ගොඩක් අය හිතනවනේ අපේ රටේ වෘත්තියක් හැටියට කලාවේ නිරත වෙන්න බැහැයි කියලා. ඒ නිසාමද කොහෙද බොහෝ කලා ශිල්පීන් වෙනත් වෘත්තීන්වල නියැලෙන ගමන් තමයි කලා කටයුතුවලට දායක වෙන්නේ.
ඔන්න ඔය වගේ පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන තරුණ කලා ශිල්පියෙක් ඉන්නවා. ළඟදි දවසක කොල්ලා කසාද බැඳලා. ඊයෙ පෙරේදා දවසක එයාගේ ලොක්කා එක්ක පොඩි කතාවක් දානගමන් මේ ශිල්පියා කිව්වලු විවාහයෙන් පස්සේ ජෝඩුව වෙනම ජීවත් වෙන නිසාත්, කලා කටයුතුවල වැඩියෙන් නියැලෙන්න බැරි වෙන නිසාත් හැකිනම් පඩි වැඩි කිරීමක් සලකා බලන්න කියලා.
ඔයා අපේ ආයතනයට විශාල ශක්තියක් තමයි. ඒ වටිනාකම ඔයාට හැමදාම අපෙන් ලැබෙනවා. ඒත් මේ ආයතනයෙන් පිට ඔයා කරගන්න අතුරු අන්තරාවලට නම් අපිට වගකියන්න බැහැ කියලා ලොක්කා ගත් කටටම කිව්වලු.
බඩගිනි දැනුණුම විවිධ අය ප්‍රතිචාර දක්වන්නේ වෙනස් විදිහට. කලා ලෝකේ අය කියලා වෙනසකුත් නැහැ. මොකද ඒ අයත් මනුස්සයොනේ.
සමහර අය බඩගිනි වුණාම හීනියට සින්දුවක් මුමුණනවා. සමහරැ එකපාරටම පොතක් අරන් කියවන්න පටන් ගන්නවා. ගොඩක් අය මූඩ් ගහනවා. ෂූටිං ගියාම ගෙදර වගේ අපිට ඕන වෙලාවට කෑම කන්න බැහැනේ.
හැබැයි මේ කියන්න යන්නේ වෙනස්ම විදිහේ කතාවක්. මේ තරුණ ශිල්පිනිය බඩගිනි වුණාම එකපාරටම ළඟ ඉන්න කෙනාට කියනවලු අනේ මට කිසිදෙයක් පේන්නෙ නැහැ. නිකම් කළුවර වීගෙන එනවා වගේ කියලා.
මුල් කාලේ නම් කට්ටිය බය වුණාලු කෙල්ල ඔහොම කියනකොට. හැබැයි දැන්නම් කට්ටියට පුරුදු වෙලා. ඇස් පේන්නෙ නැතුව එනවා වගේ කිව්වම එයාට බිස්කට් දෙක තුනක් කන්න දුන්නම හරියනවා. බැලින්නම් මෙයා බඩගිනි වුණාම තමයි අර විදිහට කියන්නේ. හැබැයි ඉතින් ලස්සනම වැඩේ කියන්නේ හොඳ බත් එකක් කාලා පැය බාගයක් විතර යද්දිත් සමහර දවස්වලට මෙයාට ඇස් පේන්නෙ නැතුව යනවලු.
අද වෙනකොට ජංගම දුරකථනයට ලොකු කුඩා කවුරුත් ඇබ්බැහි වෙලා ඉන්න බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
අලුත් තාක්ෂණයත් එක්ක අපි ඉදිරියට යන්න ඕන බව ඇත්ත. නමුත්, ඒවත් එක්ක හරියට ගනුදෙනු කරන්න හොඳ අවබෝධයකුත් තියෙන්න ඕන. දෙමාපියන්ට හා වැඩිහිටියන්ට මෙතැනදී ලොකු වගකීමක් තියෙනවා තම දරුවන්ව නිවැරදි මඟට යොමු කරන්න.
ඔන්න අපි දන්න පවුලක ඉන්නවා තරුණ ගෑනු ළමයි තුන්දෙනෙක්. අපි දන්නෙ බාලයාව.
මේ ගෙදර ජංගම දුරකථනවලට ඇඳිරි නීතියක් දාලා තියෙනවා. ඒ කියන්නේ අම්මා තාත්තා හා ළමයි තුන්දෙනා රූ 10 වෙද්දි කෑම කන මෙසේ තියෙන විශේෂ භාජනයක තම තමන්ගේ ජංගම දුරකථන තියලා තමයි නින්දට යන්න ඕනේ.
මේක මුලු පවුලම ආගමක් වගේ අදහන, පිලිපදින දෙයක් වෙලා. ඉතින් මේ අයව දන්නා හඳුනන අය රෑ දහයෙන් පස්සේ මේගොල්ලන්ට කෝල් කරන්නේ නැහැ. ඒත් ළඟදි දවසක හදිසි කාර්යාල කටයුත්තකට මේ බාල කෙල්ලට රෑ 12ට විතර පණිවිඩයක් යැව්වලු. මෙන්න බොලේ කෙල්ල ක්ෂණිකව ඒ පණිවිඩේට ප්‍රතිචාරත් දක්වලා.
ඇඳිරි නීතිය පනවන්නෙ රෑ 10ට නම්, රෑ 12ට එයාට ජංගම දුරකථනය අතට පත්වෙන්නෙ කොහොමද? කට්ටිය මේ ගැන තාම විමර්ශනය කරමින් යනවලු.
► Text - Mithra