උදේශ්.. තනිකඩ ජීවිතෙන් මිදිලා යුග දිවියට පිවිසුණානෙ.. අලුත් ජීවිතයට හදසර අපේ සුබ පැතුම්..?
අනේ.. බොහොම ස්තූතියි.
උදේශ්ට මුලින්ම දිල්හාරාව මුණගැහුණෙ කොහොමද..?
දිල්හාරාව මුලින්ම මට මුණගැහුණෙ මීට අවුරුදු හතකට විතර උඩදී. එයා සිටි ඔෆ් ඩාන්ස් තරගාවලියට සම්බන්ධ වුණා. ඒ තරගාවලියේ දී එයා හිටපු නර්තන කණ්ඩායම තමයි ජයග්‍රහණය කළේ. ඒ කාලෙදී තමයි මට මුලින්ම දිල්හාරාව දැනගන්න ලැබුණෙ. එයින් පස්සෙ අපි හොඳ යාළුවෝ වුණා. හැබැයි ප්‍රේමයක් තිබුණෙ නැහැ. අපි කතාබහ කළා. කතා නොකර හිටපු කාලයකුත් තිබුණා. අවුරුදු දෙකකට විතර පස්සෙ අපි වැඩිපුර කතාබහ කරන්න, මුණගැහෙන්න, ආශ්‍රය කරන්න වුණා. මාස එක හමාරකට උඩදී තමයි දැන් ඉතින් මේක කරලා දාමුයි කියලා මේ විදිහට විවාහය සිද්ධ කළේ.
යාළුවෙක් විදිහට ආශ්‍රය කරපු දිල්හාරාට ආදරය කරන්න, විවාහ කරගන්න එයාගේ තිබුණු සුවිශේෂීකම මොකක්ද..?
එයත් එක්ක වැඩ කරද්දී දිගටම වැඩ කරගෙන යන්න පුළුවන් වෙයි කියලා හිතුණා. එයා මේ ක්ෂේත්‍රය ගැනත් දන්නවා. ඒ ගැන තේරැමක් තියෙනවා කියලත් හිතුණා. කාලය හැම දෙයක්ම තීරණය කළා. එයත් විවාහ වෙන වයසේ හිටියේ. මමත් විවාහ වෙන වයසේ හිටියේ. එයා මගේ ක්ෂේත්‍රයේ දේවල් ගැන තේරුමක් තියෙන, මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කියලා හිතුණා. ඒ නිසා මම දිල්හාරාව විවාහ කර ගන්න තීරණය කළා.
දිල්හාරාගේ පවුලේ ඉන්නෙ කවුද..?
දිල්හාරාගේ පවුලේ ඉන්නෙ තාත්තයි අම්මයි මල්ලිලා දෙන්නයි. එයාලා පදිංචිවෙලා ඉන්නෙ හොරණ.
දිල්හාරා එක්ක ප්‍රේමයක් ගොඩනැගිලා බොහෝ කාලෙකට පස්සෙ ද උදේශ් ගෙවල්වලට මේ සම්බන්ධය ගැන කිව්වෙ..?
නැහැ. මායි එයයි යාළුවෙලා ටික කාලයක් යනතුරුම අපි ෂේප් එකේ යාළුකම තියාගෙන ගියා. අපි දෙන්නා ටික කාලයක් ආදරය කළා. මැරි කරන්න තීරණය කළාට පස්සෙ තමයි මම ගෙදරට කිව්වෙ. අපි දෙන්නට ගෙවල් දෙකෙන්ම ආශිර්වාදය ලැබුණා. අපේ වෙඩින් එක ප්ලෑන් කරද්දී යාළුවන්ගෙන් ලොකු සපෝට් එකක් ලැබුණා. දිල්හාරාගෙත් ගොඩක් අදහස් තිබුණා. මටත් ගොඩක් අදහස් තිබුණා. ඒ නිසා අපි දෙන්නගේම අදහස් එකතු කරගෙන අපි වෙඩින් එක ප්ලෑන් කළා. බොහෝ අයගෙන් අපිට සහයෝගය ලැබුණා. ඒ හැම දෙනාගෙම සහයෝගයෙන් දිල්හාරටත් මටත් හොඳ විවාහ උත්සවයක් ගන්න පුළුවන් වුණා. අපේ විවාහ උත්සවය තිබුණෙ අගෝස්තු මාසේ නව වැනිදායි.
