2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

ඇයි තාම දරුවෙක් නැත්තේ කියලා හුඟාක් අය ඇහුවා ජීවිතය හිතේ හැටියට වින්දට පස්සේ අපි දරුවෙක් ගැන හිතු

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:31 312

රොෂාන්.. කුශ්ලානී.. ජීවිතේ අපූරු පදවි දෙකකට හිමිකම් කියන්න මේ දවස්වල සූදානම් වෙනවනේ. මුලින්ම හදසර අපේ සුභපැතුම්..
බොහොම ස්තූතියි. කොහොමටත් මගෙයි කුශ්ලානිගෙයි ජීවිතවලට හදසර හරි සමීපයි. ඒ නිසාමයි මේ ආරංචියත් අපි මුලින්ම හදසරට කිව්වේ.

රොෂාන්.. අලුත් අමුත්තෙක් ජීවිතයට එන්න ළඟයි. මොකද හිතෙන්නේ?
ඇත්තටම ඒක හරි අමුතු අත්දැකීමක්. ඒ අත්දැකීම විඳින්නෙම නැතිව කියන්න තේරෙන්නෙ නෑ. මම පියෙක් වෙන්න තමයි යන්නේ. පියෙක් වුණාට පස්සේ තමයි ඒ අත්දැකීම් තේරෙන්නේ. අලුතින් අමුතෙක් අපි දෙන්නා ළඟට ආවා කියන අත්දැකීම හරි අපූරැයි. ඒ අත්දැකීමේ සුන්දරත්වය මට වචනවලින් කියන්න තේරෙන්නේ නෑ.

මේ සුභ ආරංචිය කුශ්ලානි දැනගනිද්දි රොෂානුත් ළඟ හිටියද? එහෙමත් නැත්නම් රූගතකිරීමකද රොෂාන් හිටියේ?
නැහැ. ආරංචිය දැනගනිද්දී මම කුශ්ලානි එක්ක හිටියා. එදා අපි පන්සලට දානය ගෙනියන දවස. ඉතින් ටිකක් වැඩ වැඩි දවසක් වුණා. 

(ඔන්න එහෙම රොෂාන් කියද්දි එයාගෙන් කතාව නතර කරලා කුශ්ලානි එක්ක පොඩ්ඩක් කතාකරන්න මට හිතුණා.)
එදා අපි පන්සලට දානය ගෙනියන දවස. වෙනදට ඒ වගේ දවසට මාත් ගොඩක් උදව් කරනවා. උනන්දුවෙන් වැඩ කරනවා. කිසිම අමාරුවක් දැනෙන්නෙ නෑ. හරිම ආසාවෙන් ඒ වැඩ ටික කරන්නේ. හැබැයි එදා ගොඩක් ඇඟට අපහසුවක් දැනුණා. උණ වගේ. ඇඟට කිසි ෆිට් එකක් නෑ. ඒ නිසා මම ඒක රොෂාන්ට කිව්වට පස්සේ රොෂාන් මගේ අම්මා එක්ක මාව ඩොක්ටර් ළඟට යවලා ඒ අය පන්සලට ගියා. ඩොක්ටර් ළඟට ගිහින් ඊට පසුව මායි අම්මයි පන්සලට ගියා ටික වෙලාවකට පස්සේ අපි ඔන්ලයින් රිපෝට් එක බැලුවා. ඒ වෙලාවේ තමයි අපිට මේ සුභ ආරංචිය දැනගන්න පුළුවන් වුණේ. ඒ වෙනකොට අපි හිටියේ පන්සලේ. අනේ අපිට එදා පුදුම සතුටුයි. ඒ දිනේ රොෂාන්ටයි මටයි හොඳට මතකයි. සතුටට වඩා එදා දැනිච්ච මොකද්දෝ හැඟීමක් අපි දෙන්නටම ඇතිවුණා.

