2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

ඒ කාලේ කරු අයියා ලියලා දුන්න සින්දුවල අකුරු මට කියවන්න බෑ

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:31 365

ඔබේ ළමා කාලය ගෙවුණේ සුන්දර ගම්මානයකයි? එහෙම නේද?
ඔව්.. මම ඉපදුණේ බණ්ඩාරවෙල. අමුණුදෝව කියන ලස්සන ගමේ. මගේ පවුලේ හත්දෙනෙක් හිටියා. අක්කලා තුන්දෙනයි, අයියලා දෙන්නයි, මමයි, නංගියි තමයි පවුලේ හිටියේ. අපේ තාත්තාගේ අයියා කෙනකුගේ දුවකුත් අපිත් එක්කම තමයි හැදුණේ වැඩුණේ. මගේ තාත්තා බණ්ඩාරවෙල හෝටලයක බාර් කීපර් කෙනෙක් හැටියට ඒ කාලේ සේවය කළා. අම්මා රැකියාවක් කළේ නැහැ. 

පුංචි කාලේ දඟ චරිතයක්ද?
ඒ කාලේ දඟකාරකමටත් වැඩිය මට සින්දු කියන්න ඕනේලු. ඉස්කෝලේ විවිධ ප්‍රසංගවලටත් මාව තෝරා ගත්තා. මම මුලින්ම ඉගෙන ගත්තේ බණ්ඩාරවෙල කුඩා කුසුම් කන්‍යාරාමයේ. ඒක තිබුණෙත් ටවුමෙමයි. ඒ කාලේ හිටපු කන්‍යා සොහොයුරියත් මට හරි ආදරෙයි. මට සිංහල, ඉංග්‍රීසි සින්දු ගායනා කරන්න හොඳට පුළුවන්. අපි බෞද්ධ. කන්‍යාරාමයක ඉගෙන ගත්තට අපේ ගෙදර හොඳ බෞද්ධ පරිසරයක් තිබුණා. දිනපතා උදේ හවස බුදු හාමුදුරුවන්ට මල් තියලා වැන්ඳා. ඊට පස්සේ අපි හැමෝම පේළියට ගිහින් අම්මටයි, තාත්තටයි වඳිනවා. ඊට පස්සේ අපි හත්දෙනාම එකතුවෙලා මහ හයියෙන් මුළු ගමටම ඇහෙන්න ජයමංගල ගාථා කිව්වා.

හත්දෙනා එකතුවෙලා ඇති තරමට සෙල්ලම් කරන්නත් ඇති නේද?
අම්මෝ ඔව්.. මට තාම මතකයි අපේ ගෙදර ලොකු වෙරළු ගහක් තිබුණා. මම හැමදාම උදේට වෙරළු ගහ යටට ගිහින් “මේ වෙරළු ගහෙන් වෙරළු ගෙඩියක් වැටෙන්න. කියලා කියනවලු. හැබැයි ඉතින් ගහ යට වෙරළු ගෙඩි වැටිලා තියෙනවා. ඒ කාලේ මම හිතුවේ මගේ ප්‍රාර්ථනාවට වෙරළු ගෙඩි වැටුණා කියලයි. තව පහළ තිබුණ ඇඹිල්ල ගහට අපි කිව්වේ “මල් බෙරි කියලයි. ඒකේ මල්බෙරි මාරම රසයි. අපේ වැඩේම වත්තේ තියන පළතුරු ගස්වලින් පළතුරැ කඩ කඩා කන එකයි. ගස් උඩ නැගගෙන පළතුරු කාපු දඟකාර ළමා කාලයක් මටත් තිබුණා. 

අයියලා දෙන්නා ක්‍රිකට් ගහද්දී එක දවසක් ඒ බෝලේ ඇවිත් මගේ ඇහැ අයිනක වැදිලා මැහුමකුත් දැම්මා. අපි සෙල්ලම් ගෙවල් දාලා සෙල්ලම් බත් ඉව්වා. ඔය අතරේ කුස්සියට ගිහින් හිරමනේ උඩ හරි බංකුවක් උඩ හරි නැගලා සින්දු කිව්වා. සින්දුව කියලා ඉවර වුණාට පස්සේ අම්මා අත්පුඩි ගහන්නම ඕනේ. මොන වැඩක හිටියත් අම්මා අත්පුඩි ගහනවා. හදිසියේවත් අම්මා අත්පුඩි ගැහුවේ නැත්නම් මම අම්මාගේ ගවුම ඇදගෙන තරහින් දුවනවා. ඒ කාලේ මම කියන්නේම “සිළුමිණ සෑය වඳින් කියන සින්දුවයි. ඉස්සර අපේ ගෙදර ග්‍රැමෆෝනයක් තිබුණා. ඒකේ පරණ සින්දු වාදනය කළා. මගේ තාත්තාටත් හොඳට ගීත ගායනා කරන්න පුළුවන්. තාත්තාගේ නම ආතර් ඇලෙක්සැන්ඩර් රොද්‍රිගෝ. අම්මාගේ නම ඩේසි රොද්‍රිගෝ. 

