2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

කෙල්ලෙක් නෑ කිව්වට කවුරුත් පිළිගන්නෙ නෑ....

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:31 386

ජනුක.. අපිට මුලින්ම ඔයා ගැන පොඩි විස්තරයක් කියන්න?
මගේ නම ජනුක සචිත්‍ය බණ්ඩාර රාජපක්ෂ. මගේ පවුලේ ඉන්නේ අප්පච්චියි. අම්මයි, අයියලා දෙන්නයි, මමයි, මල්ලියි. පවුලේ කොල්ලොම හතර දෙනෙක් ඉන්නවා.

ඉදිරියේදී නැවතත් විකාශය වෙන්න නියමිත ටෙලිනාට්‍යයක ප්‍රධාන භූමිකාව රඟපාන්න ජනුකට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?
2017 වසරේ දී Best Model Of The World තරගය ජයග්‍රහණය කළා. ඒ තරගාවලියෙන් ජයග්‍රහණය කරලා ලංකාවට ඇවිත් දවස් හතරක් වගේ ගෙවෙද්දී දෙරණ නාලිකාවෙන් මට දුරකතන ඇමතුමක් ආවා. ඊට කලින් මම ලංකාවෙන් යන්න කලිනුත් මගේ යාළුවෙක් කෝල් කරලා “ටෙලිනාට්‍යයකට අලුතින් කෙනෙක් හොයනවා. කියලා කිව්වා. මීට කලිනුත් මට ටෙලිනාට්‍යය කිහිපයකට ආරාධනා ලැබුණා. ඇත්තටම මම ඒවා බාරගත්තේ නැහැ. ඒ නිසා මගේ යාළුවා කිව්වමත් මම කිව්වේ “ටෙලිනාට්‍යවල රඟපාන්න වැඩි කැමැත්තක් නැහැ  කියලයි. ඒ වෙලාවේ මගේ යාළුවා “නැහැ.. මේක සාමාන්‍ය ටෙලිනාට්‍යයක් නෙමේ. රාමායනය වගේ නාට්‍යයක්. කියලා කිව්වා. හැබැයි ඒ මොහොතේදීත් මම මේක “රාවණ කියලා හිතුවේ නැහැ.

“රාවණ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙද්දී මොකද හිතුණේ?
දවසක් මම ඒ නාලිකා ආයතනයට ගියා. එවෙලේ එහි නිෂ්පාදක චරිත කොතලාවල මහතාව මුණගැහුණා. ඔහු මට චරිත කිහිපයක් ගැන කියලා ඒවාට නළුවන් තෝරනවා කියලා තමයි කිව්වේ. ඒතනදී මාව රාවණ කියන චරිතයට තෝරලා තිබුණේ නැහැ. ආයතනයේ සභාපති ඇතුළු පිරිස මාව රාවණ චරිතයට තෝරලා ඒක ගැන ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ තුෂාර තෙන්නකෝන් මහතාගෙන්ම අහලා තිබුණා. අවසානයේදී තුෂාර අයියාගේ කැමැත්ත ඇතිව තමයි මාව “රාවණ චරිතයට තෝරා ගත්තේ. මට ඒ වෙලාවේ ලොකු සතුටක් දැනුණා. ඒක වචනවලින් කියන්න තේරෙන්ණේ නැහැ. මම හරිම කැමැත්තෙන් ඒ චරිතය බාරගත්තා.

“රාවණ කියන්නේ ඉතා ප්‍රබල චරිතයක්. එවැනි චරිතයක් කරන්න ලැබීමත් අභියෝගයක් නේද?
ඔව්.. අනිවාර්යයෙන්ම.. මම හැමවෙලේම මේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂකතුමා සමඟ මේ චරිතය ගැන කතා බහ කළා. “අයියෝ.. මේ චරිතය කොහොමද මම කරන්නේ. කියලා හැමවෙලේම අයියාගෙන් ඇහුවා. කවුරුත් දැකලාවත් නැති, ලෝකයම දන්න චරිතයක්. රඟපෑමත් ලොකු අභියෝගයක්. ලෝක පාලනය කරලා තියන, ගුවනින් ගියා කියපු, බොහෝ දේ සොයාගත්තු මේ චරිතය කරන්නේ කොහොමද කියන එක මටත් අභියෝගයක් වුණා. ඒක මට ලොකු ප්‍රහේලිකාවක් වුණා. ඒ හැම වෙලාවකම තුෂාර අයියා මට කියපු දෙයක් තමයි. “මල්ලී.. රාවණ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක් දැනුමෙන්, මහන්සියෙන් ඔහු දියුණුයි. ගහ කොළට, සතා සිව්පාවුන්ට ආදරය කරපු නිර්මාංශ සාමාන්‍ය කෙනෙක්. ඒ දේ ඔළුවට දාගෙන ඔයා චරිතය රඟපාන්න කියලයි.

