2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

තිසුරි අක්කාගෙන් අපේ අයියා ගුටි කනවා - මල්ලිලානම් කීවේ එහෙමයි

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:31 290

තිසුරි.. ඔයාට සුරාජ්ව මුණගැහෙන්නේ ඔය දෙන්නම කුඩා කාලයේදීමනේ. ඒ ළමා කාලයේ තිබුණ යාළුකම ගැන මකත් කරමුද?
ඔව්.. සුරාජ් කියන්නේ අපේ තාත්තාගේ හොඳම යාළුවගේ පුතා. ඉතින්... අපේ පවුල් දෙක හරි යාළුයි. ඉතින් ඒ නිසා අපි පුංචි කාලේ ඉඳන්ම හොඳ යාළුවෝ. සුරාජ්ට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් පුංචි කාලේ ඉඳන් අපි හතර දෙනා සෙල්ලම් කරනවා. ඒ කාලේ ගැහැනු ළමයි පිරිමි ළමයින්ට වඩා ටිකක් උසයිනේ. ඉතින් මට මතකයි සුරාජ් ඒ කාලේ මට වඩා ටිකක් කොටයි. හැබැයි දැන්නම් එයා ගොඩාක් උසයි. මුලින්ම අඳුරගන්න කාලේදී සුරාජ්ගේ පොඩි මල්ලි හරි දඟයි. ඒ නිසා මුල් දවස්වල මෙයාගේ ගෙදර ගියාම මම ඒ පැත්ත පළාතේ යන්නේ නැහැ. ඉඳගෙන පැත්තකට වෙලා ඉන්නවා. හැබැයි ටික ටික සුරාජ් මාත් එක්ක ඇවිත් කතා කළා. එතකොට අපි දෙන්නම පොඩියි.

ඊට පස්සේ දෙන්නම හොඳ යාළුවෝ වුණාද?
ඔව්.. ඊට පස්සේ සුරාජ් විතරක් නොවේ. සුරාජ්ගේ මල්ලිලා දෙන්නත් මගේ හොඳ යාළුවෝ වුණා. එයාලා ට්‍රිප් එකක් යන්න ලෑස්ති වුණත් එයාගේ අම්මට කියලා අපිටත් කතා කළා. එතකොට අපි පොඩි ළමයි. අපි හතරදෙනා මුලින්ම හොඳටම යාළු වුණේ බැට්මින්ටන් සෙල්ලම් කරන්න ගිහින්. වෙනදාට මම සුරාජ්ගේ ගෙදර ගියාම පුටුවකට වෙලා වාඩිවෙලා ඉන්නවනේ. හැබැයි අපි ටික ටික කතා කරන්න පටන් ගත්තට පස්සේ අපි හතරදෙනා බැට්මින්ටන් සෙල්ලම් කළා. කාඩ් ගැහුවා. ගස් මාරු සෙල්ලම් කළා. පොඩි මල්ලි අපි තුන්දෙනාට වඩා ටිකක් බාලයි. ඒ නිසා අපි තුන්දෙනා විහිළු කතාවක් කිව්වත් එයා කට ඇරගෙන බලාගෙන හිටියා. ඒ වගේ අපි හතර දෙනා ගොඩාක් හොඳ යාළුවෝ වුණා. 

සුරාජ්ගේ තාත්තයි, අපේ තාත්තයි යාළුවෝ වගේම අපේ අම්මලා දෙන්නත් හොඳ යාළුවෝ. හැබැයි සමහරදාට අපේ තාත්තා නැවේ ගිහින් මාස ගාණකින් එන්නේ. සුරාජ්ගේ තාත්තා නැවේ ගිහින් මාස ගාණකින් එන්නේ. ඉතින් සමහරදාට අපි දෙගොල්ලොම මුණගැහෙන්නේ මාස ගාණකින්ම තමයි. තාත්තලා දෙන්නම ලංකාවේ ඉන්නවානම් අපි එකදිගට මුණගැහුණා. හැබැයි සමහර කාලවලදී මුණගැහුණේ පොඩි කාලයක් ගියාට පස්සේ. ඒ වෙද්දී මේ තුන්දෙනා උස ගිහිල්ලා. මම වෙනස් වෙලාත් තිබුණා. කාලයෙන් කාලයට ඒ දේවල් වෙනස් වුණාට අපේ යාළුකම වෙනස් වුණේ නැහැ. ඊට පස්සේ අපේ පාසල් අධ්‍යාපනය අවසන් වීමත් එක්කම සුරාජ් මගෙන් ආදරයක් ගැන ඇසුවා.
(ඔන්න ඔහොම තිසුරි ඒ දෙන්නගේ හරි ලස්සන ළමා කාලය ගැන කියද්දී සුරාජ් ළඟ ඉඳගෙන ඒ හැමදෙයක්ම අහගෙන හිටියා. සුරාජ් නම් මේ කතාබහ පටන් ගනිද්දීම කිව්වේ “තාම මගේ සබකෝලය තියෙනවා. කියලයි. හැබැයි ඉතින් මේ දෙන්නගේ ආදර කතාවට සුරාජ් එක්කත් කතා නොකළොත් හරි අඩුවක්නේ. සුරාජ් කියන්නේත් තිසුරි වගේම හරිම නිරහංකාර චරිතයක් කියලා කතාව අතරතුරේදී අපිට හිතුණා.)