බණ්ඩාරවෙල ඉඳන් චන්ද්‍රානි කොළඹට ආවේ ඇයි?
මගේ තාත්තාගේ ගම දෙහිවල. අපිට වැඩිදුර අධ්‍යාපනය දෙන්න කියලා තාත්තා අපිව කොළඹ ගෙනාවා. අපි ගල්කිස්සේ පදිංචි වුණා. තාත්තාට කැලණියේ ඉඩම් තිබුණා. ඒවත් බලන්න ගියා. කොළඹ පදිංචියට ආවට පස්සේ තාත්තා ගුවන් විදුලි යන්ත්‍රයක් මිලදී ගත්තා. දවසක් ගුවන් විදුලියෙන් “ළමා පිටියට අලුතින් ළමයි තෝරා ගන්නවා. කියලා නිවේදනයක් ප්‍රචාරය වුණා. මගේ පුංචි අම්මත් හිටියේ අපිත් එක්කමයි. එයා ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණු මේ නිවේදනය අහගෙන ඉඳලා අක්කගෙයි, මගෙයි, නංගිගෙයි නම් දාලා ලියුමක් ගුවන් විදුලියට තැපැල් කළා. අක්කා අකමැති වුණ නිසා මායි, නංගියි තමයි “ළමා පිටියට ඉදිරිපත් වුණේ. අපි සමත් වුණා. එතනදී ඇල්ෆ්‍රඩ් පෙරේරා මහත්මයා ළමා පිටියේ හිටියා. පසු කාලයේදී කරුණාරත්න අබේසේකර, මඩවල එස්. රත්නායක, සරත් විමලවීර, නන්දා ජයමාන්න, ඇග්නස් සිරිසේන වගේ අය ළමා පිටිය මෙහෙව්වා.

බණ්ඩාරවෙල කුඩා කුසුම් කන්‍යාරාමයෙන් ඉගෙන ගත්තු ඔබ, ගල්කිස්සට පැමිණියාට පසුව ඉගෙන ගත්තේ මොන පාසලේද?
තාත්තා මාව ගල්කිස්ස උසස් බාලිකාවට ඇතුළත් කළා. එහේ අක්කලා මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයටත්, බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයටත්, අයියලා දෙන්නා කොළඹ රාජකීය විද්‍යාලයටත්, ශාන්ත තෝමස් විද්‍යාලයටත් තාත්තා ඇතුළත් කළා. මට ගල්කිස්ස උස්ස බාලිකාවේ හොඳ තැනක් තිබුණා. මම ක්‍රීඩාවටත් දක්ෂයි. නැටුමටත් දක්ෂයි. අපේ ඉස්කෝලේ නැටුම් උගන්වපු නැටුම් ගුරුතුමිය ඉන්දියාවට යන නිසා ඒ පන්තිය බාරගෙන කරන්න කියලත් මට කිව්වා. ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ මම බාහිර නැටුම් ගුරුතුමියක් විදිහට ටික කාලයක් සේවය කළා. මම ඉන්දියානු නැටුම් පවා ඉගෙන ගත්තා. 

ගුවන් විදුලියෙන් තමන්ගේම ගීතයක් විදිහට චන්ද්‍රානි මුලින්ම ගායනා කළේ මොන ගීතයද?
ළමා පිටියේදී මම මුලින්ම ගායනා කළේ අන් ගායක ගායිකාවන් ගැයූ ළමා ගීතනේ. කරු අයියා (කරුණාරත්න අබේසේකර) ආවට පස්සේ අපිට අලුත් ගීත කළා. අපි හැමෝටම ගෙවල්වල ඉඳන් සංස්ථාවට එන්න වාහනයක් පවා සූදානම් කළා. හැම ළමයෙක්ගේම ගෙවල් ළඟට ගිහින් අපි එක්කගෙන ආවා. මට මුලින්ම ගායනා කරන්න ලැබුණේ.

“දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ

හායි හායි ආපි ඔන්න සෙල්ලම් කාලේ කියන ගීතයයි. ඊට පස්සේ “බෝනික්කා කවුද කැඩුවේ කියන ගීතයත් ගායනා කළා. කරු අයියා ලියන අකුරු මට තේරෙන්නේ නැති නිසා ඒක ආයෙමත් ලියලා මට දෙන්නේ මගේ අක්කයි. ඉස්සර එහෙම ලියපු සින්දු පොත තාමත් මම ළඟ තියෙනවා. ඊට පස්සේ ගීත බොහොමයක් තැටිගත කළා.

ළමා පිටියෙන් ඉවත් වී සරල ගී වැඩසටහන්වලට සහභාගී වෙද්දී ගායනා කරපු ගීත මොනවාද?
අවුරුදු දහයයක් සම්පූර්ණ වුණාට පස්සේ ළමා පිටියෙන් අපි අයින් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ කාලේ තිබුණ සරල ගී වැඩසටහන්වලට සහභාගී වුණා. ඒ කාලේ නාරද දිසාසේකර අපිට ගොඩාක් උදව් කළා. මම “A ශ්‍රේණියේ ගායිකාවක් ලෙස සමත් වුණා. මාස තුනෙන් තුනට සරල ගී වැඩසටහන් කළා. නාරද දිසාසේකරගේ සහය ගායිකාවක් ලෙසත් මම සහභාගී වුණා.

