2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

වරද්ද වරද්දා තාත්තාගේ සින්දු කියන අයට මේක හොඳ පොතක්

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:31 197

පසුගියදා සනත් නන්දසිරි මහතාගේ ගීත ඇතුළත් ග්‍රන්ථයක් එළිදැක්වූවා. ඒ සම්බන්ධව යමක් කතා කළොත්?
ඔව්.. තාත්තාගේ ගීත සියයක් සහ ගීතවල නිවැරදි ස්වර ප්‍රස්ථාර අඩංගු ග්‍රන්ථයක් සැප්තැම්බර් හතර වෙනිදා සවස් යාමයේදී පදනම් අයතනයේදී දොරටවැඩියා. තාත්තා දශක පහක් පමණ පුරා එදා සිට මේ දක්වා ගායනා කළ ගීත බොහෝමයකින් ගීත සියයක් තෝරාගෙන තමයි මේ පොත එළිදැක්වූයේ. එම පොතේ නම “රසානන්දයයි.

මේ යෝජනාව කාගේද?
බොහෝ කලා උත්සව වලදී තාත්තාගේ ගීත පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. පාසල් දරුවන්, විශ්ව විද්‍යාල දරැවන්, රියලටි තරගවල තරගකරුවන් තාත්තාගේ ගීත ගායනා කරනවා. ඒ බොහෝ අවස්ථාවලදී ඔවුන් ගායනා කරන වචන සමහර තැන්වලදී වැරදියි. ස්වර ප්‍රස්ථාර පවා වැරදියි. ඒවගේම ඇතැම් වෙලාවලදී ඒවායේ වෙනස්කම් තියෙනවා. ඒවගේම පිටරට ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනා මේ ගීත ගායනා කරන්න කැමතියි. හැබැයි ඒ අයට නිවැරදි වචන වගේම නිවැරදි ස්වර ප්‍රස්ථාර හොයාගන්න නැහැ. 

මේ බොහෝ ගීත අන්තර්ජාලයේ පවා සඳහන් වන්නේ වැරදියටයි. මේ නිසා බොහෝ දෙනා මෙවැනි පොතක් එළිදක්වන්න යැයි අපෙන් ඉල්ලීම් කළා. මේ නිසා ළඟම ඉන්න තාත්තාගේ ගෝලයින් මුලින්ම එකතුවෙලා තමයි මේ පොතක් එළිදැක්වීමට වැඩකටයුතු පටන් ගත්තේ. ඒ අතරේ අනුර වන්නිආරච්චි තාත්තාගේ හොඳ ගෝලයෙක්. අනුර වැඩ කළේ මාධ්‍ය ආයතනයකයි. ඒ නිසා අනුර අයියා මේ වැඩේ බාරගත්තා. අපි ගාව තිබුණ නිවැරදිම ස්වර ප්‍රස්ථාර හා ගීත අපි අනුර අයියාට දුන්නා. ඔහු පොතේ මුද්‍රණය දක්වාම බාරගත්තා. ධම්මික උදය කුමාර කියන්නේ තාත්තාගේ තවත් ගෝලයෙක්. ඔහු වෘත්තිය වශයෙන් හොඳ නිලධාරියෙක්. පොත මුද්‍රණයට යන මුල් පිටපත් ටික සම්පූර්ණ පිරිවැය දරන්නට ඔහු බාරගත්තා.

පොත එළිදැක්වීමේ අපූරු උළෙලක් ද සංවිධානය වුණානේ. ඒ සංවිධාන කටයුතු කෙරුණේ කොහොමද?
තාත්තාගේ විවිධ කාලවලදී ඉන්න ගෝලයින් එකතුවෙලා “සනත් නන්දසිරි සුළවත් හවුල නමින් එකතුවක් හැදුණා. ඒකෙන් තමයි මේ උත්සවය සංවිධානය කෙරුණේ.

ඔබේ පියා ගීත බොහෝමයක් ගායනා කරනවා. ඒ අතරින් මේ ගීත සියය තෝරා ගන්නේ මොන පදනම මතද?
ඒකෙදී අපි මුලින්ම නිතර හෝ ගායනා කරන්නට උනන්දු වන ගීත තමයි තෝරා ගන්නේ. කලා උත්සවවලදී, පාසල්වලදී, ප්‍රසංගවලදී, රියලටි තරගවලදී බොහෝ දෙනා ගායනා කරන්නට පෙළෙඹෙන ගීතවලට අපි මුල්තැන ලබලා දුන්නා. මේ අතරින් මේ පොත බලද්දී ඇතැම් විට “නිතර ඇසෙන්නේ නැති ගීත කිහිපයක්ද තියෙනවා. කියා තවත් කෙනකුට හිතෙන්නට පුළුවන්. නමුත් පාසල්වල විවිධ ප්‍රසංගවලදී ඒ ගීත ඇසෙන්නට ලැබෙනවා. ඒ වගේම හැත්තෑව දශකයේදී අතිශය ජනප්‍රිය වෙච්චි නිවැරදි ගීත අද තරුණ පරපුර දන්නේ නැහැ. ඒවා වෙනත් ගායකයින් ගායනා කරන නිසා ඒ ගීත තාත්තා ගයන්නේ කියලවත් සමහරු දන්නේ නැහැ. ඒ දේ අපිට නිවැරදි කරන්න ඕන වුණා. ඒ වගේම අන්තර්ජාලයේ හෝ පොත්පත්වල ගීත තිබුණත් ඒ ගීතයේ පද රචකයා හා සංගීතවේදියා ගැන සඳහනක් වෙන්නේ නැහැ. ඇතැම් ඒවා වැරදියි. ඒවා නිවැරදිව සටහන් කරන්නත් අපිට ඕන වුණා. ඒ නිසා මේ පොතේ නිවැරදි පද වගේම ඒ ගීතවල නිවැරදි, පරිපූර්ණ ස්වර ප්‍රස්ථාරත් සඳහන් වෙනවා. ඊට අමතරව මේ පොතට අන්තර්ගතව තිබෙන ගීතවලට දායක වුණු පද රචකයින්ගේ, සංගීතවේදීන්ගේ, සහය ගායක ගායිකාවන්ගේ ඡායාරූප වගේම ගීත හා සම්බන්ධ විරල ඡායාරූප ටිකකුත් මෙයට අන්තර්ගතව තියෙනවා. “රසානන්දය ග්‍රන්ථය දිවයින පුරා ඇති පොත් සැල්වලින් දැන් මිලදී ගන්නට පුළුවන්.

සනත් නන්දසිරි මහතාගේ අලුත්ම ගීතයකුත් මෙම උත්සවයේදී එළිදැක්වූවා නේද?

ඔව්.. තාත්තාගේ අලුත්ම ගීතයක් එළිදැක්වූවා. ඒක එච්.එම්. ජයවර්ධන මහත්මයා මිය යාමට පෙර අවසන් වතාවට හැදූ ගීත පහෙන් එකක්. ඒ ගීතයේ පද රචනා කළේ ශාන්ත ආරියවංශ මහතායි.
“මේ ගී මගේ හුස්ම පොද හොරු ගත් දවසට

සුළඟට විසිකරනු මැනවි.

► Text - Dishani  /  Pic - Sumudu & Internet

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00