2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

හිමාලයෙන් අරන් ආව හිත නිවන Business

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 59

ඇන්ඩි පුඩිකොම් කියන්නේ තරුණ වයසේදීම ගොඩක් අවාසනාවන්ත සිද්ධි සමූහයකට මුහුණ දුන් කෙනෙක්. ලන්ඩනයේදී ඇන්ඩි තවත් යහළුවන් කිහිපදෙනෙක් එක්ක ඉන්දැද්දි සූර් වෙච්ච රියැදුරෙක් ඇවිත් ඇන්ඩි එක්ක හිටපු යාළුවෝ දෙන්නෙක්ගේ ජීවිත උදුරගත්තා. ඊට මාස කිහිපයකට පස්සේ ඔහුගේ සොහොයුරියත් තවත් ටික දවසකින් ඇන්ඩිගේ පෙම්වතියත් කියන දෙන්නම අසනීපවලින් මියැදෙනවා. 

ජීවිතේ ගැන ගොඩක් කලකිරුණු ඇන්ඩි කරන්නේ තමන් ඒ වෙද්දි ඉගෙන ගනිමින් හිටපු උපාධියත් අතෑරලා දාලා හිමාලයට යන එකයි. එහෙම ගිහින් අවුරුදු දහයක් ඔහු වනගතව බෞද්ධ භික්ෂුවක් විදිහට කල් ගෙවනවා. 
ඔහු එතැනදී වැඩි අවධානයක් යොමුකරන්නේ භාවනාවටයි. ඇන්ඩි කියන විදිහට දවසට පැය 16ක් විතර භාවනාව කරන්නට ඔහු ඒ කාලේ හුරු වෙලා තිබුණා.

“මගේ පෑරුණු හිත හදාගන්න මට භාවනාව ගොඩක් උපකාරී වුණා. තමන් ගැන අවධානය යොමු කරනවා වෙනුවට අනෙක් අයගේ ජීවිතවලට සතුට ගෙන එන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න මට භාවනාව නිසා පුළුවන් වුණා” ඔහු සිහිපත් කරනවා. 
2005 අවුරුද්ද වෙනකල් භාවනානුයෝගීව හිමාලයේ කල්ගත කරන ඇන්ඩි පෑරුණු හිත හදාගත්තා විතරක් නෙමෙයි අනාගතයට හැඩගැහෙන්නත් පුළුවන් විදිහේ පුද්ගලයෙක් විදිහට නැවත තමන්ගේ මව්රට බලා පැමිණියා. එංගලන්තයේදී ඇන්ඩි උත්සාහ කළේ තමන් ඉගෙන ගත්තු, ප්‍රගුණ කරපු දේවල් අනිත් අයටත් කියලා දෙන්නයි. 

“හැබැයි වැඩේ ලේසි වුණේ නැහැ. ඒ කාලේදී භාවනාව කියන දේ යුරෝපය තුළ ඒ තරම් ජනප්‍රිය දෙයක් නෙමෙයි. ගොඩක් අය හිතාගෙන හිටියෙත් භාවනාව කියන්නේ හිපි සංස්කෘතිය ඇතුළේ තියෙන තවත් කල්ට් එකක් කියලයි” ඇන්ඩි පවසනවා.
හැබැයි ටිකෙන් ටික මිනිස්සුන්ව තමන්ට ඇහුම්කන් දෙන තත්ත්වයට පත්කරගන්න ඇන්ඩිට හැකිවුණා. ඔහු භාවනා පන්ති පටන් ගත්තා. රිචඩ් කියන්නේත් තමන්ගේ ජීවිතේ ගැන ලොකු කලකිරීමකින් ඇන්ඩිගේ භාවනා පන්තියකට ආපු කෙනෙක්. 
භාවනාවෙන් පස්සේ ජීවිතේ දිහා අලුතින් බලන්න පුරුදු වුණු රිචඩ්, ඇන්ඩිට යෝජනා කළේ ගොඩක් දෙනෙක්ට භාවනාවේ ඵලප්‍රයෝජන ගැන කියාදෙන විදිහේ දෙයක් පටන්ගමු කියලයි. HeadSpace නමින් භාවනාව පදනම් කරගත්තු මොබයිල් ඇප් එකක් මෙයාලා හඳුන්වාදෙන්නෙ ඒ අනුවයි.

ලන්ඩනය අතෑරලා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්වලට ගිය ඇන්ඩි සහ රිචඩ්ගේ මේ මොබයිල් ඇප් එක මේ වෙද්දි මිලියන 54කට වැඩි සංඛ්‍යාවක් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. එයාලගේ ඇප් එකේ වසරක ආදායමත් දැන් ඩොලර් මිලියන 100 ඉක්මවා ගිහිල්ලා.

ව්‍යාපාරය තවදුරටත් ප්‍රසාරණය කරන්නේ කොහොමද එහෙමත් නැත්නම් භාවනාව තවදුරටත් මිනිසුන් අතරට ගෙනියන්නේ කොහොමද කියලා ඇන්ඩි කල්පනා කරද්දි ව්‍යාපාරයේ එදිනෙදා කටයුතු හොයාබලන්නේ රිචඩ්. මේ දෙන්නගේ එකමුතුව තුළින් බිහිවෙච්චි හෙඩ්ස්පේස් ව්‍යාපාරයේ 300ක් විතර සේවකයනුත් ඉන්නවා. හොඳම දේ ලෝකය පුරා මිනිසුන්ගේ හිත් සුවපත් කරන්න ඔවුන්ගේ මේ යහපත් ව්‍යාපාර සංකල්පය උපකාරී වීමයි. 

BBC ඇසුරෙන්. 

► Text - Suranga   /   Pic -  Internet

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00