ළමා කාලයේ සිටම අපි ඔබගේ ජීවිත කතාව පටන් ගනිමු..?
අද කාලේ ඉන්න දරුවන්ට වඩා ඉතාම මිහිරි ළමා කාලයක් තමයි මට තිබුණේ. ඒ කාලේ මට විශේෂ වූ ළමා කාලයක් තිබුණා. හැම කෙනෙක්ගෙම ආදරය මට නොඅඩුව තිබුණා. මගේ ළමා කාලය මතක් වෙද්දී එක පාරටම මතක් වෙන චරිතය තමයි මගේ සීයා. මගේ ජීවිතේ වැඩිපුරම ගෙවුණේ මගේ සීයා එක්කයි. සීයාට මම කරදර කරන නිසාම එයාට මාව වදයක් වෙන්නත් ඇති. ඉස්සර මම කඳු නගින්න හරි ආසයි. මම හැදුණේ මහනුවර අම්පිටියේ. ඒ ගමේ කතෝලික පූජකවරුන් පුහුණු කරන දේවස්ථානයක් තිබුණා. ඒක හරියට බැකිම්හම් මාලිගාව වගෙයි. ඒකට යන්න මම හරි ආසයි. මම පල්ලිය ඇතුළට යන්නෙ නැහැ. හැබැයි ඒ වත්ත වටේ ඇවිදින්න හරි ආසයි. ඒ වත්තේ සත්ත්ව ගාලක් තිබුණා. ඒ සතුන් බලන්න මම හරි ආසයි. මඟ දිගට කඩාගත්ත ලොකු තණකොළ මිටියකුත් එක්කයි ඉස්සර ඒ සතුන් බලන්න මම සීයා එක්ක යන්නෙ. ඒ වත්තට කාටවත් යන්න පියතුමන්ලා අවසර දුන්නෙ නැහැ. හැබැයි මටයි සීයාටයි ඒ වත්තට යන්න එන්න ඕන වෙලාවක අවසරය තිබුණා. ඒ වගේ හරි ලස්සන මිහිරි ළමා කාලයක් මට තිබුණා.
පවුලේ කී දෙනෙක් හිටියද..?
මගේ පවුලේ හිටියෙ හතර දෙනයි. ලොකු අක්කයි පොඩි අක්කයි අයියයි මමයි තමයි අපේ පවුලේ හිටියෙ. ඒ තුන්දෙනාම මට වැඩිය ගොඩක් වැඩිමල්. ඒ නිසා ඒ තුන්දෙනා එක්ක මම ලොකුවට සෙල්ලම් කළේ නැහැ. මගේ අයියා මට වඩා අවුරුදු අටක් වැඩිමල්. එයා චූටි කාලේ හිතුවේ මම එයාගේ තැන ගන්න ආපු කෙනෙක් හැටියටයි. මට අම්මා මොනවා හරි දුන්නත් අයියා ඒකට කැමති වුණේ නැහැ. හැබැයි ලොකු වෙද්දී ඒ සිතුවිලි නැති වුණා. පුංචි කාලේ ඒ තුන්දෙනා එක්ක සෙල්ලම් කරනවාට වඩා මම සීයා එක්ක කාලය ගත කරන්න ආසා කළා.
ඔබ ඉගෙන ගත්තෙ මොන පාසලෙන්ද..?
මම ඉගෙන ගත්තෙ අම්පිටිය රෝමානු කතෝලික පැසලෙන්. ඒක මිශ්‍ර පාසලක්. මම හත්වැනි පන්තියෙදී ගැහැනු ළමයින්ට වෙනම කන්‍යාරාමයක් හැදුවා. හත්වැනි පන්තියෙ ඉඳන් මම ඉගෙන ගත්තෙ ඒ කන්‍යාරාමයෙයි. ඉස්කෝලෙ මම කොහොමටත් දඟ ළමයෙක් නෙමෙයි. ඒකට හේතුව වුණේ මගේ අයියා. එයා මාව පාලනය කරගෙන තමයි හිටියෙ. ඇත්තටම එයා මට ආරක්ෂකයෙක් වුණා.
