2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

කියුබාවේ නියඟය සහ අපේ නයි

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 45

අපි කරන ඕනම ක්‍රියාවක අවසන් ප්‍රතිඵලය කවදා, කොහේ, කාට බලපානවද කියලා වෙලාවකට අපි කවුරුවත්ම දන්නෙ නැහැ.
ඔන්න ඔය වගේ උදාහරණයක් වන එක ලස්සන කතාවක් අපේ කලා ශිල්පියෙක් පසුගිය දවසක අපට කිව්වා.

කියුබාව වගේ රටකට නියඟයක් ආවොත් ලංකාවෙ ඉන්න නයි ටිකට ලොකු තර්ජනයක් වෙයි කියලා මම කිව්වොත් ඕගොල්ලො පිළිගනීද? නැහැනෙ. එක්කො හිනාවෙයි. නැත්තම් මට පිස්සු කියලා කියයි.
ඉතින් එහෙම වෙන්නෙ කොහොමද කියලා කියන්නකො. ඊට පස්සෙ අපි තීරණය කරන්නම් හිනා වෙනවද? නැද්ද කියලා.

හරි එහෙනම් අහගන්න. කියුබාව තමයි ලෝකෙ ලොකුම උක් වගාවට හිමිකම් කියන්නෙ. වැඩියෙන්ම සීනි පිටරට යවන්නෙත් කියුබාවෙන්. ලංකාවට සීනි ලැබෙන්නෙත් කියුබාවෙන්. දැන් හිතමුකො කියුබාවට නියඟයක් ඇවිල්ලා ඒගොල්ලන්ගෙ උක් වගාවට බලපාලා සීනි අපනයනය නැවතුණා කියලා. එතකොට ලංකාවෙ අපටත් බලපාවි. අපිටත් හකුරු වැඩියෙන් හදන්න වෙයි. වැඩියෙන් හකුරු හදන්න ඉතින් හුඹස් මැටිත් වැඩියෙන් පාවිච්චි කරන්න වෙයි. එතකොට බලන්න ලංකාවෙ ඉන්න නයි ටිකට ඒක බලපාන්නෙ නැද්ද කියලා.

 

හාදුව දැනට ඔයා ගන්න

දර්ශන තලයක කාර්යබහුල දවසක්. නළු නිළියන්ගෙ කාර්යබහුලත්වය නිසාම එදින රාත්‍රී රූපගත කිරීමකුත් යෙදිලා තිබුණා. 

අධ්‍යක්ෂවරයාට සහාය වෙන්න හිටියෙ තරුණ හුරුබුහුටි ගෑනු ළමයෙක්. ඇයත් කඩිසරව වැඩ කරනවා. අධ්‍යක්ෂකවරයාගෙ ජංගම දුරකතනයත් තිබුණෙ ඒ කෙල්ලගෙ අතේ. අධ්‍යක්ෂකගෙ ජංගම දුරකතනයට කෝල් එකක් එනවා. ඩිරෙක්ටර් බිසී කියලා ෆෝන් එක තියන්නත් බැහැ. මොකද, කතා කරන්නෙ අධ්‍යක්ෂකගෙ පොඩි දුව.

සර් පොඩි දුව කතා කරනවා.
පණිවිඩයක් තියෙනවනම් ගන්න, මම බිසී කියලා කියන්න.
එයා නිදාගන්න යනවලු, සර්ට ෆෝන් එකෙන් හාදුවක් දෙන්න ඕනෙලු.
මම බිසීනෙ. දැනට ඔයා ඒක ගන්න. ඔයාගෙන් පස්සෙ මම ඒක ගන්නම්

 

මට ඇහෙන්නෙ නෑ

මේකත් එක්තරා දර්ශන තලයකදී ඇහුණු අපූරු කතාවක්.

දැනට විශ්‍රාමික සුවයෙන් තම ආදරණීය බිරිය සමඟ කල්ගත කරන ජ්‍යෙෂ්ඨ කලාවට සම්බන්ධ පුද්ගලයෙකුගෙ කතාවලු මේක.
අවුරුදු 80වත් පහු කරපු මේ ශිල්පියාගේ බිරියට ශ්‍රවණාබාධයක් කාලෙක ඉඳලා තිබුණලු. ශ්‍රවණ ආධාරකයක් පාවිච්චි කරන්නත් මෙයා අකැමැතිලු.
ඒත් තත්ත්වය උත්සන්න වුණාට පස්සෙ ඇය කැමතිවෙලා ශ්‍රවණ ආධාරකයක් පළඳන්න.

ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරලා මුල් වරට ශ්‍රවණ ආධාරකයත් පැළඳගෙන ඇය ගෙදර ආවලු. ගෙදර ඇවිත් ටික වෙලාවක් යද්දී ඇය ස්වාමියාට කියනවලු මෙහෙම.
කෝ අනේ දහස් ගාණක් වියදම් කරලා මේ කනේ ගහන ගැජට් එක ගැහුවට මට දැන් ඔයා කතා කරන කිසිම දෙයක් ඇහෙන්නෙ නෑනෙ, කියලා.
ඉතින් හාමිනේ මම කතා කරන්න එපායැ ඔයාට ඇහෙන්න. මම මේ දැන් චුවින්ගම් එකක් කන ගමන්නෙ ඉන්නෙ.

 

► Text - Mithra