2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

මම හරියට වින්ද පොතක්!

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 229

Art එකේ කැරට්ටුව..

හඬ: බෙනඩික් ජෝශප් පියතුමා

කලාව යනු විශ්වීය තිළිණයකි. එනයින් දෙවුර දරන සිවුරට හෝ පූජක ලෝගුවට කලාවෙහි නෙක දිශානතින් ඉසියුම් ලෙස ස්පර්ශ කරන්නට තහංචියක් තහනමක් තිබෙන්නට හැටියක් නැත. සොබාදහම නම් අපූරු ගීතය, සිතුවම, කවිය බුදුන්වහන්සේ බණ දහමට සූත්‍රවලට පවා ඈදා ගත්හ. කලාව සමඟ නිබඳ ස්නේහයෙන් කල් යල් හරින බෙනඩික් ජෝෂප් පියතුමන්ට හඬට හුස්මක් දෙන්නට අප ඇරියුම් කළේ එහෙයිනි.

පියතුමනි.... ඔබේ ජීවිතේ ගෙවෙන විදිය ගැන පොඩ්ඩක් අපිට කියන්නකෝ....?
මගේ පූජක ජීවිතය පූර්ණවත් ලෙස ගතකරන්න මම මහත් උත්සාහයක් ගන්නවා. ඒ අතරතුර කාලයේ කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න මගේ උනන්දුවක් තියෙනවා. ඒ අතරින් චිත්‍රපට විශේෂයි. පහුගිය කාලේ චිත්‍රපටවලට සම්බන්ධ උත්සව කිහිපයකටම සහභාගි වුණා. දේශීය සංගීතයටත් මගේ ඇල්මක් තියෙනවා. ඒ වෙනුවෙනුත් යම් යම් අවස්ථාවලට මම මගේ කාලය මිඩංගු කරනවා..  
ඒ තමයි බෙනඩික් ජෝශප් පියතුමා මේ දවස්වල කාලය ගතකරන විදිය.. 

හරි එහෙනම් අපි වැඩේට මුලපුරම...
ජෝශප් පියතුමා කලාවට සම්බන්ධ වෙන විදිය අපි අහලා දැකලා තියෙනවා.... ඔබතුමාගේ නිර්මාණ විඳීමේ පරාසය හරි පුළුල් එකක් කියලත් අපි දන්නවා.. ඒ නිසාම ඔබේ හිතට තදින් දැනුණු ඔබේම නිර්මාණයක් කියලා පරිස්සමින් තියාගන්න තරම් හිතුණ නිර්මාණයක් ගැන ටිකක් කතා කරමුද... ?
හරි කතා කරමු... පියතුමා උත්තරයක් කෙළින් දුන්නා... 

මට ඒ වගේ නිර්මාණ කිහිපයක්ම මුණගැහිලා තියෙනවා... විශේෂයෙන්ම අපි පූජකතුමන්ලා හැටියට අපේ ජීවිත තුළින් කියැවෙන... ජීවිතවලට අරුතක්, ගැම්මක් එකතුවෙන විදියේ ගීත කෙරෙහි අපේ අවධානය යොමුවෙනවා. මගේ දැඩි අවධානයට ලක්වෙච්ච නිර්මාණයක් තමයි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කළ කැරොල් පසම් කන්තාරු කියන කෘතිය... එයින් මහාචාර්යතුමා උත්සාහ කරන්නෙ අපේ දේශීය සංගීතය ගොඩනැගීම උදෙසා කතෝලික සභාවේ දායකත්වය මතුකරන්නට... මේ පොතේ අන්තර්ගත කරුණු අතරට පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා මොන ආකාරයටද කතෝලික සභාව තුළ ගීතිකා, පසම් ඒ වාගේම වන්දනාවට භාවිත වන ගායනා වගේ දේවල් මුල් කාලේ සිට යොදාගත් ආකාරය ගැඹුරින් අධ්‍යනය කරලා ඒ කරැණු ශාස්ත්‍රීය විදියට මේ පොතේ පෙළගස්වල තියෙනවා.... 

විශේෂම කාරණයක් තමයි කතෝලිකට දහමට පරිබාහිරව විවිධ ක්ෂේත්‍රයන්වලට කටයුතු කරන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අතින් මේ ආකාරයේ පොත් රචනා වීම ප්‍රසංශනීය කරුණක්... ඒක කියන්නම ඕනෙ.... අපි කතා කරන විවිධ වූ ගායනා ක්‍රම, පසම් කාන්තාරු කියන ගීත ප්‍ර‍භේදයන් සැබවින්ම ලංකාවේ ආරම්භ වුණේ කොහොමද? ඒවා අදත් අපේ කිතුණු ජනතාව අතර ප්‍රචලිතව පවතින ආකාරය මේ පොතෙන් අපූරුවට කතා කරනවා. 