පාසලේ දී ඔබ ඉගෙන ගත් ගුරුවරියක් නිසා ජීවිතයේ එක් කඩඉමක් වෙනස් වුණා නේද..?
ඔව්.. ඒ ගුරැතුමිය තමයි මට ලියන්න පුළුවන් කියලා දැනගත්තෙ. ඉස්සර අපිට සිංහල විෂය තහනම් වුණා. අපි ඉගෙන ගත්තෙ ඉංග්‍රීසි පාසලකයි. ඒකෙ සිංහල වචනයක් කිව්වොත් අපිට දඬුවම් කළා. ඒ කාලේ ගුුරවරු නූල් රෝදවලින් මාලයක් හදලා හැම පන්තියකම තියලා තිබුණා. අමතක වෙලා හරි ළමයෙක් සිංහලෙන් කතා කළොත් අර නූල් බෝලෙ ඒ ළමයගේ බෙල්ලේ එල්ලනවා. දෙපාරක් තුන් පාරක් ඒ නූල් බෝලෙ කරට දැමුණොත් ඒ ළමයාව ප්‍රින්සිපල් ළඟට එක්කගෙන යනවා. ඒ ලැජ්ජාව නිසාම කවුරුවත් පන්තියේදී සිංහලෙන් කතා කළේ නැහැ. ඔය කාලෙදී තමයි සිංහල මිස් අපේ පාසලට ආවෙ. ඒ මිස් අපිව සම්පූර්ණයෙන්ම වෙනස් කළා. අපේ පන්තියේ පුස්තකාලයක් හදලා සිංහල පොත් ගෙනත් දාලා වෙනස්ම ලෝකයක් අපිට පෙන්නුවා. ඉස්සර ඉඳන්ම මම පොත් කියවන්න හරි ආසයි. ඒ නිසා ඒ පුස්තකාලය මගේ ජීවිතය වෙනස් කළා. මට හොඳට මතකයි ඒ ගුරුතුමිය පොලිස් සේවයට කාන්තාව සුදුසුද? නැද්ද? කියලා තමයි අපිට මුලින්ම රචනාව ලියන්න දුන්නෙ. මම සුදුසුයි කියලා හරි ලස්සන රචනාවක් ලිව්වා. ඒ රචනාව නිසා මට හොඳට ලියන්න පුළුවන් කියලා ටීචර් දැනගත්තා. ඊට පස්සෙ අපේ පන්තියේ විවාද කණ්ඩායමකුත් හැදුවා.
රචනාවකින් ලිවීමේ හැකියාව පෙන්වපු ඔබේ නිර්මාණ සඟරාවකින් පළ වුණේ කොයි කාලෙදිද..?
මට ලියන්න පුළුවන් කියලා ඒ ගුරුතුමිය දැනගත්තට පස්සෙ අපි සඟරාවක් කරමු කියලා ඒ ගුරැතුමිය යෝජනා කළා. ඊට පස්සෙ මම සඟරාවක් අතින් ලියලා හැදුවා. ඒ අරුණ සඟරාවයි. ළමයින්ගෙන් කවි, කතා එකතු කරලා මම අතින්ම ලියලා ඒ සඟරාව හරි ලස්සනට හැදුවා. මට ඒ දේවල් කරද්දී අම්මා තාත්තට ඒවා ගැන ලොකු හැඟීමක් තිබුණෙ නැහැ. හැබැයි මම කියවන දේවල් අම්මා අහන්න හරි ආසයි. මට තාම මතකයි ඉස්සර මට කියවන්න අලුත් පොතක් ලැබුණොත් මම ඒක රෑ එළිවෙනකම් අම්මට ඇහෙන්න කියවනවා. අම්මා ඇඳේ හාන්සිවෙලා කතාව අහගෙන ඉන්නවා. මම ගෙදර තිබුණු චිමිනි ලාම්පුවෙන් අම්මගේ ඇඟට හේත්තුවෙලා මුළු කතාවම කියවනවා. එහෙම පොත කියවද්දී දෙබස් පවා මම ඒ විදිහට හඬ උස් පහත් කරලා තමයි කියන්නෙ.
