2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

උදේට දියබත් - දවල්ට පළතුරු රාළ දැන් ගොවිරාළ

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 415

කලා කටයුතුවලින් බැහැරව දුකා අලුතින් පටන් ගත්තු “රාළ භෝජන ගැන ටිකක් කියමුද?
මම කොහොමත් කෘෂිකර්මය සම්බන්ධ බොහෝ වැඩකටයුතු කරලා තිබුණා. කාලයක් තිස්සේ මෙවැනි අලුත් වැඩක් කරන්න මගේ හිතෙත් අදහසක් තිබුණා. නමුත් ඒ සඳහා විවේකයක් සොයාගන්න ටිකක් අමාරු වුණා. ඔය අතරේදී තමයි සහරාන් විසින් කලාකරුවන් අපි හැමෝටම විවේකයක් දුන්නේ. අජිත් අයියායි (අජිත් ලොකුගේ) මායි අතරේ බොහෝම කාලයක ඉඳන් හොඳ සහෝදර බැඳීමක් තිබුණා. අපි දෙන්නා පසුගිය කාලේ කොමඩි ස්ටාර් වැඩසටහනත් එක්ක ගොඩාක් කිට්ටු වුණා. අජිත් අයියා මට “පළතුරු එකක් කරමු කියලා අදහසකුත් දැම්මා. ඒ නිසා තමයි අපි මේක පටන් ගත්තේ. මේක ටිකක් වෙනස් අලුත් විදිහට තමයි අපි කරන්නේ.

මේ පළතුරු දුකා මිලදී ගන්නේ කොහෙන්ද?
මට ඕන වෙලා තිබුණෙත් ගොවියන්ගෙන්ම පළතුරැ අරගෙන පළතුරු ආපිට මිනිස්සුන්ට ලබලා දෙන්නයි. ඒ නිසා මේ පළතුරැ අතර අතරමැදියෙක් නැහැ. මේ පළතුරු කල්තබා ගන්න කියලා අපි කිසිම දෙයක් දමන්නේ නැහැ. ගොවීන්ගේ ගොවිපළටම ගිහින් තමයි අපි මේ ඵලදාව නෙලාගෙන එන්නේ. අපි දැනට මොනරාගල, ගලේවෙල, ගල්නෑව, තඹුත්තේගම, ගම්පහ කියන ප්‍රදේශවලින් මිලදී ගන්නවා. අඹ, අන්නාසි, පැපොල්, පේර සහ කොමඩු තමයි අපි මිලදී ගන්නේ. මේ පළතුරු වර්ග පහෙන් පළතුරු වර්ග හතරක් මේ පැක් එකක අන්තර්ගත වෙනවා.

 

මොන ප්‍රදේශවලටද මේ රාළ පැක් එක දුකා ප්‍රවාහනය කරනවාද?
අපිට මූලිකවම අවශ්‍ය වුණේ මේ පළතුරු පැක් එක පාසල් දරුවන්ට ලබලා දෙන්නයි. රැපියල් පනහක මුදලකට අපි ඒක දරුවන්ට ලබලා දෙනවා. ඒකේ ග්‍රෑම් 200ක් තියෙනවා. ඊට පස්සේ අපි රැපියල් හැත්තෑපහකට ග්‍රෑම් 350ක පැක් එකකුත් ග්‍රෑම් 500යේ පැක් එකක් රුපියල් එකසිය පනහකට Fruit Lunch එකක් ලෙස හඳුන්වලා දුන්නා. දවල්ට බොහෝ තරුණ තරුණියන් බත් කන්න අකමැතියි. පිටි කෑම කන්න අකමැතියි. එවැනි අයට අලුත් Fruit Lunch එක විශේෂ වුණා. අද වෙනවිට අපේ පළතුරැ පැක්වලින් වැඩිම ඉල්ලුම තියෙන්නේ මේ Fruit Lunch එකටයි. දැන් බොහෝ දෙනා “රාළ Fruit Lunch එකක් කමු කියලත් කියනවා.

දුකාට “රාළ කියන නම බොහෝම සමීපයිනේ. මේ අලුත් වැඩේටත් “රාළ කියන නම යෝජනා වුණෙත් ඒ නිසාමද?
මට “රාළ ක්‍රියේෂන් කියලා ආයතනයක් තියෙනවා. ඒ ආයතනය යටතේ තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඇත්තටම මේක ආයතනයේ සම්බන්ධ තවත් කොටසක් නිසාත් ඒ නම යෝජනා කළා. ඒවගේම මේ වැඩේ ගොවියාට සම්බන්ධයිනේ. “රාළ කියලා කියපු ගමන් අපිට එකපාරටම මතක් වෙන්නේ “ගොවි රාළයි. හැබැයි ඉතින් කවුරුත් මේ නම හොඳට දන්නවා.