(මෙහෙම කුශ්ලානි කියද්දි රොෂානුත් ඒකට අටුවා ටීකා එකතු කළා.)
මම තාම පියෙක් වෙලා නැහැනේ. හැබැයි ඒ පිය පදවිය ලැබුණට පස්සේ තමයි ඒ හැඟීම තවත් වෙනස් වෙන්නේ. දැන්නම් ඉතින් අපි දෙන්නම දවසින් දවස වෙන මේ වෙනස්වීම් අත්විඳිනවා. මේ ආරංචිය ලබපු දවසේ ඉඳන් මේ වෙනකන් ඒ දැනෙන හැඟීම හරි වෙනස්. හැම අවුරුද්දෙම අපි දෙන්නගේ සැලැස්මක් තියෙනවා. මේ අවුරුදු පහ තුළම අපි සැලැස්මක් ඇතුව තමයි ජීවත් වුණේ. මේ අවුරුද්දේ මුලට හිතාගත්තු දෙයක් තමයි මේ අවුරුද්දේ අපි දෙන්නා කොහොමහරි දරුවෙක් ලබන්න සූදානම් වෙනවා කියලා. ඒ ප්ලෑන් එක සාර්ථක වුණා.

කුශ්ලානි ඇත්ත කියන්න. ආසාවෙන් ඉන්නේ පුතෙක්ටද? දුවෙක්ටද?
එහෙම කියලා නැහැ. අපි දෙන්නගේම මේ පළවෙනි දරුවා. දුවෙක් වුණත් පුතෙක් වුණත් ඒ දරුවා පිළිගන්නට අපි දෙන්නම ආසාවෙන් බලාගෙන ඉන්නවා. දුවෙක් වුණත් පුතෙක් වුණත් ලැබෙන මුල්ම දරුවා අපිට සුවිශේෂීයි. ඒ දරුවා තමයි අපි දෙන්නව අම්මයි, තාත්තයි කරන්නේ.

කුශ්ලානි.. අම්මා කෙනෙක් ඉන්න කෙනෙක් කන්න ආස කරන දේවල් තියෙනවා කියනවනේ. සමහරැ ඒකට දොලදුක කියලත් කියනවා. එහෙම ආසාවල් තියෙනවද?
අනේ නැහැ. එහෙම කවදාවත් විශේෂ දෙයකට ආසාවක් තිබුණේ නැහැ. ඒක තමයි පුදුමේ. මම ආසාවෙන් හිටියෙත් එහෙම දේකට ආසාවක් තියෙයි කියලා. රොෂාන් වුණත් හැමවෙලේම අහන්නෙත් මොනවද ඕනේ? ඕන දෙයක් ගෙනත් දෙන්නම් කියලා. මගේ අම්මා, රොෂාන්ගේ අම්මා, අපේ නෑදෑයෝ හැමෝමත් අහන්නේ මොනවද කන්න ආසා කියලා. හැබැයි ඉතින් එහෙම විශේෂ ආසාවක් මට ඇතිවුණේ නැහැ. සාමාන්‍ය විදිහට මම කෑම කෑවා.

රොෂාන් රෑගතකිරීම් එක්ක කාර්යබහුල වෙද්දි වෛද්‍යවරුන් වෙත යන්නට කාලය වෙන්කරගෙන කුශ්ලානි එක්ක යන්න ආවද?
රොෂාන් මට ඒ දේවල්වලට උපරිමයෙන් සහයෝගය ලබලා දුන්නා. මට වඩා එයා ඒ දේවල් ගැන හරි උනන්දුයි. මේ වෙනකල් හැමදාම ඩොක්ටර් ළඟට යන්න මාත් එක්ක රොෂාන් ආවා. මොන වැඩ තිබුණත් එයා ඒ හැමදේම ඒ දවසට බාරගන්නෙ නෑ. කොහොමටත් ඩොක්ටර් මුණගැහෙන්න දිනය වේලාසන දැනගන්න ලැබෙන නිසා රොෂාන් ඒ දවසට වැඩක් බාරගන්නේ නැහැ.

(ඔන්න දැන් ඒ කතාවට රොෂානුත් එයාගේ අදහස් එකතු කළා.)
පසුගිය කාලේ රටේ තිබුණු වාතාවරණයත් එක්ක ඒ තරම් කලා කටයුතු කරන්න තිබුණේ නැහැ. ඒ නිසා ඒ වැඩ අඩුකම නිසා කුශ්ලානි එක්ක වැඩිපුර කාලය ගතකරන්න වෙලාවක් මට ලැබුණා.

