“බ්‍රසීලයේ වෙසෙන ඇමසන්වාසී අපගේ සොයුරු සොයුරියනි. අපි ඔබ ගැනත්, ඔබේ දරුවන් ගැනත්, ජීවී වනාන්තරය ගැනත්, සකල සත්ත්ව වර්ගයා ගැනත්, ගංඟා සහ ශාක පද්ධතිය ගැනත් නිරන්තරයෙන්ම සිහි කරන්නෙමු. මේ විනාශයට වගකිව යුත්තේ අපගේ ආණ්ඩු සහ බහුජාතික සමාගම් බව ද අපි අවධාරණය කරන්නෙමු. ඇමසන් වැසි වනාන්තරය විනාශයට පත්වීමට හේතු වූයේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් බව කිව යුතුමය. මේ මොහොතේ අපි එකාවන්ව ශක්තිමත්ව නැඟී සිටිමින් ඉදිරියට පැමිණිය යුතුව තිබේ”.
ඉහතින් දැක්වුණේ ඉක්වදෝරියානු ආදිවාසී ජන කොට්ඨාසයක් වන කිච්වා ග්‍රෝතික නොයෙමි, ගුලියෙන්ගා නම් කාන්තාවක් අන්තර්ජාලය හමුවේ තැබූ සටහනක්. ‘ඇමසන් ෆ්රන්ට්ලයින් නම් වෙබ් අඩවියක් හරහා ඇමසන් වනාන්තරය ආශ්‍රිතව ජීවත්වන ගෝත්‍රික කාන්තාවන් රැසක් මෙසේ ඇමසන් වනාන්තරයේ පවතින ගිනිගැනීම ගැන අදහස් දක්වලා තිබුණා.
ඇමසන් වනාන්තරය හැඳින්වෙන්නේ ලෝකයේ පෙනහළු යුගලය කියලයි. ඒ තරමටම අපිට හුස්මගන්න වාතය නිපදවන්න ඇමසන් වනාන්තරය ලොකු මෙහෙයක් ඉටුකරනවා. ඒ වගේම වර්ග සැතපුම් මිලියන ගණනක විශාලත්වයෙන් යුත් මේ වනාන්තරය දකුණු ඇමරිකාවේ රටවල් හයක් පුරාවට පැතිර පවතිනවා.
මේ අතර නොමෙන්ටේ නෙන්කුමියෝ නමැති වොරානි ග්‍රෝත්‍රික කාන්තාවකුත් අදහස් දක්වලා තිබුණා. ඇය හරිම උපහාසාත්මක විදිහට බ්‍රසීලයේ ජනාධිපති බොල්සොනාරෝව ආමන්ත්‍රණය කරලා තිබුණා. “බොල්සොනාරෝ, ඔයා හුස්ම ගන්නේ කොහෙන්ද? ටිකෙන් ටික බ්‍රසීලයේ වායුගෝලය විනාශ වෙමින් පවතිනවා. ඇමසන් වනයේ ජීවත්වන කාන්තාවන් විදිහට මේ ගැන තවදුරටත් නිශ්ශබ්දව බලා ඉන්න බැහැ” ඇය ප්‍රකාශ කරලා තිබුණා.
මෙතැනදී වොරානි ගෝත්‍රික කාන්තාව දැක්වූ අදහස්වලට ලොකු වටිනාකමක් හිමිවෙනවා. ඒකට හේතුව තමයි මීට මාස කිහිපයකට උඩදී වොරානි ගෝත්‍රිකයෝ ඉක්වදෝර රජයට එරෙහිව ඇමසන් වනාන්තරය වෙනුවෙන් නඩු කියලා ජයගත්තා.
ඇමසන් වනාන්තරය තම වාස භූමිය කරගත්තු වොරානි ගෝත්රිකයන්ගෙන් කිසිම අදහස් විමසීමක් කරන්නෙ නැතුව ඔවුන්ගේ වාසභූමිය තෙල් සමාගම්වලට විකුණන්න ඉක්වදෝර් රජය කටයුතු කරන්න සූදානම් වෙද්දි වොරානි ජනතාව නීතියේ පිහිට පැතුවා. 2012 අවුරුද්දෙදි ඔවුන් එරට රජයට විරුද්ධව පළමු නඩු ජයග්‍රහණය ලැබුවා. හැබැයි රජයත් වැඩේ අතෑරියේ නෑ. රජය ඒ තීරණයට විරුද්ධව යළි අභියාචනය කළා. ඒත් එවරත් අධිකරණය ගත්තේ වොරානි ජනතාවගේ පැත්තයි. ඉතින් මේ ජයග්‍රහණයත් එක්ක වොරානි ජනතාව දිහාවට මුළු ලෝකයේම අවධානය හිමිවුණා.
අනිත් පැත්තට මේ වෙද්දි ගිනි ගැනීම් නිසා විනාශයට පත්වුණු ඇමසන් වනාන්තරයේ බ්‍රසීල කොටස තුළ එම තත්ත්වය ඇති වෙන්න ප්‍රධාන හේතුවක් බවට බ්‍රසීල රජයේ පරිසර හිතකාමී නොවන ක්‍රියාකාරකම් හේතුවක් වෙලා. විශේෂයෙන්ම කැලෑ කැපීම සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපතිවරයා ඉඩදීලා බලාගෙන ඉන්න නිසාත් මේ ගිනිගැනීම් වැඩිවෙන්න හේතුවෙක් වෙලා කියලා පරිසරවේදීන් චෝදනා කරනවා.
අන්තර්ජාලය ඇසුරෙනි.
► Text - Suranga / Pic - Internet