ජනුක රඟපාන රාවණ චරිතයේ ළමා කාලය ඇතුළත් වූ “රාවණ ටෙලිනාට්‍යයේ පසුගිය කාලයේදී විකාශනය වුණා. මේ හරහා බොහෝ ප්‍රේක්ෂක පිරිසක් එම ටෙලිනාට්‍යය වටා එකතු වුණා. එවැනි ප්‍රේක්ෂක පිරිසක් ඉන්න ටෙලිනාට්‍යයක් ඉදිරියට ගෙනයාමේ අභියෝගයක් තියෙන්නේ ඉදිරියේදී ජනුක අතේ.. මොකද හිතෙන්නේ?
ඇත්ත.. මේ ටෙලිනාට්‍යය බොහෝ පිරිසක් නැරඹුවා. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. මේක ඇත්තටම මට ලොකු අභියෝගයක්. ඒක හිතාගන්නවත් බැහැ. මීට කලින් කවදාවත් මම රඟපාලත් නැහැ. ජීවිතේ එවැනි දේකට මුහුණ දෙන පළවෙනි අවස්ථාව වගේම ඒකත් ප්‍රධාන චරිතයක්. රාවණ ගැන බොහෝ පිරිසක් බලාගෙන ඉන්නවා. ඒ අය වෙනුවෙන් මම ලොකු සාධාරණයක් කරන්න ඕනේ. දැකලා නැති ප්‍රබල චරිතයක් කිරීමත් අභියෝගයක්. හැබැයි මම විශ්වාස කරනවා ඒක මට කරන්න පුළුවන් වෙයි කියලා.

මීට අමතරව තවත් නිර්මාණවලට ආරාධනා ජනුකට මේ දවස්වල ලැබෙන බවයි ආරංචිය?
ඇත්තටම එහෙම ආරාධනා ලැබුණා. හැබැයි මෙවැනි ප්‍රබල චරිතයකින්ම මුලින්ම මිනිසුන් අතරට එන්න ලැබීම ඇත්තටම ගොඩාක් වටිනවා. මේක දැවැන්ත චරිතයක්. මට චිත්‍රපට දෙකකට ආරාධනා ලැබුණා. නමුත් මේ චරිතය නිසා මම ඒවා බාරගන්නේ නැහැ. 

අප්පච්චි ව්‍යාපාරිකයෙක් එවැනි ව්‍යාපාරික පසුබිමක ඉන්නා ජනුක කලාවට සම්බන්ධ වෙනවට ගෙදරින් අකමැති වුණේ නැද්ද? 
මුලින් අකමැති වුණා. මුලින්ම මම මේ ක්ෂේත්‍රයට නිරෑපණ ශිල්පියෙක් විදිහට තමයි අඩිය තිබ්බේ. ඒ කාලේදී අප්පච්චි “ඕවා මොනවාද විකාර වැඩ කියලා කීපවතාවක්ම කිව්වා. අප්පච්චි මුල් කාලයේදී කිව්වේ ඔය දේවල් නවත්තලා ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වෙන්න කියලයි. මගේ උස අඩි හයයි හතයි. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් නිරෑපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න මට පාර පෙන්නුවා. ඒ නිසා මම නිරෑපණ ක්ෂේත්‍රයට සම්බන්ධකම් තියන තරගවලට ඉදිරිපත් වුණා. ඒවායින් ජයග්‍රහණ ලැබුවා. අද වෙනකොට ලංකාවේ නිරූපණ කලාව පහළ වැටීගෙන එන්නේ. ඒ නිසාම මම සහභාගී වෙන අන්තිම තරගය කියලා හිතලා Best Model Of World තරගයට සහභාගී වෙලා එකෙන් ජයග්‍රහණය ලැබුවා. ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවාට අකමැති වුණ අප්පච්චි දැන් මම ගැන ගොඩාක් සතුටු වෙනවා.

අද වෙනකොට සැබෑ ජීවිතේ පෙම්වතෙක් නේද?
මට පෙම්වතියක් නැහැ කිව්වට බොහෝ දෙනා පිළිගන්නේ නැහැ. හැබැයි ඇත්ත කතාවත් මට පෙම්වතියක් නැහැ කියලම තමයි. මම ගොඩාක් සතුටින් ඉන්න ආසා කෙනෙක්.

ජනුකගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මම එකදිගටම ලොකුවට වැඩ බාරගන්න කැමැති නැහැ. ඒකාකාරී ටෙලිනාට්‍ය මම බාරගන්න එකක් නැහැ. ඒවායේ මට ගැලපෙන චරිත තියේවී කියලා මම හිතන්නේ නැහැ. බොහෝ තැන්වලදී මගේ උස ප්‍රශ්නයක් වුණා. මම සිනමාවට සම්බන්ධ වෙන්න තමයි කැමති. රාවණ චරිතය මට වෙනසක් ඇති කරාවියැයි මම විශ්වාස කරනවා. 

 

► Text - Dishani  /  Pic - Sumudu

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00