(රොෂාන් එහෙම කියද්දි කුශ්ලානිත් අමතක වෙන්න ගිය දෙයක් එකපාරටම මතක් කළා)
මට වමනෙ යන හැමවෙලාවකම රොෂාන් මගේ එහාපැත්තේ ඉඳගෙන ඉන්නවා. මම දහපාරක් වමනෙ දැම්මත් නවයාමාරකම රොෂාන් ළඟ ඉඳලා තියෙනවා. ඒ තරමටම එයා මේ දවස් ටිකේම මගේ ළඟටම වෙලා මගේ හැම අමාරුවකදීම මම ළඟින්ම ඉන්නවා.

(රොෂානුත් ඒකට තවත් ටිකක් එකතු කළා)
ඇත්තටම මේ අත්දැකීම හරිම සුවිශේෂීයි. මේ ගත කරපු මාස ගණන කවදාවත් අමතක වෙන්නේ නෑ. මේ ආරංචිය දැනගත්තු දවසේ ඉඳන් දරුවා ලැබෙනතෙක්ම මම එයා ළඟින්ම ඉන්නවා. මේ රංගන ජීවිතේ මට ලැබුණු තවත් සුවිශේෂි දෙයක් තමයි කුශ්ලානිට දරු පැටියා ලැබෙන්න ඉන්න කාලෙදි එයා ළඟින්ම ඉන්න පුළුවන් වෙලා තියෙන එක. මගේ වැඩත් එක්ක වැඩි කාලයක් කුශ්ලානි ළඟට වෙලා ඉන්න පුළුවන් තියෙනවා. මේ කාලේ දෙන්නා එකට ගත කරන එක හරි සුවිශේෂියි. ඒක මේ දරුපැටියටත් ගොඩක් බලපානවා.

(කුශ්ලානිත් ඒ කතාවට තවත් දෙයක් කිව්වා.)
රොෂාන් චූටි පැටියට ඇහෙන්න කතන්දර කියනවා. මගේ බඩට රොෂාන් අත තියලා බබා එක්ක කතා කරනවා. මම හිතන්නේ රොෂාන්ගේ කටහඬ බබාට හොඳට පුරැදුයි කියලා. එයා කතා කරද්දි බබා හොඳට බඩ ඇතුළේ ඉඳන් ඒකට ප්‍රතිචාර දක්වනවා. ඇත්තටම ඒවා හරිම සුන්දර අත්දැකීම්. පසුගිය දවස් කිහිපයක් රොෂාන් විදෙස්ගත වෙලා හිටියේ. ඒ කාලෙදි රොෂාන් එහේ ඉඳන් කතා කරද්දි මම බබාට ඇහෙන්න ෆෝන් එක තියනවා. අනේ ඒ වෙලාවට ඒකට ප්‍රතිචාර දක්වන විදිහ මට හොඳට දැනුණා. ඒ දේවල්වලින් රොෂාන්ගේ කටහඬ දරු පැටියා හොඳට දන්න විත්තිය මට හොඳටම තේරුණා.

