2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

වකුගඩු රෝගීන්ට වතුර දුන් ලලිත්ගේ විෂම භාග

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 120

ලලිත් රත්නායක ඔබ අධ්‍යක්ෂණය කළ “විෂම භාග චිත්‍රපටයේ තේමාව පිළිබඳව යමක් සඳහන් කළොත්?
“විෂම භාග සිනමා නිර්මාණය තුළින් කතා කරනු ලබන්නේ ළමා මනස පිළිබඳවයි. ළමයි කියන අය එකිනෙකාට වෙනස්. ළමයි හැමෝම එක විදිහේ නැහැ. ඒ අය අධ්‍යාපනය ලබනකොට මේ සියල්ලෝම ගණිතයට හෝ විද්‍යාවට, ඉංග්‍රීසිවලට දක්ෂ විය යුතුයි කියලා ගුරුවරු, වැඩිහිටියන් විශ්වාස කරනවා. ඒ අය තමයි අනාගතයේ දිනන්නේ කියලා. බොහෝ වැඩිහිටියන් තුළ මතයක් පවතිනවා. නමුත් ඇත්ත එය නොවේ. ළමයින් එකිනෙකාට වෙනස්. එකිනෙකාගේ දක්ෂතා වෙනස් වෙනවා. මේක තේරුම් ගන්නට අවශ්‍ය බවයි “විෂම භාග චිත්‍රපටය ඔස්සේ අපි කතා කළේ.

ඒ වගේම මෙහි යම් අරුතක් සැඟවිලා තියෙනවා නේද?
වැඩිහිටියකුගේ පුංචි වචනයකින් මේ ළමා මනස කොයිතරම් දුරට හොලවන්නට පුළුවන් ද කියලා අපි මේ ඔස්සේ කතාබහ කරනවා. ඒවගේම මෙම චිත්‍රපටය අධ්‍යාපනික වශයෙනුත් වැදගත්කමක් තියෙනවා. . දැනට ලංකාවේ පවතින්නේ වෘත්තීමය අධ්‍යාපන රටාවක්. ගුරුවරයා තමන්ට අවශ්‍ය පරිදි දරුවන්ට උගන්වනවා. නමුත් ලෝකය මේ වනවිට ශිෂ්‍ය කේන්ද්‍ර අධ්‍යාපන ක්‍රමයක් තමයි පවත්වාගෙන යන්නේ. මේ ශිෂ්‍ය කේන්ද්‍ර අධ්‍යාපන ක්‍රමය ලංකාවට දැන් අවුරුදු ගාණකට උඩදී හඳුන්වා දුන්නද අදටත් එය සිදුවන්නේ නැහැ. තවමත් සාම්පාදයික ගුරු කේන්ද්‍ර අධ්‍යාපනයක් තමයි රට තුළ පවතින්නේ. ගුරුවරයා තමන්ට ඕන විදිහට උගන්වනවා. ශිෂ්‍යා කවුද කියා දැනගෙන ශිෂ්‍යයාට ගැලපෙන විදිහට ඉගැන්වීම තමයි ශිෂ්‍ය කේන්ද්‍ර අධ්‍යාපන ක්‍රමය වන්නේ. ඒ සම්බන්ධව යහපත් පණිවිඩයක් “විෂම භාග චිත්‍රපටය තුළින් පෙන්නුම් කරන බවක් අධ්‍යාපන විශේෂඥවරුන් පවසනවා.

“විෂම භාග රූගත කිරීම් කළේ කොයි කාලේදීද?
මෙම චිත්‍රපටය රූගත කිරීම් කර වැඩ අවසන් වුණේ මේ වසර මුලදීයි. මෙම චිත්‍රපටයට රංගනයෙන් ජැක්සන් ඇන්තනී, හේමසිරි ලියනගේ, කෞෂල්‍ය ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, නිලක්ෂිණී රත්නායක වගේම පන්සිළු වික්‍රමරත්න සහ පන්කජ වික්‍රමරත්න කියන නිවුන් දරුවන් දෙදෙනාත් මේ චිත්‍රපටයට දායක වෙනවා.

මෙම චිත්‍රපටය තවමත් ලංකාවේ තිරගත නොවුණට ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලවල් නියෝජනය කරමින් ජයග්‍රහණ අත්පත් කරගන්නට හැකියාව ලැබුණාද?
ඔව්.. මුලින්ම මේ චිත්‍රපටය හරහා අපිට සම්මාන උළෙලකට ආරාධනා ලැබුණේ ෂැංහායි ජාත්‍යන්තර සම්මාන උළෙලේ අවසාන චිත්‍රපට තුන අතරට අපේ චිත්‍රපටය තේරීමත් සමඟයි. එම උළෙලේදී “විෂම භාග චිත්‍රපටයේ තිර රචනයටත්, හොඳම නළුවාත් කියන අංශ දෙකෙන් අවසන් තුන්දෙනා අතරට මේ චිත්‍රපටය තේරුණා. එහිදී හොඳම නළුවා විදිහට ඉරානයේ නළුවකුත්, හොඳම තිර රචනයට ඉන්දියාවටත් සම්මාන හිමිවුණා. නමුත් අවසන් රටවල් තුන අතරට තේරීම සම්බන්ධව අපිටත්  සම්මාන ලැබුණා. අමෙරිකාවේ එක්සත් ජනපදයේ A Show For a Change නම් සිනමා උළෙලේ Cinema to graphic award සම්මානයෙන්ද “විෂම භාග චිත්‍රපටය සම්මාන ලැබුවා. එමෙන්ම ජුලි මස භූතානයේ ඩ්‍රක් අන්තර් ජාතික සිනමා උළෙලේ (Druk international film festival) ප්‍රථම සිනමාකරණය (Debut Filmmaker) වෙනුවෙන් මටත් හොඳම සහය නළුවා (Best Supporting Actor) ලෙසින් ජැක්සන් ඇන්තනී, හොඳම අධ්‍යාපනික චිත්‍රපටය (Best Educational Film) ලෙසින් “විෂම භාග චිත්‍රපටයටත් සම්මාන හිමිවුණා. මෙම ජයග්‍රහණයත් සමඟම “විෂම භාග චිත්‍රපටය 2020 වසරේ මාර්තු මස භූතානයේ පැවැත්වෙන රන් මකරා (Golden Dragon) සිනමා සම්මාන තරගකාරී වටයට තරග වදින්නට සුදුසුකම් ලැබුවා.

