ලංකාවේ ඉන්න නෙදර්ලන්ත තානාපතිනි පහුගියදාක කොළඹ නගරය ඇතුළේ පාපැදි භාවිතය වැඩිකරන්න වැඩසටහනක් සූදානම් කළා කට්ටියට මතක ඇති. කොටින්ම ඒ ගැන මාධ්‍ය දැනුම්වත් කරන්න තිබුණු මාධ්‍ය හමුවට තානාපතිනිය ආවෙත් පාපැදියක නැගිලයි. ඒක බොරු සංදර්ශන වැඩක් කියලා කාටහරි කියන්න පුළුවන් වුණත් නෙදර්ලන්තය කියන්නේ පාපැදි සහ මිනිසුන් අතර ගොඩක් ලොකු සම්බන්ධයක් තියෙන රටක්. හොඳම උදාහරණෙ තමයි නෙදර්ලන්තෙ අගනුවර වන ඇම්ස්ටර්ඩෑමයේ මුළු ජනගහනය අට ලක්ෂ පනස්දාහක් වෙද්දි අගනුවර මුළු පාපැදි සංඛ්‍යාව අට ලක්ෂ අසූදාහක්. ඒ කියන්නේ නෙදර්ලන්ත අගනුවර මිනිස්සුන්ට වඩා බයිසිකල් තියෙනවා.
ඉතින් මේ කියන්න හදන්නේ නෙදර්ලන්තයෙන් ඇහෙන තවත් බයිසිකල් ප්‍රවෘත්තියක්. ඒ තමයි එහේ යුට්රෙක්ට් කියන නගරය ලෝකේ ලොකුම පාපැදි නැවතුම්පොළ නිර්මාණය කරලා. තෙමහල් ගොඩනැගිල්ලක් වන මෙහි පාපැදි 12,500ක් ආරක්ෂිතව නැවැත්වීමේ පහසුකම් පවතිනවා. නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානයට සමීපයේ ඉදිකරලා තියෙන මේ නැවතුම්පොළ එදිනෙදා වැඩට යන එන යුක්රෙක්ට් වැසියන්ට ලොකු අස්වැසිල්ලක් වේවි කියලයි බලධාරීන් කියන්නෙ.
ගාඩියන් පුවත්පතට මේ ගැන අදහස් දක්වමින් නෙදර්ලන්තයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් කියලා තිබුණේ, මාර්ග තදබදය වළක්වා ගැනීමේ ප්‍රධානම පියවරක් විදිහට පාපැදි භාවිතයට දිරිදීමේ එරට රජයේ වුවමනාව මේ සියල්ල පසුපස තිබෙනවා කියලයි.
“ඊළඟ අවුරුදු 10 ඇතුළත නාගරික ප්‍රදේශවලට එන ජනගහනය ලක්ෂ පහකින් විතර වැඩිවෙයි කියලා අපි ගණන් බලලා තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුළ මිනිස්සු කාර් පදින්න ගත්තොත් හිතාගන්න බැරි විදිහේ මාර්ග තදබදයක් ඇතිවේවි” ඔහු වැඩිදුරටත් කියලා තිබුණා.
කොහොම වුණත් යුක්රෙක්ට් නගරයේ මේ අලුතින්ම ඉදිවූ ලොව ලොකුම බයිසිකල් නැවතුම්පොළට අමතරව තවත් ඒ වගේ තැන් පහක් තියෙනවා.
නෙදර්ලන්ත සංඛ්‍යා ලේඛනවලට අනුව ඇම්ස්ටර්ඩෑම්, රොටර්ඩෑම්, යුට්රෙක්ට් සහ හේග් කියන එරට ප්‍රධාන නගර හතර පුරාම බහුතර පාපැදිකරුවන් සංඛ්‍යාවක් දකින්න පුළුවන්. විශේෂයෙන්ම නගර ආසන්නයේ මෝටර් රථ ධාවනය නිසා සිදුවන පරිසර දූෂණය අවම කරගන්නත් මේ පාපැදි භාවිතය දිරිමත් කිරීමෙන් එරට රජය බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම පාපැදිකරුවන්ගේ අවශ්‍යතා සඳහා ඉහළ යටිතල පහසුකම් දැනටමත් නෙදර්ලන්තයේ බොහෝ නගරවල දකින්න පුළුවන්. ඒ කියන්නේ පාපැදි සඳහාම වෙන්වුණු මං තීරු, පාපැදි මාර්ග සංඥා වගේ ගොඩක් දේ ඒ අතර තිබෙනවා.
ඊට අමතරව පාපැදි භාවිතය නිසා නෙදර්ලන්ත වැසියන්ට හොඳ ශාරීරික වගේම මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීමටත් හැකිවෙන බව ඔවුන්ගේ විශ්වාසයයි.
The Guardian ඇසුරෙන්
► Text - Suranga / Pic - Internet