මුලින්ම ලියපු කවි පදයට මොකද වුණේ..?
මුලින්ම ලියපු කවි පදය මගේ අයියා ඉරලා දැම්මා. ඒක අදටත් මගේ ජීවිතයට ලොකු හානියක්. අදටත් මට කවි ලියන්න එච්චර බැහැ. මට තාම මතකයි මගේ මේසේ ළඟ බිත්තියේ ලොකු ජපන් නෝනා කෙනෙක්ගෙ පින්තූරයක් එල්ලලා තිබුණා. ඉස්සර මම ජපානයට, සකුරා මලට, ජපන් ඇඳුමට හරි ආසයි. ඉතින් මම ඒ ජපන් නෝනා දිහා බලාගෙන කවියක් ලිව්වා. අපේ ගේ ඉස්සරහම තමයි බස් එක නවත්තන්නෙ. කවිය ලියලා ඉවර වුණු ගමන් බස් එකෙන් බැහැලා අයියා ගෙදරට ගොඩ වුණා. අයියාව දැකපු ගමන් අර කවිය එක පාරටම මම ඩෙස්ක් එක අස්සෙ හැංගුවා. මම බුදුන් වැඳලා එද්දී අර ඩෙස්ක් එක අස්සෙ හංගපු කවිය අයියා අරගෙන බලනවා මම දැක්කා. මාව දැකපු අයියා ඕවයින් විභාග කරන්න බැහැ කියලා ඒ කවි පොතම ඉරලා දැම්මා.
කෙටි කතා ලියන්න, කියවන්න බල්ලෙක් උදව් වුණේ කොහොමද..?
අනේ.. ඒකත් හරිම අපූරු කතාවක්. අපේ ගෙදරට ඉස්සරහ ගෙදර හිටපු අක්කා නිසා තමයි මම කෙටි කතා ලියන්න පටන් ගත්තෙ. අපේ ගෙවල් ළඟ හිටපු වෙන කට්ටියක් විනෝද චාරිකාවක් ගිහින් ගෙදර එද්දී හරි ලස්සන බල්ලෙකුත් වාහනයට නැඟලා ඇවිත් තිබුණා. නවත්තලා තිබුණු වාහනයට මේ බල්ලා නැඟලා කියලා කට්ටිය දැනගනිද්දී ගොඩක් දුර ඇවිල්ලත් ඉවරයි. ඔන්න දවසක් ගෙදර තනියම ඉන්න දවසක මම උදේම අම්මා හදලා තිබුණු රොටියක් අතේ තියාගෙන ඉස්සරහට එද්දී පුළුන් ගොඩක් වගේ ලස්සන බල්ලෙක් ඉස්සරහට වෙලා බලාගෙන හිටියා. ඉස්සර මම කන කෑම එකෙන් ටිකක් කපුටන්ට දෙන පුරුද්දක් තිබුණා. මම ඉස්සර කාක්කෝ එක්කත් කතා කරනවා. අර ලස්සන බල්ලට මම රොටි කෑල්ලක් දීලා ඒකවත් යාළු කර ගත්තා. ඔය විදිහට දවස් ගාණක් මේ බලු පැටියා අපේ ගෙදරට ආවා. ගියා. ඉස්සර ජනතා කියන පත්තරය අපේ ළඟ ගෙදරක අක්කා කෙනෙක් ගත්තා. හැබැයි හැමදාම ඒ පත්තරේ ගෙන්නගන්න මට ක්‍රමයක් තිබුණේ නැහැ. දවසක් මම පොල් ලෙල්ලක් අර බලු පැටියගේ කටේ තියලා අර අක්කට ගිහින් දෙන්න කියලා කිව්වා. පුදුමෙ කියන්නෙ ඒ බලු පැටියා අක්කට පොල් ලෙල්ල ගිහින් දීලා තිබුණා. ටික දවසකින් මට හොඳ අදහසක් ආවා. මම කඩදාසියක් හොඳට රෝල් කරලා බලු පැටියගේ කටේ තියලා අක්කට ගිහින් දෙන්න කියලා කිව්වා. අක්කා මට එයාගේ පත්තරේ රෝල් කරලා බල්ලගේ කටෙන් තියලා එව්වා. ඒකෙ කෙළ ගාලා තමයි මට දුන්නෙ. අන්න එහෙම තමයි මම පත්තර ගෙන්නගෙන කියෙව්වෙ. ටිකෙන් ටික මම ඒ පන්නරයට කෙටි කතා ලිව්වා. ඒවා පළ වුණා.