මේ පොතෙන් කියන තවත් කරුණක් තමයි ඉස්සර මුල්කාලේ ඒ කියන්නෙ එක්දාස් නමසිය තිහ හතළිහ යුගවල දේවස්ථානවල ගායනා කරපු ගීතිකා බොහෝමයක් ලතින් භාෂාවෙන් තමයි තිබුණේ... පසුව ගැඹුරු පුළුල් අධ්‍යයනයකින් පසු සිංහලට පෙරළන ලද ප්‍රංශ, ඉංග්‍රීසි, ලතින් භාෂාවල ගීත පනහ දශකවල බොහෝ ලෙස භාවිත වුණා....  විශේෂයෙන්ම මහාචාර්ය සුනිල් ආරියරත්න හඳුනාගෙන තිබුණා විවිධ භාෂාවලින් ලියැවුණු ගීතිකා අතර අපේ රටේ කීර්තිමත් නම් දරා සිටි මර්සලින් ජයකොඩි පියතුමා. ඒ වගේම මෝසසි පෙරේරා පියතුමා වගේ අයගේ දායකත්වය හේතුවෙන් වෙනත් භාෂාවල ගීතිකා අපේ රටට ගැලපෙන ආකාරයට ඉතා මටසිලිටි ලෙස භාෂාව යොදාගනිමින් රචනා කරපු ආකාරය. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒ පියතුමන්ලා වෙනත් භාෂාවක ගීතිකා සිංහලට පරිවර්තනය කිරීම නතර කරලා ඔවුන්ගේම නිර්මාණ කරන්න පටන්ගත්තා... මේ ඔස්සේ බලනකොට හලාවත පදවියේ හිටපු එඩ්මන් පීරිස් රදගුරුතුමා ඒත් එක්කම මෝසසි පෙරේරා පියතුමා මම කලින් සඳහන් කරපු මර්සලින් පියතුමාලාගේ සංකලනය මහාචාර්ය සුනිල් ආරියරත්න මනාව මේ පොතේ සඳහන් කර තිබෙනවා. 

අනිත් කාරණාව තමයි ශ්‍රී ලංකාවේ කතෝලික සභාව ලන්දේසීන් පාලනය කරද්දී අපේ පියතුමන්ලාට විවිධ ආකාරයේ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. පියතුමන්ලාව දැක්ක තැන පලවා හරින්න කටයුතු කළා, මහ රෑට වධ වේදනා දුන්නා.. මේ වකවානුවේ ඉන්දියාවේ ඉඳන් එනවා මිෂනාරී පියතුමෙක් එයාගේ නම ජුසේවාස්.. එයා එන්නේ වෙස්වලාගෙන. පියතුමෙක් විදියට ආවා නම් උන්වහන්සේව නැවත ඉන්දියාවට පලවාහරින්න ඉඩ තිබ්බ නිසා. එතුමා මෙරටට ඇවිත් සූක්ෂම ලෙස කිතුනුවන් ඉන්න පළාත්වලට ගිහින් මෙහෙවරක් කරන්න උත්සාහ කරනවා. උන්වහන්සේට තේරුම් යනවා ආගමක් ප්‍රවර්ධනය කිරීමට නම් ජනතාවගේ භාෂාව දැනගත යුතු බව... ඔවුන්ගේ සංස්කෘතිය හඳුනාගත යුතු බව.. ඒ නිසා තවත් පියතුමෙක්ව ජුසේවාස් පියතුමා ඉන්දියාවේ සිට කැඳවා ගන්නවා... ඒ කැන්දාගත් පියතුමා තමයි ගරැ ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා... උන්වහන්සේ භාෂා ගණනාවක්ම ඉගෙනගත්ත කෙනෙක්... පසුව ස්වාමින්වහන්සේලාගෙන් සිංහල භාෂාවත් ඉගෙනගෙන පොත් ගණනාවක්ම ලියනවා. ජාකෝමේ පියතුමා සංගීතයට, ගීතිකාවලට දැඩි ඇල්මක් දක්වපු කෙනෙක්...  ඒ ගීතිකා ප්‍රචලිත කරන්නත් එතුමා දැඩි වෙහෙසක් දැරුවා... නත්තල් කැරොල් ගීත, දේශීය හුරුවට තිබෙන සිංහල ගීතිකා.. මර්සලින් ජයකොඩි පියතුමන්ලාට පෙර මේ ඉන්දියානු ජාතික පියතුමා තමයි නිර්මාණය කළේ. දේශීය හුරුවට ගීත නිර්මාණය කරන්න එතුමා හරි අපූරුවට පදනමක් දාලා දුන්නා... මහචාර්ය සුනිල් ආරියරත්න මේවා ගැන ගැඹුරින් පරීක්ෂණ කරලා ඒ තොරතුරු මහජනයාට දැනගැනීම පිණිස කැරොල් පසම් කන්තාරු නමින් පර් යේෂණාත්මක අපූරු කෘතියක් නිර්මාණය කළා... ඇත්තටම කැරොල් පසම් කන්තාරු පොතට මගේ ලොකු කැමැත්තක් ආදරයක් තියෙනවා.. 