මේක සංගීතයයි නර්තනයයි දෙකම එකතු වුණු විවාහයක්..?
ඔව්.. කසාද බඳිනවා කියන්නෙ වගකීමක්. සමහරු කියන දෙයක් තමයි කසාද බැන්ඳාට පස්සෙ ඒ වගකීම හරි අමාරු දෙයක් කියලා. මගේ නම් බලාපොරොත්තුව විවාහය එහෙම අමාරු දෙයක් කර ගන්නෙ නැතිව බොහොම සතුටින් සරලව නිදහසේ දිල්හාරා එක්ක ජීවත් වෙන්නයි. හැබැයි ඉතින් ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නැහැ. දැනට කිසිම ප්‍රශ්නයක් නැහැ. Art එක ගැන දන්න, ඒ රිදම් එක ඇඟේ තියෙන කෙනෙක්ගෙ සංවේදීකමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒකෙන් අපි දෙන්නගේ ජීවිතයට හොඳ දෙයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. සම්ප්‍රදායික ගෑනු ළමයින්ගෙ නැති සංවේදීකමක් කලාවට ළැදි ගෑනු ළමයි ළඟ තියෙනවා කියලා මම හිතනවා. ඒ නිසා ජීවිතය ඉදිරියට මොන යම් හෝ ප්‍රශ්නයක් ආවත් දිල්හාරාත් එක්ක ඒ හැම දේටම එකතුවෙලා මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.
මේ දිනවල උදේශ්ගෙ සංගීත කණ්ඩායමේ වැඩ කටයුතු කොහොමද..?
මේ වන විට මගේ සාරෝ සංගීත කණ්ඩායමේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒකට සපෝට් එක දිල්හාරාගෙනුත් ලැබෙනවා. අපි දෙන්නගේ පෞද්ගලික ජීවිතේ වගේම කලා කටයුතුවලටත් එයාගෙන් සහයෝගය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.
උදේශ්ගෙ සංගීත කණ්ඩායමට දිල්හාරාගේ නර්තන කණ්ඩායමත් එකතු වෙයිද..?
දිල්හාරාට දැන් නර්තන කණ්ඩායමක් නැහැ. තරගාවලියෙන් පසුව දිල්හාරා නර්තනවලට සහභාගි වෙනවට එයාගෙ ගෙදරින් එච්චර කැමැත්තක් නැහැ. ඒ නිසා දිල්හාරා ඒ දේවල්වලින් අයින් වුණා. දැන් දිල්හාරා හොරණ ළදරු පාසලක් සහ දිවා සුරුකුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා. ඒ ළදරු පාසලේ එයා යටතේ ගුරුවරු අට දෙනෙක් සේවය කරනවා. මම එයාට කියන්නෙ ඒ වැඩේ මරු.. දිගටම කරගෙන යන්න කියලයි.
විවාහ වුණාට පස්සෙ උදේශ් සහ දිල්හාරා පදිංචි වුණේ කොහෙද..?
අපි දෙන්නා අපේ මහ ගෙදරම තමයි පදිංචි වුණේ. අපි ඉන්නෙ වාද්දුව, මොරොන්තුඩුව. දිල්හාරාත් හොරණ ගිහින් ළදරු පාසලේ වැඩ කටයුතු කරනවා. හොඳ ගුරුවරු කණ්ඩායමක් ඉන්න නිසා එයාට ඒ වැඩ කටයුතු කරගෙන යන්න පහසුයි.
දිල්හාරාත් එක්ක එකතුවෙලා අලුත් නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද..?
විවාහයෙන් පස්සෙ හැමෝම කියන දෙයක් තමයි මියුසික් වීඩියෝ එකක් කරන්න කියලා. කාලෙකින් අලුත් දෙයක් නොකරපු එකේ හොඳ වැඩක් කරන්න ඕනෙ කියලා හිතුණා. දැන් අපි දෙන්නත් එක්ක හොඳ අලුත් වැඩ කරන්න සූදානම් වෙනවා.
► Text - Dishani & Pic - Internet