කවදා විතර “විෂම භාග චිත්‍රපටය ලාංකික ප්‍රේක්ෂකයින්ට නරඹන්න හැකිවේවිද?
ලංකාවේ මේක තිරගත කරන කාලසීමාව තවමත් තීරණය කරලා නැහැ. නමුත් මෙම චිත්‍රපටයේ “ලෝක සිනමා දැක්ම අපි ෂැන්හායිවල පැවැත් වූවා. ඊට අමතව අපි මේ චිත්‍රපටයේ ජාත්‍යන්තර ප්‍රදර්ශන දැක්ම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පවත්වනවා. එය අගෝස්තු විසි හතර වෙනිදා සහ විසි පස්වෙනිදා ඕස්ට්‍රේස්ලියාවේ තිරගත වෙනවා. එතැන් සිට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර කිහිපයකම මෙය තිරගත කරන්න සූදානම් වෙනවා. බොහෝ විට මෙම චිත්‍රපටය ලබන වසරේ මුල් කාලයේදී ලංකාවේ ප්‍රදර්ශනය වේවී. 

“විෂම භාග චිත්‍රපටයේ රංගනයෙන් දායක වුණු මේ නිවුන් දරු දෙදෙනා තෝරා ගත්තේ කොහොමද?
මේ චරිත දෙකට අපි නිවුන් දරුවන් හැත්තෑ හය දෙනෙක් සම්මුඛ පරීක්ෂණ කළා. ඒ අතරින් අවසාන් පස් දෙනකු මම තෝරා ගත්තා. අවසානයේදී තමයි මේ පන්සිළු සහ පන්කජ දරු දෙදෙනාට චිත්‍රපටයට තෝරා ගත්තේ. මේ දරුවන් එවකට බලපිටිය ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලැබූ දරුවන් දෙදෙනෙක්. මේ දරුවන් ඉගෙන ගත්තු පාසලේම මගේ යාළුවෙක්ගේ බිරිඳ ද සේවය කළා. ඒ නිසා දරුවන් දෙදෙනාගේ තොරතුරැත් සොයා බලන්නට මට තවත් පහසු වුණා. 

“විෂම භාග චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුවලින් දායක වෙන්නේ ස්වාමීන්වහන්සේ නමක් ඒකත් විශේෂත්වයක් නේද?
ඔව්.. චිත්‍රපටයක් සාර්ථක වෙන්න චිත්‍රපටයේ තිර රචනය, අධ්‍යක්ෂකවරයාගේ දක්ෂතාවය පමණක් තිබුණාට මදි. එයට ප්‍රධාන වෙන්න එහි නිෂ්පාදකයාත් බලපානවා.කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා ඇතිව අළුදෙනියේ සුබෝධි ස්වාමින් වහන්සේ මැදිහත් වෙලා තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ. මේ චිත්‍රපටයේ තේමාව ඉතා විශිෂ්ට නිසාම තමයි උන්වහන්සේ මැදිහත් වෙලා මේ චිත්‍රපටයේ නිෂ්පාදනය කළේ. මේ චිත්‍රපටයෙන් යම් ලාභයක් ලැබුවොත් ඒ ලාභය යම්කිසි අරමුණක් වෙනුවෙන් යොදවන්න තීරණය කරලයි තියෙන්නේ. “විෂම භාග ශ්‍රී ලංකාවෙන් බිහිවූ ප්‍රථම සමාජ සත්කාර සිනමා සිත්තම ලෙස හඳුන්වන්න පුළුවන්. මෙයින් ලැබෙන ලාභය වකුගඩු රෝගයෙන් පීඩා විඳිනා මිනිසුන්ගේ අවශ්‍යතා සපුරාලන්නට යොදවන්න තීරණය කරලා තියෙනවා. විශේෂයෙන් ජල පිරිපහදු මධ්‍යස්ථාන හදන්නට මේ මුදල් යොදවනවා. එහි ප්‍රථම අදියර ලෙස පසුගියදා දිනෙක “විෂම භාග යන නමින් ජල පිරිපහදු මධ්‍යස්ථානයක් හොරොව්පතානයේ හදන්නට අපි මුල් ගල තිබ්බා. එයින් ගම්මාන හතරකට වතුර නුදුරේදීම ලැබේවි. 

 

Text - Dishani / Pic – Internet

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00