ඔබේ විවාහය සිදු වුණේ කොයි කාලෙදිද..?
මම පත්තරේ ලියද්දී තමයි සෝමපාල මහත්තයා මාව හොයාගෙන ආවෙ. ලේඛන කලාවෙන් තමයි මට සෝමපාල රණතුංග මහත්තයා මුණගැහුණෙ. ඒක යෝජිත විවාහයකුත් නෙමෙයි. අපි දෙන්නම කැමතිවෙලා තමයි විවාහ වුණේ. මම විවාහ වෙද්දී මට අවුරුදු දහ අටයි. ඔය කාලෙදී මම ගුවන්විදුලියටත් සම්බන්ධ වුණා. මුලින්ම කරු අයියගේ ළමා පිටියේ රචිකාවියක් විදිහටයි මම සම්බන්ධ වුණේ. අපිට පුතෙක් ලැබුණා. ඒ තරංග. පුතාට අවුරුදු දෙකක් වෙද්දී තරංගගේ තාත්තට ගොඩක් අසනීප වුණා. ඒ වෙද්දී ගුවන්විදුලිය හරහා මගේ හැකියාවන් පෙන්නුම් කරමිනුයි තිබුණේ. ඔය අතරෙදී ගුවන්විදුලි සංස්ථාවට නිවේදිකාවන් දෙන්නෙක් අවශ්‍යයි කියලා අයදුම්පත් ඉල්ලුම් කරලා තිබුණා. මම රස්සාවක් කරනවාට මුලදී සෝමපාල මහත්තයා කැමති වුණේ නැහැ. හැබැයි පස්සෙ කැමති වුණා.
මිල්ටන් පෙරේරා ඔබට ගීතයක් ලියන්න ආරාධනා කළානෙ.. එය ද ඔබ අතින් ලියවුණු මුල්ම ගීතය වුණේ..?
ඔව්.. ගුවන්විදුලියේ ඉන්න කාලෙදී මිල්ටන් පෙරේරාත් ගුවන්විදුලියට ආවා. ගියා. ඉස්සර මම මිල්ටන් ගායනා කරන ගීතවලට හරි ආසයි. හින්දි තනුවලට ලියන ඒ ගීත ඒ කාලේ හරි ජනප්‍රියයි. ඒ කාලේ මිල්ටන් මාත් එක්ක හරි හිතවත්. මට සින්දුවක් ලියන්නකො.. කියලත් කිව්වා. ඔහොම කියද්දී තමයි මගේ අතින් මුල්ම ගීතය ලියවුණේ. ඒක ඉතා ජනප්‍රිය වුණා.
ප්‍රේමකීර්ති ද අල්විස් ඔබට මුණගැහුණෙ ගුවන්විදුලියෙන්මද..?
