2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

පැන්ඩගේ ආදරයයි මූස්ගෙ අසනීපයයි

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 134

මම මෝටිවේශන් ගැන කතා කරන කෙනෙක්. මගේ අම්මගේ නම අදිති චවුද්‍රි. අම්මා මානසික සෞඛ්‍ය පිළිබඳ තෙරපිස්ට් කෙනෙක් විදිහට වෘත්තීය ජීවිතයේ නියැලෙනවා. මගේ මල්ලී ඉෂාන් චවුද්‍රී මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක් සහ කොම්පෝසර් කෙනෙක් විදිහට වැඩ කරනවා.

එතකොට මගේ තාත්තා නිරේන් චවුද්‍රිත් හොඳ  රැකියාවක් කරන කෙනෙක්. මම සයිරා චවුද්‍රී. අද ඔයාට කියන්නේ මගේ කතාව. මම ගොඩාක් ලව් ස්ටෝරීස් දැකලා තියෙනවා. සමහර ලව් ස්ටෝරි ෆිල්ම් වගේ වෙද්දී තව එකක් ඒක පාර්ශවීය ලව් ස්ටෝරි වෙනවා. ඒත් මගේ ෆේවරිට්ම ලව් ස්ටෝරි එක වෙන්නේ පැන්ඩගෙයි මූස්ගෙයි ලව් ස්ටෝරි එකයි. මම පැන්ඩයි මූසුයි කියන්නේ මගේ අම්මටයි තාත්තටයි. ඔන්න පැන්ඩා මූස්ව දවසක් සෙනඟ පිරුණු ජනාකීර්ණ තැනක පිහිටි තැනකට එක්කගෙන යනවා මෝටර් බයික් එකකින්. මේ වෙද්දි ඒ දෙන්නා ඉන්නේ කුඩා කාමරයක, දෙන්නට දෙන්නා තුරුලු වෙලා.

පැන්ඩා - මගේ ආච්චි මෙහේ මිරිස් අච්චාරු හදලා තියෙනවා. මට දැනෙන්නෙනම් අද මගේ වාරේ. මොකද කියන්නේ අපි දෙන්නත් අච්චාරුවක් හදමුද?
මූස් - හරිම නරක වල් කතාවක් කිව්වේ ඔයා.

මට ඔයාව වෙන කාත් එක්කවත් ශෙයාර් කරගන්න බැහැ. ඔයා මගේ ප‍්‍රශ්න විතරයි විසඳන්න ඕනේ.
පැන්ඩා - ඔයාව හැර මට වෙන කාවවත් පුදුම කරවන්න ඕන නැහැ.
දෙන්නත් එක්ක ආදරයේ අනන්තය හොයාගෙන යනවා. එක දවසක් පැන්ඩා සයනයක වැතිරිලා ඉන්නවා. ඔහු ගාවම මූස් ඉන්නවා.
මූස් - මේ.. මම ප්‍රෙග්නන්ට්

පැන්ඩා - මොනවද මේ ඔයා කියන්නේ? ඒක කොහොමද වෙන්නේ?
මූස් - මම ඔයාට කිව්වනේ. වැඩිය ස්මාර්ට් වෙන්නේ නැතුව කොන්ඩම් පාවිච්චි කරන්න කියලා.
පැන්ඩා - අදිති අපිට ආපහු රිස්ක් එකක් ගන්න බැහැ. අපිට ඉශාන් ඉන්නවනේ.

කොහොමින් කොහොම හරි මාස ගාණ සම්පූර්ණ වුණාම ඔවුන්ට දුවෙක් හම්බවෙනවා. ඇයගේ නම තමයි අයිශා.
හැම ලව් ස්ටෝරි එකක් වගේම එයාලගේ ලව් ස්ටෝරි එකටත් දුෂ්ටයෙක් එනවා. මේ දෙන්නගේ ලව් ස්ටෝරි එකේ දුෂ්ටයා වුණේ මම. ඒ කියන්නේ එයාලා දෙන්නගේ දුව අයිශා.
මේ සුඛෝපභෝගී නිවසක සිදුවීමක්. මෙතන තියෙන සෝපා එකක පැන්ඩා, මූස්, ඉෂාන් සහ අයිශා වාඩිවෙලා කතා කරමින් ඉන්නවා.

අයිශා - ඔයාලා දෙන්නා ඩිවෝර්ස් වෙනවද? මූණ එල්ලන් ඉන්නේ ඒකද? ඔයාලා දෙන්නා ඩිවෝර්ස් වෙනවනම් පැන්ඩා මම ඔයා ගාව ඉන්නම්. මේ පිස්සා ඉෂාන් මූස් ගාව ඉඳියි.
පැන්ඩා - අපි ඔයාගේ පෙනහළු ගැන හිතන්නේ. ඔයා පහුගිය ටිකේ හොස්පිටල් හිටියනේ. ඒකට හේතුව ඔයාගේ පෙනහළු පිළිකාවක්. පෙනහළු ගොඩාක් ඩැමේජ් වෙලා තියෙන්නේ.
මූස් - භයානක තත්ත්වයක්.