සුරාජ්.. පාසල් අධ්‍යාපනය ඉවර වෙද්දීම ආදරය තිසුරිට ප්‍රකාශ කරන්නට කලින් කොයි තරම් කාලයක් ඔය ආදරේ හිතේ  හිර කරගෙන හිටියද?
ඇත්තටම ඒක මුලදී ආදරයක් කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඊට කලින් මගේ හිතේ කාටවත් එහෙම ආදරයක් තිබිලාත් නැහැ. තිසුරි කිව්වා වගේම අපේ තාත්තලා. දෙන්නා මුණගැහුණොත් තමයි අපි මුණගැහෙන්නේ. ඉතින් ටික ටික තිසුරි එක්ක තිබුණු යාළුකම විශේෂයි කියලා මට තේරුණා. ඔය අතරේ උසස් පෙළ විභාගයත් අවසන් වුණා. ඒත් එක්කම තිසුරිට වෙන විවාහ යෝජනා ඒවිද? තිසුරි තව කවුරු හරි එක්ක යාළු වෙයිද කියලා මට බයක් ඇති වුණා. ඒ නිසා මෙයාව “මගේ කරගැනීමේ ලොකු උවමනාවක් මට ඇති වුණා. ඒ නිසාම උසස් පෙළ ලියලා ඉවර වුණ ගමන් මම මගේ අදහස මැසේජ්වලින්ම තිසුරිට කිව්වා.

ඇත්ත කියන්න තිසුරි.. මෙහෙම සුරාජ් මේ යෝජනාව ගෙනෙද්දීත් ඔයාගේ හිතෙත් සුරාජ් ගැන ආදරයක් තිබුණා නේද?
පුංචි කාලේ ඉඳන්ම මගේ ඔළුවේ තිබුණ දෙයක් තමයි “මෙයා සහ මෙයාගේ ගතිගුණ හරිම හොඳයි කියලා. මෙයා හැමෝම ගැන හොයනවා. හැමෝම ගැන බලනවා. අදට වුණත් මම කියන්නෙත් නැතිව මගේ පවුලේ ආච්චිගේ ඉඳන් සමහර විට මට මඟහැරෙන දේවල් මෙයා හොයලා බලලා කරනවා. මම බලෙන් හිතලා කරන්නේ නැති, මම කරන්නේ නැති දේවල් හොයලා බලලා කිරීමේ පුරුද්ද ඒ කාලේ ඉඳන්ම සුරාජ්ට තිබුණා. මගේ ඔළුවේ මෙයා “හැම වෙලේම හොඳ කෙනෙක් කියලා තමයි තිබුණේ. සමහර දවස්වල අපි ක්ලාස් ගිහින් ගෙදර ඇවිල්ලත් මෙයා ගෙදර ඇවිත් නැතිවෙනකොට “කෙල්ලෙක් හම්බවෙන්න යන්න ඇති කියලා මට හිතුණු වෙලාවල් තිබුණා. ඒ වගේ මෙයා ගැන හොයලා බලන පුරුද්දකුත් මට තිබුණා. 