මේ කෘතිය ඇතුළේ පියතුමා කැමති විශේෂ ගීතිකා එහෙම ඇතිනේ.. එකක් දෙකක් මතක් කරමුද ?
ඔව් මේ කෘතියේ මම ආසා නිර්මාණ තිබෙනවා... ඉන් එකක් තමයි ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා රචනා කරපු අපූරු නත්තල් ගීතයක් තිබෙනවා. දෙවිඳු උපන්නේ කියලා... ඒ ගීතයේ වචන හරිම ලස්සනයි... තාලයට ගැලපෙන විදියට ඒ ලස්සන වචන යොදලා තියෙනවා... ඒ වගේ පසම් ගීතත් තිබෙනවා... පසම් ගීතවලින් කියැවෙන්නෙ ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ඛප්‍රාප්තිය, මරණ ගැන මෙනෙහි කිරීම. ජාකෝමේ ගොන්සාලිස් පියතුමා හරි අපූරුවට ඒ ගීත නිර්මාණය කරලා තියෙනවා... ඒ වගේම මර්සලින් ජයකොඩි පියතුමාගේ ගීතවලටත් මම බොහෝ ඇලුම් කරනවා. 

මෙච්චර වටිනා මේ නිර්මාණය ඔබට මුණගැහෙන්න කොහොමද?
මම සුනිල් ආරියරත්න මහාචාර්යතුමාව විවිධ කරුණු කාරණා නිසා ළඟින් ඇසුරු කරනවා... මේ පොත කල එළිගැන් වූ දවසේ මටත් ආරාධනා ලැබුණා... ඒ ආරාධනාව මට ලැබුණු විශේෂ අවස්ථාවක්..  එහෙම තමයි මට මේ පොත කියවන්න ලැබුණේ... 

මෙච්චරම ආසකරන පොත කී වතාවක් දැනට කියවලා තියෙනවාද...?
දැනට මම දෙසැරයක් තුන්සැරයක් විතර කියවලා තියෙනවා... යම් යම් විශේෂ අවස්ථාවලට ගීතිකාවක් තොරගන්න ඕන වුණාම.. විශේෂ ලිපියක් සකසන්න,  විශේෂ කතාවක් කරන්න ඕන වුණාම, යම් කිසි තොරතුරක් දැනගන්න ඕන වුණාම තැනින් තැන කියවලා අදාළ කරුණ උපුටා ගන්නවා. 

මෙවැනි කෘතිය තුළින් සමාජයේ ඉන්න මිනිස්සුන්ට මොනවගේ දෙයක් එකතු කරගන්න පුළුවන් කියලද පියතුමාට හිතෙන්නෙ..?
මට මූලික වශයෙන්ම දැනුණු දේ තමයි කතෝලික දහම ආශ්‍රිත ජනවන්දනාව ඇසුරු කරගත් මෙවැනි කෘති පියතුමන්ලා හැටියට අපි තමයි සම්පාදන කරන්න ඕනෙ.. නමුත් ඒ හිඩැස නැතිවෙන විදියට මහචාර්යතුමා හරි පූරැවට මේ පොත සම්පාදනය කරලා තියෙනවා... අපිටත් පාඩමක් ඉගෙනගන්න පුළුවන් විදියට මහාචාර්යතුමා ඒ කටයුත්ත අවසන් කිරීම ගැන මට තියෙන්නෙ ලොකු සතුටක්.  ක්‍රිස්තියානි ආගමික පරිසරය ගැන ඉතා නිවැරදි අර්ථනයක් එතුමා විසින් දීලා තියෙනවා.. මේ කෘතිය ඇසුරු කරන ඕනම කෙනෙකුට ඒ කාරණ පිළිබඳ වටිනා කරුණු අධ්‍යනයක් කරන්න.. දැන ඉගෙන ගැනීමට පුළුවන්කමක් තියෙනවා....

 

► Text - Danushka Wijesiri   /   Pic - Internet

 

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00