අයිශා - ඒ කියන්නේ මම මැරෙන්නද යන්නේ? මට මැරෙන්න බැහැ.
පැන්ඩා - ඔයා කියන්නේ එයාට මැරෙන්න දෙන්න කියලද? මෙයා ඔයාගේ දුව විතරක් නෙවෙයි. අයිශා මගෙත් දුව.
මූස් - මම අයිශා හැර වෙන කිසි කෙනෙක් වෙනුවෙන් කිසි දෙයක් කරන්න දන්නේ නැහැ.

මූස් - ඔයාගේ කතාවෙන් මට දැනෙන්නේ ඔයා විතරයි අයිශා වෙනුවෙන් හැමදේම කරලා තියෙන්නේ. මම මොකුත්ම කරලා නැද්ද?
ඔවුන් දෙන්නම අයිශා රෝහල්ගත කරලා තියෙන ඇයගේ සයනය ගාව ඉන්නේ. අයිශාට සිහිය නැහැ මේ වෙද්දී. ඇයට කෘතීම ශ්වසනයත් ලබා දෙනවා. ඇය දිහා බලාගෙන මෙච්චර වෙලා දුකෙන් අඬමින් රණ්ඩු කරමින් හිටිය පැන්ඩා සහ මූස් අඬන එකයි කෑගහන එකයි නතර කරලා අයිශා දිහා දුකෙන් බලාගෙන ඉන්නවා. එක්වරම පැන්ඩා කතා කරන්න පටන් ගන්නවා.

පැන්ඩා - ඔයා බලන් ඉන්න අදිති දවසක මම සල්ලි ගොඩාක් හම්බකරනවා. කෝටිපතියෙක් වෙන තරමට.
මූස් - මුලින්ම අයිශා සනීප වෙනකම් ඉන්නකො. ඊටපස්සේ දෙන්නත් එක්ක එකතුවෙලා බැංකුවක් මංකොල්ල කමු.

ඇය කිව්ව දේ අහලා පැන්ඩට වගේම මූස්ටත් හිනා යනවා. සතුට, ආදරය, කඳුළු පිරුණු ආදරණීය කතාවක් තමයි ද ස්කයි ඊස් පින්ක් කියන අලුත්ම හින්දි සිනමාපටයේ අතුළත් වෙන්නේ. මේ කිව්ව කතාව සම්පූර්ණයෙන්ම දැනගන්න සහ දැකබලාගන්නම් 2019 ඔක්තෝම්බර් 11 වෙනිදා වෙනකම් බලාගෙන ඉන්න්‍ වෙනවා. මොකද එදාට තමයි විනාඩි 134ක ධාවන කාලයකින් යුතු ශොනාලී බෝස් අධ්‍යක්ෂණය කරන ලද රොනී ස්කෲවාලා, සිද්ධාර්ත් රෝයී කපූර් සහ ප‍්‍රියංකා චොප්රා විසින් නිෂ්පාදනය කර තියෙන ද ස්කයි ඉස් පින්ක් කියන හින්දි සිනමා සිත්තම තිරගත කරන්නේ. මේ සිනමාපටය ලියා තියෙන්නේ ශොනාලී බෝස්, ජුහී චවුද්‍රී සහ නිලේශ් මනියාර් විසිනුයි. ප‍්‍රීතම් විසින් සප්ත ස්වරයෙන් හැඩකරලා තියෙන මේ සිනමාපටයේ චරිතවලට පණ පොවන්නේ කවුද කියලා කියන්නයි දැන් මේ සූදානම. මුලින්ම අදිති චවුද්‍රී එහෙම නැත්නම් මූස් ඒ කියන්නෙ අයිශගේ අම්මගේ චරිතයට පණ පොවන ඇය ගැන කියලා ඉන්නම්කෝ. එයා ගැන කියන්න කලින් ඒ හැඩකාරිය මීට පෙරාතුව පණ දුන්න චරිත තියෙන මෙන්න මේ සිනමාපටවල නම් දැක්කම ඇය කවුද කියලා ඔබටම මතක් වෙනවද කියලා ඔබම බලන්නකෝ.

The Hero: Love Story of a Spy (2003). Andaaz (2003) Mujhse Shaadi Karogi (2004) Aitraaz,. Krrish ,Don(2006),Dostana.,Kaminey (2009), 7 Khoon Maaf (2011), Barfi! (2012), Mary Kom (2014), Bajirao Mastani (2015).