හැබැයි පොඩි කාලේ අපි එකට හිටපු හැටියට මෙයා මම ගැන අදහසක් තියෙනවා කියලා මම ජීවිතේට හිතුවේ නැහැ. මෙයා මුලින්ම මට මැසේජ් කරලා කිව්වෙත් මෙයාගේ යාළුවෙක්ට සිදුවුණු සිදුවීමක් වගෙයි. ටික වෙලාවකට පස්සේ එයා මට “අනේ තරහ වෙන්න එපා. අම්මලාට කියන්න එපා.. මම ඔයාට කැමතියි. කියලා මැසේජ් එකක් එවලා තිබුණා. ඒ වෙලාවේ මට හිතාගන්නවත් බැරි වුණා එයාගෙන් එහෙම දෙයක් මම බලාපොරොත්තු වුණේම නැහැ. හැබැයි මෙයා ගැනත් හිත ඇතුළෙන් කැමැත්තක් මට තිබුණා. මෙයාට මම අකැමත්තක් තිබුණා නම් මම කෙලින්ම “මම ඔයාට කැමති නැහැ කියලා මැසේජ් එකක් යවනවනේ. හැබැයි එහෙම මැසේජ් එකක් යවන්න මගේ හිත ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා මගේ හිත ඇතුළෙන් කැමැත්තක් මෙයාට තිබුණා. ඒත්.. මේ සම්බන්ධය දැනගත්තට පස්සේ තාත්තාගේත්, අම්මලාගේත් යාළුකම් නැතිවේවී කියලා මම බය වුණා. “ඔයා හොඳ කෙනෙක්. හැබැයි මට තව කල් ඕනේ. කියලා තමයි මම සුරාජ්ට කිව්වේ.

ඒ කියන්නේ සුරාජ්ට පොඩි බලාපොරොත්තුවක් තිසුරි දීලා තියෙනවා නේද?
ඔව්.. මම ඒ යෝජනාව කිව්ව ගමන් එයා ඒ මැසේජ් එක මට එව්ව ගමන් මම මැසේජ් යවන එක නතර කළා. මෙයා පොඩි කාලේ ඉඳන් මම දන්නවනේ. මෙයා ඒ කාලේ ඉඳන්ම හැම දෙයක්ම එයාගේ අම්මා එක්ක කියනවා. ෂූටිං ගිහින් ආවත් ඒ හැම දෙයක්ම අම්මා එක්ක කියනවා. ඉතින් මෙහෙම අදහසක් කිව්ව ගමන් ඒකත් අම්මට කියයි කියලා මම බය වුණා.

(ඔන්න ඒ වෙලාවේ තිසුරි ආයෙමත් තවත් කතාවක් කිව්වා)
හැබැයි සුරාජ්ට පුදුම විදිහට ඉවසන්න පුළුවන්. මගේ හිත ඇතුළේ තිබුණ දෙයක් තමයි “කවදා හරි මම යාළු වෙන කෙනාම තමයි මම කසාද බඳින්නේ. කියලයි. ඒකත් එක්ක සුරාජ්ට එකපාරටම කැමැත්ත දෙන්න මම බය වුණා. අපි යාළුවෝ විදිහට ආශ්‍රය කළාට මෙයාගේ කේන්තිය මම දැකලා නැහැ. මෙයා මගේ කේන්තිය දැකලා නැහැ. ඒ නිසා මම “කැමැත්ත දෙන්න පොඩ්ඩක් කල්ගත්තා. මෙයා බොහෝම ඉවසීමෙන් ඒ කාලය බලාගෙන හිටියා. අවුරුදු තුනක් වගේ කාලයකක් ඒ “වචනය එනතුරු සුරාජ් බලාගෙන හිටියා. හැබැයි ඒ කාලය තුළ අපි යාළුවෝ වගේ මැසේජ් කළා. කතාබහ කළා. මම ගැන හොයලා බැලුවා. බැරිම තැන සුරාජ් “මම අම්මට කියනවා කියලා කිව්වා. ඒ නිසා තමයි මම දවසක් මගේ අම්මට සුරාජ් ගැන කිව්වේ. ඊට පස්සේ හැමෝටම කියලා දෙගොල්ලන්ම දිනයක් දාගත්තා.

තිසුරි අම්මට කියන්න කලින් මේ සම්බන්ධය ගැන සුරාජ්ගේ මල්ලිලා දෙන්නා දැනගෙන හිටියද?
ඒ දෙන්නා දැනගෙන ඉඳලා. ඒත් මුලින් අපි දෙන්නාගෙන් ඇහුවේ නැහැ. මෙයාගේ වෙනදාට මට නැති කැමැත්තක් ඒ දෙන්නට පේන්න ඇතිනේ. අම්මලා කැමති වුණාට පස්සේ තමයි ඒ දෙන්නා කිව්වේ “තිසුරි අක්කාගෙන් අපේ අයියා ගුටි කනවා. කියලා. ඒ දෙන්නා හිතාගෙන හිටියට ඒ වෙලාවේ කිව්වේ. හැබැයි ඒ දෙන්නා මුල ඉඳන්ම දැනගෙන ඉඳලා තියෙනවා.

