2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

අපිත් එක්ක ගමන් යන්න ගෑනු හරි කැමතියි

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 99

“අතීතය මේ මිනිසුන්ගෙන් සමාව අයැද සිටිය යුත්තේය” ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉන්දු මල්හෝත්‍රා මෙසේ ප්‍රකාශ කළේ 2017 අගෝස්තුවේදී එම ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි. විනිසුරුවරයා මේ මිනිසුන් යනුවෙන් එහිදී අදහස් කර සිටියේ, ඉන්දියාවේ වෙසෙන සමලිංගික, සංක්‍රාන්ති ලිංගික හා ද්වි ලිංගික ප්‍රජාවයි. 

වසර ගණනාවක් මුළුල්ලේ සාමාන්‍ය සම්මත ක්‍රමවේදය වූ ගැහැනු - පිරිමි සම්බන්ධය හැරුණුවිට වෙනත් ආකාරයේ සම්බන්ධකම් පවත්වන ප්‍රජාවට ඉන්දියානු සමාජය තුළ කිසිදු පිළිගැනීමක් තිබුණේ නැහැ. හැබැයි දැඩි සම්ප්‍රදායික මතවාද පිරුණු ඉන්දියාවත් සංස්කෘතික රාමු බිඳගෙන මනුෂ්‍යත්වයට ඉඩදෙන ලෝකයේ රටවල් අතළොස්ස අතරට එකතු වුණා. රාණි කින්නර්ගේ කතාව අපිට සංවේදී වෙන්නේ මේ පසුබිම හින්දමයි. 

රාණි කියන්නේ සංක්‍රාන්ති ලිංගිකයෙක්. සරල භාෂාවෙන් කිව්වොත් පිරිමියෙක් විදිහට මේ ලෝකෙට බිහිවුණත් කාන්තාවකගේ හැඟීම් දැනීම් තියෙන කෙනෙක්. රාණි කියන්නේ කැබ් රථ රියදුරැවරියක්. මෑතකදී එයාට UBER සමාගමෙන් තරුපහේ කැබ් රියදුරැවරියක් ලෙස උසස් වීමකුත් ලැබිලා. හැබැයි මෙතැනට ඒම දක්වා රාණි ගත කළේ ලේසි පහසු ජීවිතයක් නම් නෙමෙයි. 

රාණි ජීවිතය පටන් ගන්නේ මහමඟ, දුම්රියේ හිඟාකෑමෙනුයි. නමුත් මේ හිඟන ජීවිතයට එහා යමක් තමන්ට කළ හැකි බව විශ්වාස කරපු රාණි ත්‍රීවිලරය කුලියට ඉල්ලාගෙන හයර් දුවන්න පටන් ගත්තා. හැබැයි ඒකත් හිතපු තරම් සාර්ථක වුණේ නැහැ. 
“මම ආටෝ එකක් ගත්තේ 2016 අවුරුද්දෙදි. ඒත් මිනිස්සු මගේ ආටෝ එකට නඟින්න ටිකක් අදිමදි කළා” ඇගේ කටහඬේ කිසියම් ශෝකයක් තැවරිලා තියෙන ගාණයි. 

“සමහරු මාව දැක්කම ආටෝ එකට නඟින්නෙ නැතුව හිටියා. නැඟලා වාඩිවෙච්ච අයත් මාව දැක්ක ගමන් බොරු හේතු කියාගෙන ආටෝ එකෙන් බැස්සා. එයාලා මට බයයි කියලා තමයි මට හිතුණෙ” රාණි අතීතය සිහිපත් කරනවා. 
හැබැයි රානි ඒ කිසිදේකින් අධෛර්ය වුණේ නැහැ. ටික කාලයකට පස්සේ පූරි කියන නගරයේ ඇම්බියුලන්ස් රියදුරුවරියක් ලෙස බැඳෙන්න ඇයට හැකි වුණා. UBER කුලී රථ සේවාවට ඇතුළු වීමට ඇයට හැකි වන්නේ තවත් කාලයකට පසුවයි. 
එතැනදී සාර්ථක වන රාණිට තමන්ගේම කියා මෝටර් රථයක් මිලදී ගැනීමටත් හැකි වුණා. මේ නිසා මහමඟ හිඟාකෑමෙන් එදාවේල සරිකරගත් රාණි, තමන්ගේ ප්‍රජාවේ අන් අයටත් ආදර්ශමත් චරිතයක් බවට පත්වෙලා. කොටින්ම ඔව කෙළින් තියාගෙන ඉන්න පුළුවන් කෙනෙක් බවට පත්වෙලා. 

“දැන් මට හයර් එන්නේ ඇප් එකෙන්. එතකොට මිනිස්සුන්ටත් කල්තියා දැනගන්න පුළුවන් මම කවුද කියලා. එයාලා මා එක්ක යන්න අකමැතිනම් මුලදිම මාව කැන්සල් කරන්න පුළුවන්”. 
හැබැයි UBER සමඟ එකතු වුණාට පස්සේ රාණිගේ හයර් වැඩිවෙලා. එයත් එක්ක ගමන් කරන්න බොහෝවිට එන්නේ කාන්තාවන්. 

“රාණි මැඩම් කියන්නේ අපි හැමෝටම ආදර්ශයක්. මමත් එයා වගේ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න හිතාගෙනයි ඉන්නෙ. විශේෂයෙන්ම තරුණ ගෑනු ළමයි අපිත් එක්ක ගමන් කරන්න ගොඩක් කැමති බවයි මගේ අදහස. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී අපි එක්ක ගමන් බිමන් යද්දී එයාලගේ ආරක්ෂාව හොඳයි කියලා එයාලා හිතනවා ඇති” ස්නේහාශ්‍රී නමැති ඔඩිස්සා ප්‍රාන්තයේ ජීවත් වන තවත් සංක්‍රාන්ති ලිංගික තැනැත්තියක් එහෙම පවසනවා. 

India Today ඇසුරෙන්. 

► Text - Suranga   /   Pic -  Internet

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00