අද වෙනකොට “රාළ භෝජනත් එක්ක කීදෙනෙක් සේවය කරනවාද?
අපි දැනට දොළොස්දෙනෙක්ගේ කණ්ඩායමක් තමයි “රාළ භෝජන වැඩ කරන්නේ. පාසල් නිවාඩුව නිසා මේ දිනවල පෞද්ගලික ආයතන හා රාජ්‍ය ආයතනවලින් තමයි මෙයට වැඩිපුරම ඉල්ලුම ලැබෙන්නේ. කොළඹ අවට සහ පානදුර දක්වා පාසල් විස්සකට පමණ මෙය අපිට බෙදන්න සිදුවෙනවා. ඒ නිසා ඉදිරියේදී තව සේවක පිරිසක් එකතු කරගන්න සිදුවේවී. අපි හැමදාම උදේ පාන්දර හතරට තමයි අපේ වැඩ පටන් ගන්නේ. අපි කිසිම දේකට යන්ත්‍ර පාවිච්චි කරන්නේ නැහැ. අපේ කොච්චර ඉල්ලුම වැඩි වුණත් අපි හැම පළතුරක්ම කපන්නේ අතිනුයි. ඒක වෙනම කලාවක්. ලෝකේ කෙසේ බැලුවත් අතින් කපපු පළතුරු කන්න තමයි මිනිස්සු කැමති. යන්ත්‍ර කිසිම දෙයක් හඳුනන්නේ නැහැ. අපේ සේවකයෝ හැමෝම අත්වැසුම් පාවිච්චි කරනවා. පළතුරු ඇල්ලීමෙන් ඒ පළතුරේ ඉදුණු ස්වභාවය හඳුනාගන්න අපිට පුළුවන්. ඒ හඳුනාගැනීම මැෂිමකට බැහැ. ඒ නිසා මිනිස් අතකින් කපපු පළතුරැ රසවත් බව මුළු ලෝකයම විශ්වාස කරනවා. දැනට අපි කොළඹ අවට නොමිලේ ප්‍රවාහනය කරනවා. ලබන මාසේ ඉඳන් බොහෝ විට තනි තනිව ගෙවල්වලට වුණත් ප්‍රවාහනය කරගන්න පුළුවන් වේවී.

රාළ භෝජන පළතුරුවලට සීමා වේවිද?
නැහැ. කොහොමත් නැහැ. ඉදිරියේදී අපේ “රාළ Food එක විවෘත වෙනවා. ඒකේදී “රයිස් ඇන්ඩ් කරි පමණක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බො‍හෝ විට “දේශීය ආහාර දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි උදේට “දියබත් එකක් හඳුන්වා දුන්නා. “දියබත් ඉතා ගුණදායක ආහාරයක් වුණාට ඒක ගෙදර හදන්න දැන් මිනිසුන්ට වෙලාවක් නැහැ. ඒ නිසා “දියබත්* එකක් හදන්න අපි තීරණය කළා. ඊට අමතරව කරවල හොද්දක් සමඟ හොඳ කිරි කොස් මාළුවක්, අග්ගලා වර්ග, ඉඹුල් කිරිබත්, පොල් වතුර වගේ දේවල් ඉදිරියේදී “රාළ භෝජන හරහා අපි ලබලා දෙනවා. බත් දෙනවා නම් අපි සුවඳැල් වගේ ඒ වලින් තමයි බත් ලබලා දෙන්නේ. 

ඒ නිසා සාමාන්‍ය “රයිස් ඇන්ඩ් කරි කරන අයට අපි අභියෝගයක් වෙන්නේ නැහැ. අනික මේ පළතුරු එකටත් අපි විදේශීය පළතුරු යොදා ගන්නේ නැහැ. කවුරු හරි විශේෂයෙන් ඉල්ලීමක් කළොත් පමණක් අපි චෙරි, ස්ට්‍රෝබෙරි, මිදි වගේ පළතුරු යොදා ගන්නවා. හැබැයි ඇපල් නම් භාවිත කරන්නේම නැහැ. සල්ලි හම්බ කරන්න ඕනෑ තරම් ක්‍රම තිබුණත් මේ අපේකමත් එක්ක ගොඩනැගුණු අලුත් වැඩක්. අද කුඩා දරැවන් උදේට කන්නේ බනිස් එකක්, එහෙමත් නැත්නම් රෝල්ස් එකක්. මේ පළතුරු එක ඉතා ගුණදායකයි.

මේ අලුත් ව්‍යාපාරයත් එක්ක දුකාගේ කලා කටයුතුවලින් ටිකක් ඈත් වෙයිද?
නැහැ මේ මූලික කොටස ටිකක් අමාරුයි. හැබැයි අජිත් අයියයි, මමයි දෙන්නම ඉන්න නිසා වැඩේ කරගෙන යනවා. මේ මාස තුනේම අපි දෙන්නම උදේට වැඩට ආවා. හෙට සිට දවස් දහයක් අජිත් අයියාට ෂූටිං. මට පසුගිය දවස් දෙක තුනේ ෂූටිං තිබුණා. ඒ වෙලාවේ අජිත් අයියා මේ වැඩ ටික බැලුවා. අපි දෙන්නා නැතත් දැන් මේක වැඩ කරනවා. මේ වනවිට කළමනාකරුවකු පත්කරලත් තියෙනවා. ඒ නිසා මේ වැඩෙත් දිගටම යාවි. අපේ කලා කටයුතුත් සුපුරුදු පරිදි සිදුවේවී. මේ වනවිටත් අපි ගම්මානවලින් ලොරි මගින් කිලෝ දහදාහක් පමණ කොළඹට පළතුරු ගෙනත් කොළඹ වටේ බෙදා හදලා දීලා තියෙනවා. අපි මේක පටන් ගත්තේ පළතුරු පැක් පනහකින්. අද වෙද්දී විශාල ඉල්ලුමක් තියෙනවා. 

 

► Text - Dishani / Pic – Sumudu