සුරාජ් ඔයාට මතකද තිසුරිට දීපු මුල්ම තෑග්ග?
ඔව් හොඳට මතකයි. උසස් පෙළ ඉවර වුණ ගමන් තමයි මම ඒ තෑග්ග තිසුරිට දුන්නේ. ඒ කාලේ ඉතින් එහෙමට සල්ලිත් නැහැනේ. රස්සාවක් කරන්නෙත් නැහැනේ. ඉතින් ගෙදරින් දුන්නු කීය කීය හරි එකතු කරලා තිසුරිට මම චූටි චූටි මුදු දෙකක්, මාලයක්, කරාබු දෙකක්, බ්‍රේස්ලට් එකක් තෑගි කළා. ඒකට මහ ලොකු ගාණක් ගියේ නැහැ. රුපියල් හත්සීයක වගේ ගාණකට ඒ තෑග්ග අරගෙන දුන්නා.
තාමත් ඒ ටික මම ළඟ තියෙනවා.. සමහර ඒවා මළකඩත් කාලා. හැබැයි ඒවත් තාම ළඟ තියෙනවා.

(ඔන්න එහෙම කිව්වෙ නම් තිසුරි. සුරාජ්ට මුලින්ම තිසුරි අරගෙන දීලා තියෙන තෑග්ගත් තවමත් සුරාජ් ළඟ තිබෙනවාලු. බලමුද තිසුරි මුලින්ම දීලා තියෙන්නේ මොනවාද කියලා.)

මම සුරාජ්ට දීපු තෑග්ගත් තවම මට හොඳට මතකයි. මට කතරගම යන්න තිබුණා. ඒ වෙලාවේ මම සුරාජ්ගෙන් “මොනවද ඕනේ කියලා අහද්දී “මට නූලක් ගෙනත් දෙන්න.. මම ආවම සල්ලි දෙන්නම්. කියලා කිව්වා. ඊට පස්සේ මම මට හොඳයි කියලා හිතෙන නූලක් අරගෙන ඇවිත් සුරාජ්ට දීලා “සල්ලි ඔයා තියාගන්න මේක මගෙන් කියලා මම දුන්නා. ඒ නූල අදටත් සුරාජ් පරිස්සම් කරලා තියාගෙන තියෙනවා.
(ඊට පස්සේ නම් දෙන්නා ඕනෑ තරම් තෑගි බෝග හුවමාරු කරගෙන තියනවා. හැබැයි මොනතරම් වටිනා තෑගි බෝග තෑගි කළත් මුලින්ම දීපු තෑග්ග නම් දෙන්නටම හොඳටම මතකයි.)

සුරාජ්ගේ රැකියාවක් එක්ක මාස කිහිපයක් රටින් පිට ඉන්න සිදුවෙනවා. නමුත් විවාහ උත්සවයක් සමඟම දිගු නිවාඩුවක් සුරාජ්ට ලැබිලා තියෙනවා නේද?

(ඔන්න එහෙම අහද්දී ඒකට උත්තර දුන්නේ තිසුරි)
ඔව්.. අපි විවාහ වුණේ 2018 අවුරුද්දේ ජුලි 19 වැනිදා. සුරාජ්ලාගේ රුකියාවේ නිලධාරින්ට විභාග තියෙනවානේ. ඒ එක විභාගයකට අවුරුද්දක් විතර සුරාජ් ලංකාවේ ඉන්න ඕනේ. ඉතින් අපේ පවුල්වල අය කිව්වෙම විභාග අස්සේ වෙඩින් එක දාගන්න එපා කියලා. පාඩම් කරන්න තියෙන නිසා කියලා. හැබැයි අපි දෙන්නාගේ තනි කැමැත්තට තමයි අපි 2018 අවුරුද්දේ වෙඩින් එකට දින දාගත්තේ. අපි දෙන්නටම ඕන වුණේ වෙඩින් එක ගත්තු කාලයේ වැඩිපුර කාලයක් එයා ලංකාවේ ඉන්නයි. ඒ නිසා වෙඩින් එකෙන් පස්සේ තවම සුරාජ් ලංකාවෙන් ගියේ නැහැ.

කියපු විදිහටම සුරාජ්ට පාඩම් වැඩකටයුතු කරගන්න පුළුවන් වුණාද?
ඔව්.. ඔව්.. මගේ පාඩම් වැඩවලට තිසුරි පොඩ්ඩක්වත් කරදරයක් වුණේ නැහැ. එයා හැමවෙලේම “පාඩම්.. කරන්න.. පාඩම් කරන්න.. කියලා කිව්වා. ගෙදර ඉන්න කාලේදී මම පාඩම් කරන්නේත් නැහැ. බැන්දට පස්සේ ඇඳ එහා පැත්තේ ඉන්න කෙනා නිසාම මම පාඩම් කරනවාද නැද්ද කියලා එයා හොඳටම දන්නවා.