(කුශ්ලානි එහෙම කියද්දි රොෂාන්ගේ මුහුණේ ඇදුණු අපූරැ හිනාව හරියට රජකම ලැබුණු සැබෑ රජෙකුගේ මුහුණකට හිමිකම් පෑවා)
පහුගිය කාලේ මම ගොඩක් කාර්යබහුල වුණා. හැබැයි මොකද්දෝ වාසනාවකට මේ සුභ ආරංචිය ලැබුණ දවසේ ඉඳන් මට කුශ්ලානි එක්කම ඉන්න අවස්ථාව ලැබුණා. ඒක මටම ලැබුණු වාසනාවක් විදිහට මට හිතෙන්නේ. ජීවිතේ අපි දෙන්නම කුළුදුලේ විඳින මේ අත්දැකීම ආයේ කවදාවත් විඳින්න ලැබෙන්නේ නැහැනේ. ඉතින් ඒ කුළුදුලේ විඳින ඒ අත්දැකීම් උපරිමේට විඳින්න අපි දෙන්නටම අවස්ථාව ලැබුණා. මේක පුදුම ලස්සන කාල පරිච්ඡේදයක්. දවසින් දවස කුශ්ලානිගේ කුස ඉදිරියට නෙරා එද්දි අපේ දරු පැටියත් ටිකින් ටික ලොකු වෙනවා කියලා දැනෙනවා. කුශ්ලානිගේ කුසට අත තියද්දි ඒක චූටි පුතාත් ප්‍රතිචාර දක්වනවා. ඒවා හරි අපූරු අත්දැකීම්. ඇත්තටම දවසින් දවස පුතා ඉපදෙන දවස් ළංවෙද්දි මේ ලබන අත්දැකීම් ඉවර වෙනවා කියලා හිතද්දිත් වෙලාවකට මට ලෝභකමක් දැනෙනවා. දරුවා කුශ්ලානිගේ කුසේ ඉඳිද්දි අපි තුන්දෙනා ගතකරන මේ කාලය හරිම ෂෝක්. අපි දෙන්නා හරි ලස්සනට මේ කාලේ විඳිනවා. ඒක මරු අත්දැකීමක්. ඉස්සර අපි දෙන්නා එළියට ගිහාම ගන්නේ අපි දෙන්නට ඕන කරන දේවල්නේ. දැන් කොහේ ගියත් බඩු ගන්නේ බබාට ඕන දේවලුයි. දැන් මම කොහේ ගියත් මගේ ඇහ මුලින්ම යන්නේ චූටි බබාලට ඕන කරන ඇඳුම් පැලඳුම්, සෙල්ලම් බඩුවලටයි.

පස්වැනි විවාහ සංවත්සරයේදී කුශ්ලානි රොෂාන්ට අපූරු තෑග්ගක් ලබලා දුන්නා නේද?
ඔව්නේ. ඒක හරිම වටිනවා. සමහරු අපෙන් ඇයි තාම දරුවෙක් නැත්තෙ* කියලා ඕනතරම් ඇහුවා. හැබැයි මේ අවුරැදු පහ තුළ අපි දෙන්නට ඕන කාලය උපරිමයෙන් වින්දා. මම යන උත්සවවලට කුශ්ලානි ආවා. එයා යන උත්සවවලට මමත් ගියා. අපි දෙන්නා මේ අවුරුදු පහට රටවල් තිහකට විතර ගියා. ලංකාවේ බොහෝ තැන්වල ඇවිද්දා. අපි දෙන්නට දෙන්නා ගතකරන්න තියන කාලය අපි දෙන්නා උපරිමයෙන් වින්දා. ඒකත් එක පරිච්ඡේදයක්. දරුවෙක් ඉපදුණාට පස්සේ ඒ නිදහස අපි දෙන්නට නැතිවෙන්න පුළුවන්. හැබැයි පහුගිය වසර පහ පුරාවටම ඒ සතුට, ඒ නිදහස අපි උපරිම වින්ද නිසා හිතේ තියෙන්නේ ලොකු සතුටක්. ඒ නිසා ගෙවුණ වසර පහ අපි දෙන්නට ජීවිතේ ගතකරන්න කාලය ඕන වුණා. දරුවා ඉපදුණාට පස්සේ අපි දෙන්නා අපේ කාලය වැඩිපුරම වැයකරන්න හිතාගෙන ඉන්නේ අපේ දරුවත් එක්කයි. කුශ්ලානි රැකියාවෙන් අයින් වුණෙත් මේක නිසාමයි. අපි දෙන්නම මේ වගකීම බාරගන්න සූදානම් වුණාට පස්සෙ තමයි දරුවකු වෙනුවෙන් අපි අවධානය යොමුකළේ. දැන් අපි මව්පියෝ වෙන්න සූදානම්. බඳින්න කලින් මම කියන කෙනා හිටියේ අංක එකේ. බැන්දට පස්සේ අංක දෙකටත් දරුවෙක් ඉපදුනාට පස්සේ අංක තුනටත් පත්වෙනවා. ඒක හරියට නැවක කපිතාන් කෙනෙක් වගේ. ගිලෙන නැවක අන්තිමට ඉතුරු වෙන්නේ නැවේ කපිතාන්වරයයි. අනෙක දරුවෝ ඉපදෙන්නෙ අපිට ඕන නිසයි. ඒ නිසා ඒක අපිට වගකීමක්. ඒ වගකීම ගන්න මායි කුශ්ලානියි දැන් සූදානම්.

 

Text - Dishani &   Pic –Sumudu