ඔව්.. ප්‍රේම් මට වඩා බාලයි. ළමා පිටියේ ඉඳන්ම අපි එකට වැඩ කළා. තරංගගේ තාත්තට තමයි ජනතා පත්තරේට ඒ කාලේ ප්‍රේම් ලිපි යවලා තිබුණේ. ප්‍රේම්ගේ කෙටි කතා හරි ලස්සනයි. හොඳ කෙටි කතාවක් තිබුණොත් අන්න.. තව හාදයෙක් නැගලා එනවා. ඒ කෙටි කතාවත් බලන්න කියලා තරංගගේ තාත්තා මට කිව්වා. වැඩසටහනුත් එක්ක ප්‍රේම් මාත් එක්ක හිතවත් වුණා. තරංගගේ තාත්තා නැති වුණාට පස්සෙ මම සෑහෙන දුක් කන්දරාවක් වින්ඳා. අවුරුදු දෙකහමාරක දරුවෙක් එක්ක අම්මා කෙනෙක් තනි වුණාම කොයි තරම්නම් දුක් කන්දරාවකට මුහුණ දෙන්න සිදු වෙනවද? මම ගොඩක් දුක් වින්ඳා. ඔහොම දුක් විඳිද්දී ප්‍රේම් කාලයකට පස්සෙ මාව බස් එකට ඇරලන්න ආවා. තනි රකින්න ආවා. කරදරයක් වුණාම ඉක්මනට දුවගෙන එනවා. මේ වෙද්දී අපි අතර බැඳීමක් ඇති වෙන්නත් ඇති. ප්‍රේම්ගේ අම්මා තාත්තා අක්කා මට හරි ආදරෙයි. ඒ අය කැමති වුණාට අපේ අම්මලා ඒ සම්බන්ධයට කැමති වුණේ නැහැ. කාලයක් ගියාට පස්සෙ ප්‍රේම් ගොඩක් මත්පැන් ඇබ්බැහි වුණා. ප්‍රේම්ව නරක් කළේම මත්පැන් තමයි. අපිට දුවෙක් ඉපදුණා. ඒ සුරංගි දුව. දුවටත් ලියන්න පුළුවන්. දුවගේ කඳුළු කියලා පොතක් කළා.
ඔබේ ජීවිත අත්දැකීම් ගීත බවට පත් වුණේ නැද්ද..?
බොහෝ ගීතවල යම් යම් ජීවිත අත්දැකීම් තියෙනවා.
දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට ගීතය ඔබගේ අත්දැකීමකට අනුව ලියවුණු ගීතයක්ද..?
නැහැ. ඔය ගීතය ගායනා කරන පුණ්‍යා මගෙන් ගීතය ඉල්ලපු දවස වෙද්දිත් මගේ අතින් ගීතයක් ලියවුණේ නැහැ. හැබැයි ප්‍රේම්ට නම් කවුරැහරි ගීතයක් ඉල්ලපු ගමන් ඒ මොහොතෙම ලියන්න පුළුවන්. ඉස්සර සරල ගී වැඩසටහන් කරනකොට මුලදීම ගී පිටපත දීලා ඒක අනුමත කරගත යුතුයිනෙ. ඉතින් ගුවන්විදුලියෙන් පස්සෙ ගෙදර ඇවිත් එක හැන්දෑවක මේසෙ උඩ කොළ ටිකක් තියාගෙන මම ඇස් දෙක පියාගෙන සින්දුවක පද පේළි ටිකක් කල්පනා කළා. ඒක තමයි දෑස වසාගමි ඔබ නොපෙන්නට කියන ගීතය බවට පත් වුණේ.
දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා
හිත හිරකර ගමි ඔබට නොඑන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා
කාන්තා චරිත තුනක් එකතු වීමෙන් බිහි වුණු ගීතයකුත් ඉතා ජනප්‍රිය වුණා නේද..?
ඔව්.. ඒ තමයි අකලට වට මහ වරුසාවක් සේ කියන ගීතය. ඒ ගීතය ලිව්වෙ මම. සංගීතවත් කළේ නන්දා මාලනී. ගායනා කරන්නෙ නිරංජලා සරෝජිනී. ඇත්තටම මමත් හිතපු නැති විදිහට ඒ ගීතය ඉතා ජනප්‍රිය වුණා.
අකලට වට මහ වරුසාවක් සේ
අසුභ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතුව මොහොතක
ඇයිදෝ යළි ආවේ
අද දවස ගෙවෙන්නෙ කොහොමද? මෑත කාලයේ දී ඔබ අතින් ගීතයක් ලියවුණේ නැද්ද?
නැහැ. දැන්නම් එහෙම ගීත මුකුත් ලියවෙන්නෙ නැහැ. ලියන්නෙ නැති වුණාට ගෙදර කොච්චර වැඩ තියෙනවද? ඒ හැම දෙයක්ම මම කරනවා. ඔය අතරේ පොත් දොරට වැඩීම්, උත්සවවලට සහභාගි වෙනවා.
► Text - Dishani / Pic - Sumudu