(ඔන්න අහන්නකෝ තිසුරි කියපු දේ)
වෙලාවකට මෙයාම කියනවා “අම්මෝ.. ඒ කාලේ එක්කෝ පාඩම් කළා. නැත්නම් නිදා ගත්තා. දැන් වදයක් කියලා. අම්මලා මෙයාගේ විභාග ඉවරවෙනකන් ඉන්න කියලත් අපි වෙඩින් එක ගනිද්දී මෙයා පාඩම් නොකර ඉඳීමෙන් මට ලොකු බයක් ඇතිවුණා. හදිස්සියේවත් මෙයා විභාගේ ෆේල් වුණොත් කියන බය මට හැම වෙලේම තිබුණා. ඒ නිසා මෙයාට වදයක් වෙන තරමටම මම “පාඩම් කරන්න කියලා කිව්වා. ඇත්තටම මෙයා හොඳට විභාගය කරගත්තා. මෙයාව පොඩි කාලේ ඉඳන් දන්නව බව ඇත්ත. හැබැයි බැන්ඳට පස්සේ ඒ ජීවිතේ වෙනස්. මට ඒ ජීවිතේට හුරුවෙන්න සුරාජ් ලොකු සපෝට් එක දුන්නා. අපි හුඟාක් ඇවිදින්න ගියා. අපි දෙන්නට හිතෙන හිතෙන තැන්වලින් අපි කෑවා. මේ අවුරුද්ද අපි දෙන්නා හරිම නිදහසේ ගත කළා.

වැඩවලදී සුරාජ්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
බැඳපු අලුත මට සමහර දේවල් අමතකයි. ඒ කාලේ හැමදේම කළේ මගේ අම්මනේ.. ඉතින්.. ඒ හැම දෙයක්ම සුරාජ් දන්නවා. මම ෂූටිං ගිහින් එද්දී අපේ අම්මා බලාගෙන ඉන්නවා. මෙයාත් එහෙමයි මම යද්දී මෙයා ඉස්සරහට හරි එනවා. උදේට නැගිටලා මගේ වතුර බෝතලේ ලෑස්ති කරලා දෙනවා. ඒ දේවල් මම මෙයාගෙන් බලාපොරොත්තු නොවුණ දේවල්. සුරාජ් වගේම මෙයාගේ අම්මයි, තාත්තයි, මල්ලිලා දෙන්නයි මට හරි ආදරෙයි. ඒ අම්මයි තාත්තයි මට ලේලි කෙනෙක් විදිහට කවදාවත් සැලකුවේ නැහැ. එයාලගේ දුවෙක් විදිහට තමයි මට සලකන්නේ.

සුරාජ් දෙන්නගෙන් කේන්ති යන්නේ කාටද?
කේන්ති යන්නෙ නම් තිසුරිට. ඉස්සර කේන්ති ගිහින් කියලා දැනෙන්නේ එවන මැසේජ්වලින්නේ. ඒකාලේ මූණ පේන්නේ නැහැ. මට එහෙම කේන්ති යන්නේ නැහැ. ඉතින් දැන් තිසුරි කේන්ති ගියාට මම ටිකක් හිනාවෙන්න බලනවා. එතකොට එයාගේ කේන්තිය වැඩිවෙනවා.

අනේ ඔව්.. මම කේන්තියෙන් නිදාගන්න ආස නැහැ. මොකක් හරි දෙයකට මට තරහ ගියාම ඒ දේට මෙයාට තරහා ගිහින් නැහැ. ඉතින් මම මොකක් හරි දෙයක් ගැන කියවද්දී සමහර වෙලාවට සුරාජ්ට නින්ද ගිහින්.

තිසුරි සුරාජ් එක්ක මේ ගෙවන ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම සුරාජ් එක්ක මම ගොඩාක් සතුටින් ඉන්නවා. මේ ජීවිතේ වගකීම් තියෙනවා. හැබැයි මගේ අම්මයි, තාත්තයි, මෙයාගේ අම්මයි, තාත්තයි මල්ලිලා දෙන්නයි එක්ක ගතකරන ජීවිතය හරි සුන්දරයි. බැන්දට පස්සේ මගේ අම්මා තාත්තා ළඟම නැති අඩුව සුරාජ් දැනෙන්න දුන්නේ නැහැ. හැම මොහොතකම ඒ දෙන්නට බලන්න මාව එක්කගෙන ගියා.

(එහෙම කියද්දී සුරාජ්)
ඇත්තටම තිසුරි එක්ක ගතකරන මේ ජීවිතේ හරි ලස්සනයි.   

 

► Text - Dishani &   Pic – Internet

 

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00