සිනමාපට සිය ගණනකින් කිහිපයක් විතරයි සඳහන් කළේ. 1982 ජූලි 18 වැනිදා ඉන්දියාවේ බිහාර් ප‍්‍රානතයේ ජම්ශේද්පූර්වල ඉපදුණු ඇය හින්දි සිනමාවට එන්නේ 2000 වසරේදී. 2000 වසරේදී ඇය මිස් වර්ල්ඩ් තරගයෙනුත් ජයගන්නවා. 2016 වසරේදී පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලබන ඇය ෆිල්ම් ෆෙයාර් සම්මාන, නැශනල් අවෝර්ඩ් ඇතුළු සිනමා සම්මාන උළෙලවලින් සම්මාන රාශියක් තමන්ගෙ නමට වෙන් කරගන්නත් සමත් වුණු ඇය 2018 දී විවාහ වෙනවා. තමන්ට වඩා අවුරුදු 10ක් පමණ බාල කෙනෙක් සමඟ විවාහ වෙලා ඉතාම ප‍්‍රීතිමත් ජීවිතයක් ගත කරන බව කියන ඇය වෙනින් කවුරුවත් නෙවෙයි. ඒ ප‍්‍රියංකා චොප්රා ජොනෑස්. දන්නවනේ ඇය සිනමා තාරකාවියක් විතරක් නෙවෙයි ගායිකාවක්, නිරූපණ ශිල්පිනියක් සහ නිෂ්පාදිකාවක් සහ වැඩසටහන් ඉදිරිපත්කරන්නියක් බව.

ප‍්‍රියංකාගේ සැමියා අයිශා කියන විදියට පැන්ඩා එහෙමත් නැත්නම් නිරේනම්ගේ චරිතයට පණ පොවන ඔහු ගැනයි මීළඟට කියන්න හදන්නේ. ඔහු මෙන්න මේ කියන සිනමාපටවලත් අපිට දකින්න හිටිය කෙනෙක්.
Dil Chahta Hai (2001) Lakshya (2004) Rock On!! (2008),Zindagi Na Milegi Dobara (2011), Don 2 (2011), 2013 Bhaag Milkha Bhaag, 2016, Wazir ,Dil Dhadakne Do.

1974 ජනවාරි 09 වෙනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප්‍රාන්තයේ මුම්බයිවල ඉපදිලා තියෙන ඔහු නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක්, ගායකයෙක්, නිෂ්පාදකයෙක් සහ ලේඛකයෙක් ද වෙනවා. 2001 වසරේ පටන් හින්දි සිනමාව නියෝජනය කරන ඔහු 2000 වසරේදී අධුනා භබානී එක්ක විවාහ වුණත් 2016දී දික්කසාද වෙනවා. දරුවන් දෙදෙනෙක්ගේ පියෙක් ද වන ඔහු ජනප්‍රිය හින්දි සිනමාවේ ඉන්න ගී පද රචකයෙක් වන ජාවේද් අක්තර් සහ හනී ඉරානිගේ පුතා ෆර්හාන් අක්තර් ගැනයි මේ කිව්වේ. ඔව් ෆර්හාන් අක්තර් තමයි අයිශගේ තාත්තගේ චරිතයට පණ පොවන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ මේ සිනමපටයේ කතාව කියන ඒ හැඩකාර කෙල්ල ගැනයි. අයිශා චවුද්‍රිගේ චරිතයට පණ පොවන්නේ සයිරා වසීම් කිව්වම සමහර විට ඔබ දන්නේ නැතුව ඇති. 2000 ඔක්තෝම්බර් 23 වැනිදා ඉන්දියාවේ ජම්මු සහ කශ්මීර්වල ශ්‍රී නගර්වලදි තමයි ඇය ඉපදෙන්නේ. 2016 වසරේ පටන් ඇය නිළියක් විදියට වෘත්තීය ජීවිතයේ නියැලෙනවා. නැශනල් ෆිල්ම් අවෝර්ඩ් පවා හිමි කරගෙන තියෙන මේ පුංචි කෙල්ල ඊට අමතරව ෆිල්ම් ෆෙයාර් සම්මානයකුත් තමන්ගේ නමට වෙන් කරගන්න සමත් වෙලා තියෙනවා. ඇය මෙන්න මේ සිනමාපටවලින් ඔබ දැක තියෙනවා.

Dangal (2016), Secret Superstar (2017)
සයිරා වසීම් එක්ක ඇයගේ සහෝදරයගේ චරිතයට පණ පොවන්නේ රෝහිත් සුරේෂ් සරාෆ් වන අතර මේ කට්ටියට අමතරව රාජ් ශ්‍රී දේෂ්පාන්ඩේ සහ සැමී ජෝන් ඇතුළු තවත් බොහෝ නළු නිළියන් පිරිසක් මේ සිනමාපටයේ චරිතයන්ට පණ පොවනවා.

 

► Translation — Chandana Waravitage