

රසද?

හ්ම්... නියමයි....

උදේට මොනවද කන්න කැමති.., අපි උදේට චීස් සැන්ඩ්විච් හදලා ඇපල් ජූස් හදමු 

ජානා 

මොකෝ 

කාටවත් බරක් වෙලා මට හැමදාමත් මෙහෙම ජීවත් වෙන්න බෑ... ඉක්මනට මම මොකක් හරි රස්සාවක් හොයා ගන්න ඕනෑ... 

පිස්සු නැතුව ඉන්න මට උඹ ඉන්න එක බරක් නෙවයි.... අපි හිමීට බලමු මොකද කරන්නෙ කියලා 

සිස්ටර් සේරා ආයෙත් මට පල්ලියට එන්න දෙන එකක් නෑ.. ඒත් මම කොච්චර සතුටකින්ද පල්ලියේ රස්සාව කරගෙන හිටියේ.. දරුවෙක් නැති පාළුව මට නොදැනුණේ පල්ලියේ දරුවොත් එක්ක ඉද්දී.. විශේෂයෙන් අංජලී මගේ හිතට හුඟාක් ළංවුණා... එයා හැමතිස්සෙම මගේ පුංචි කාලෙට මාව එක්කගෙන ගියා.... පව් කාගෙවත් ආදරයක් නැති වෙච්ච අහිංසක කෙල්ල... මට ඕනෑ වුණේ ඒ පුංචි එකී අසරණ නොකර ඒකිට ජීවිතයක් හදලා දෙන්ට.. ඒත් සිස්ටර් සේරා හුඟක් තැන්වලදි මාව තේරුම් ගත්තෙ නෑ.... අපි තේරැම් ගත්තා කියලා අපි හිතන සමහර මිනිස්සු හුඟක් වෙලාවට අපිව තේරුම් ගන්නෙ නෑ.. ජානා.

ලෝකය කියන්නෙ ඇහැට පේන තරම් ලස්සන තැනක් නෙවෙයි දුල්යානා...

අපි අද පල්ලි යමුද? 

අනේ....

ඇයි අනේ කිව්වේ? 

උඹ දන්නවනේ ඇහැට පේන උන්වත් විශ්වාස නොකරන මම විශ්වාස කරන්නෙ මාවම විතරයි කියලා 

ඒත් ජානා හිතේ විශ්වාසෙට දෙවියන් හරි ඉද්දි හිතට පුදුමාකාර සැනසිල්ලක් දැනෙනවා 

දුර්වල ආත්මයක් තියෙන ගෑනියක් වෙන්න එපා දුල්යානා 

දෙවියන් විශ්වාස කරන එක දුර්වලකමක්ද?

මමනම් විශ්වාස කරන්නෙ මගෙ හිත විතරයි... මම මේ ලෝකේ ජීවත් වීමෙන් ඉගෙන ගත්තේ එකම එක දෙයයි දුල්යානා... තමන්ට තමන් නැති දවසට හැමදේම ඉවරයි... දෙවියන් නැති කරගත්තත් තමන්ට තමන් නැති කරගන්ට එපා. 

ඒ කියන්නෙ උඹට පල්ලි යන්ට එන්න බෑ....

යමු... උඹ හින්දා...

මම නාන කාමරයට ගියේ උදේම ජල ස්නානය කරන්න හිතාගෙන.. ළා උණු වතුරෙන් උදේම නා ගත්තම ඇඟට දැනෙන්නේ හරිම සුවදායි හැඟීමක්.. නාන අතරෙ මගේ නහයට දැනුණේ තක්කාලි මිශ්‍ර චීස් සැන්ඩ්විච් හැදෙන සුවඳ.. මට ආදේශ් හා යා වෙච්ච ආදරණීය අතීතය මතකයට නැඟුනේ මොහොතකින්, හැමදේම අත්හැරලා ඒ අතීතය තුළ කිමිදීමේ ආසාවක් මගේ හිතට දැනුණේ තවත් මොහොතකින්... දෙවියනේ මිනිස්සුන්ට මොනදේ නැතිවුණත් ආදරය නැතුවනම් ජීවත් වෙන්න බෑ....

නා අහවරව සුවඳ ක්ලෝන් ඇඟ පුරා තවරාගත් මම පුංචි make up එකක් මුහුණට දමාගෙන ළා කහපාට සල්වාර් ඇඳුමකින් සැරසුණා 

ඇත්තටම ලස්සනයි දුල්යානා.. කහපාට දාස්පෙතියා ගොඩක් වගේ

මේක මට ආදේශ් අරන් දුන්නු ඇඳුමක්... ඒ තරම් මට ආදරේ කරපු, මම ගැන හොයලා බලපු කෙනෙක්නම් ආයෙත් කවදාවත් මට මගේ ජීවිතේ මුණගැහෙන එකක් නෑ ජානා