චන්දන ඇඟ ගාලා - කොණ්ඩේ කඩා දාලා
ගඟුලේ ගිලීලා - ටිකිරි මලී නාලා වගේ

ගීත ගැයූ ඔබ වේදිකාවට සම්බන්ධ වුණේ කොහොමද?
මම පාසල් වේදිකාවෙත් රඟපෑවා. උසස් බාලිකාවේ ඉගෙන ගනිද්දී අපි රාමායනය නාට්‍යය වේදිකාගත කළා. රාමාගේ චරිතයට රඟපෑවේ පාසලේ ඉගෙන ගත්තු බර්ගර් ජාතික ගැහැනු ළමයෙක්. එයා හොඳට සිංහල කතා කළා. එයා රාමාට රඟපාද්දී මම සීතාට රඟපෑවා. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා. පාසලේ සමහර ළමයි මම සීතා කියලා කියන්නත් පෙළඹුණා. මම “මූදු පුත්තු නාට්‍යයේ අත්වැල් ගායනයට සම්බන්ධ වුණා. ඒකේදී ගායනා කරන ගමන් පොඩ්ඩක් රඟපාන්නත් තිබුණා. දයානන්ද ගුණවර්ධන මහත්මයා මාව දැකලා “පත්මාවතී* නාට්‍යයේ “පත්මාවතීගේ චරිතයට කතා කළා. “මම සින්දු විතරක් කියන්නම්. මට රඟපාන්න බැහැ. කියලා මම කියද්දී “නැහැ මම චන්ද්‍රානිව කොහොම හරි හදලා ගන්නවා. කියලා දයානන්ද ගුණවර්ධන මහත්මයා මාව ඒකට පුහුණු කළා. ඒ කාලේ අපිට වේෂ නිරූපණය කළේ ඉන්දියාවෙන් ගෙන්වපු වේෂ නිරූපණ ශිල්පියෙක්. ඒ මේක්අප් කරපු විදිහට මට මාවම අඳුරගන්න බැරි වුණා. ඒ තරමටම ලස්සනට ඒ ශිල්පියා මාව හැඩ කළා. ටවර් හෝල් රඟහල විවෘත කරද්දී සිරිසඟබෝ නාට්‍යයට හෙන්රි ජයසේනයන් කතා කළා.

විවාහය සිදුවුණේ කොයි කාලෙදීද?
මගේ මහත්තයාගේ යාළුවෙක් අපේ ගෙවල් පාරේම හිටියා. එතනට මෙයා නිතරම එනවා. ඒ යාළුවා මගේ නංගිත් එක්ක යාළුවෙන්න උත්සාහ කළා. ඒකට උදව් කළේ මගේ මහත්තයා. අන්තිමට මෙයාගේ හිත මට ගියා. මටත් එයාට හිත ගියා. “අම්මලාගෙන් ඇවිත් අහන්න කියලා මම මහත්තයාට කිව්වා. 1966 වසරේ අගෝස්තු මාසේදී මව්පියන්ගේ ආශිර්වාදය ඇතිව අපි විවාහ වුණා. එයාගේ නම ක්ලිෆර්ඩ් ගුණවර්ධන. අපිට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. දුවගේ නම ඉන්දිකා ගුණවර්ධන. පුතා සුරාජ් ගුණවර්ධන. දැන් ඒ දෙන්නම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. දුවට වඩා පුතා අවුරුදු හතක් බාලයි. මට දුව ලැබුණට පස්සේ ගුරු පත්වීමක් ලැබුණා. මුලින්ම මම පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයේ තමයි නර්තනය ඉගැන්වූවේ.

ඔබ ගයනා ගීත අදටත් ජනප්‍රියයි. මොකද හිතෙන්නේ?
ඔව්.. මම ගායනා කරපු ගීත අදටත් ජනප්‍රියයි. ඇත්තටම ඒ ගැන තියෙන්නේ ලොකු සතුටක්. 

“තුං තුඹ මල් - තුඹ මල්
රෙද්ද ඇඳලා - බණ්ඩි වළලු දමාලා. ගීතය වගේම
“මල් කෙල්ලක් මං
මල් දෙන්නම් මං

වගේ ගීත අදටත් ජනප්‍රියයි. හැබැයි බොහෝ දෙනා ඒ ගීත ගයන්නේ මම කියලා දන්නේ නම් නැහැ. ගීත ජනප්‍රිය වීම ගැන සතුටුයි. මගේ සැමියා අද ඉන්නේ රෝගී තත්ත්වයකයි. එයාව බලන්නෙත් මමයි. මොනවා කරන්න ද මේක තමයි ජීවිතේ.   
►  Text - Dishani  /   Pic -  Sumudu